’19 ජනතා ජයක් ! ” – ජනපති කියයි

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අති බහුතර ඡන්දයෙන් සම්මතවීම ශ්‍රී ලාංකීය ජන සමාජය ලත් ඓතිහාසික ජයග්‍රහණයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

එය වසර 37ක් තිස්සේ ශ්‍රී ලාංකික සක්‍රීය පුරවැසි සමාජය කළ අරගලය ලත් ජයග්‍රහණයකි.

එම ජයග්‍රහණය ලබා ගැනීම වෙනුවෙන් වසර 37ක් මුළුල්ලේ විවිධ අරගල කළ, සාකච්ඡා සම්මන්ත්‍රණ කළ, වාද විවාද කළ, අවසාන වශයෙන් මේ කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීම වෙනුවෙන් බලපෑම් කණ්ඩායම් ලෙස ක්‍රියා කළ ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ සියලුම ආගමික නායකයින් වෙතත් සියලු සක්‍රීය පුරවැසියන් වෙතත්, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන වෙතත් මෙම ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ සියලු මන්ත්‍රීවරුන් සහ දේශපාලන පක්ෂ වෙතත් ජනාධිපතිවරයා සිය ස්තූතිය ප්‍රකාශ