ලොවම මවිත කළ අලි මිනිසාගේ ඩී.එන්.ඒ. සාම්පල පරීක්ෂාව ඇරඹෙයි

වික්ටෝරියානු යුගයේදී විකෘති ප්‍රදර්ශන ඔස්සේ ලොවේම අවධානයට නතුවූ අලි මිනිසා නොහොත් ජෝසප් මෙරික් මියගොස් ශතවර්ෂයකට අධික කාලයක් ගතවුවද ජීවත්ව සිටින තාක් කල් ඔහු පීඩා විඳි දරුණු විකෘතිතාවට හේතුව කුමක්දැයි නිශ්චය කර ගැනීමට ගත් උත්සාහය මතෛක් සාර්ථකවී නොමැත. නමුත් කාලයට හසුව වැළලී යන්නට මත්තෙන් ලොව එතෙක් මතෛක් විසූ දරුණු විකෘතියකට ලක්වූ මිනිසාගේ එම තත්ත්වයට මුල් වූ හේතුව සොයාගැනීම සඳහා තවත් අලුත් ව්‍යාපෘතියකට විද්‍යාඥයින් අතගසා තිබේ. ඒ අලි මිනිසාගේ අස්ථිවලින් ලබා ගන්නා ඩී.එන්.ඒ. සාම්පල ඇසුරින් මෙරික්ගේ ගෙනෝම අනුක්‍රමණය සකසා එමගින් විකෘතිතාවට පදනම් වූ විකෘති ජාන හඳුනා ගැනීමේ වෑයමකි.
බ්‍රිතාන්‍යයේ වික්ටෝරියානු යුගයේදී විකෘතියෙකු ලෙස හංවඩු ගැසුණු විසිහත් වසරක් වැනි කෙටි ජීවිත කාලයකට උරුමකම් කියූ මෙරික් 1890 වසරේදී මිය යාමෙන් පසුව ඔහුගේ අස්ථි සැකිල්ල බ්‍රිතාන්‍යයේ වයිට් චැපල් හි පිහිටි රාජකීය ලන්ඩන් රෝහ‍ලේ සංරක්ෂණය කොට තැන්පත් කරන ලද්දේ, එබඳු පුද්ගලයෙකු අනාගතයටද වැදගත් වෛද්‍ය ආදර්ශයක් වූ බැවිණි. කෙසේ වුවද වර්ෂ එකසිය විසිදෙකක් පැරණි මෙම අස්ථි ඇසුරින් ඩී.එන්.ඒ. සාම්පලයක් වෙන් කර ගැනීම අභියෝගයක් වී ඇත්තේ දීර්ඝ කාලයක් මුළුල්‍ලේ අස්ථි විරංජනයට ලක්වීම නිසාය. පරීක්ෂණයට ප්‍රමාණවත් තරම් ඩී.එන්.ඒ. නියැදියක් විකෘතිතාවට ප්‍රබල ලෙස ලක්ව තිබූ කපාල අස්ථියෙන් ලබා ගත හැකි වේදැයි යන්නට ඇත්තේ සැකයකි.ක්වීන් මේරිලන්ඩන් විශ්වවිද්‍යාලයේ උප විදුහල්පති හා විධායක කුලපතිවරයා වන මහාචාර්ය රිචඩ් ටේ‍රම්බාන්ගේ භාරයේ පවතින මෙම අස්ථි සැකිල්ල වෙතින් ඩී.එන්.ඒ. ලබා ගැනීම විරංජනයට ලක්වීම නිසා අසීරු වී ඇතිවා පමණක් නොව මෙම ක්‍රියාවලිය නිසා අස්ථි සැකිල්‍ලේ ඉදිරි පැවැත්මටද කිසිදු තර්ජනයක් එල්ල නොවිය යුතු නිසාද එම භාරදූර්ය කර්තව්‍යයේ ඇති දුෂ්කර බව දෙගුණ තෙගුණ වී ඇත. අතිශය වැදගත් ඓතිහාසික ගණයේ නිදර්ශකයක් වන අලි මිනිසාගේ ඇටසැකිල්‍ලේ මතු පැවැත්මට මුල් තැන දෙමින් තම පර්යේෂණ කටයුතු සිදු කිරීමට මහාචාර්ය ටේ‍රම්බාන් ප්‍රමුඛ විද්‍යාඥ පිරිස ඒකමතික තීරණයකට එළඹ සිටියි.
මුල් කාලයේදී පර‍පෝෂී ආසාදනයක් නිසා හට ගන්නා බරවාරෝගයෙන් මෙරික් පෙළෙන බවට වැරදි විශ්වාසයකට එළඹි නිසා ඔහුට අලි මිනිසා යන නාමය පටබැඳුණු මුත් ඔහුගේ මරණයට පසුව මෑතකාලීනව (2001දී) ඉදිරිපත්වූ නිගමනයන්ගෙන් හෙළි වූයේ ඔහු (Pro teus syndrome) නමැති විරල සංකූලතාවෙන් පෙළී ඇති බවයි. මෙම තත්ත්වය නිසා අස්ථි හා සම අසාමාන්‍ය වූ අධික ශීීඝ්‍රතාවයකින් යුතුව වර්ධනය වීම සිදුවේ.
ක්‍රි.ව. 1862 දී ලෙයි සෙස්ටර් නුවරදී උපත ලබන විට බාහිර වශයෙන් පූර්ණ නිරෝගී තත්ත්වයෙන් පසුවූ මෙරික් වයසින් වැඩෙත්ම ඔහුගේ දෙතොල් ඝනකමින් වැඩිවීමත් නළල පෙදෙස් අසාමාන්‍ය අස්ථිමය වර්ධනයක් සිදුවීමත් ඇරඹී ඇති බව කියැවේ. හිසේ වූ අසාමාන්‍ය වර්ධනය නිසාම ඔහුට සිය හිස දරා සිටීමටද අපහසු වී ඇති අතර නිදා ගැනීමටද සිදුවී ඇත්තේ හිස සෘජුව තබා ගනිමිණි. ඔහුගේ වම් හා දකුණු දෑත් හා දෙපාද ප්‍රමාණයෙන් අසාමාන්‍ය වූ සාපේක්ෂව විශාල අවයව වූ අතර පසුකාලීනව මෙරික්ගේ කතා විලාශය අන්‍යයන්ට තේරුම් ගැනීමට නොහැකි ලෙස වෙනස් වී තිබේ. මෙම විකෘතිතාවන්ගේ අවසන් ප්‍රතිඵලය වූයේ දාහත් හැවිරිදි වියේදී ඔහුගේ දෙමව්පියන් විසින් මෙරික්ව ප්‍රතික්‍ෂේප කරනු ලැබිමයි.
සමාජයේද පිළිකුලට ලක්වූ මෙරික් තම විරූපී අඟ පසඟ වසන් කර ගැනීම සඳහා නිතර දෙවේ‍ලේ හිස් වැස්මකින් හා මුහුණු ආවරණයකින් සිය හිස මුළුමනින්ම ආවරණය කර ගැනීමට වගබලා ගත් අතර පසුකාලීනව සුළු අතුරු ප්‍රසංගවල සිය විකෘතිතාවය ප්‍රදර්ශනය කිරීම ඔස්සේ ජීවිතය ගැටගසා ගැනීමට පෙළඹී තිබේ. අහම්බෙන් මෙන් මෙම දුර්ලභ මානව විකෘතිය ඇස ගැටුණු ශල්‍ය වෛද්‍ය ෆේ‍රඩ්රික් ට්‍රේවිස් මෙම පුද්ගලයාව තමාගේ භාරයට ගැනීමට කටයුතු කළ අතර ඉනික්බිති මියෙන තුරා අලි මිනිසා සිය ජීවිතය ගෙවා දමන ලද්දේ ලන්ඩන් රෝහ‍ලේ වන නමුත් සියලු දෙනාගේ අවධානය හිමිකර ගත් මෙරික් තවදුරටත් ලෝකයාගේ පිළිකුලට භාජනය නොවිණි. වේල්සයේ ඇලෙක්සැන්ඩ්‍රා කුමරියද ඔහුගේ සුවදුක් බැලීමට පැමිණ තිබේ.දිනක් රාත්‍රී නින්දේදීම අලි මිනිසා අවසන් හුස්ම හෙලා තිබුණේ ගෙ‍ලේ අවසන්ධි වීමක් නිසා හුස්ම හිරවීමෙනි. උපන් දා සිට හිස සෘජුව තබාගෙන නිදා ගැනීමට සිදුව තිබූ මෙරික් මරණයට පෙර එක් වතාවක් හෝ සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස හරහට වැතිරී නිදා ගැනීමට පෙළඹීම නිසා ඔහුගේ මරණය සිදුවූ බව නිගමනය විණි.

  

Check Also

මුහුදු තීරයේ යාත්‍රා කරන නැව් නිරීක්ෂණය වඩාත් පහසු මෘදුකාංගයක්

-කොළඹ විශ්ව විද්‍යාලයේ සැලැසුම් සහ පර්යේෂණ අංශයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ යාත්‍රා කරන නැව් නිරීක්ෂණය ...

Canvas A1, මයික්‍රොමැක්ස් වෙතින්

-මෙරට ප්‍රථම “Android One” ජංගම දුරකථනය වන Canvas A1, හදුන්වා දෙමින් ශ්‍රී ලංකවේ ප්‍රමුඛතම ජංගම ...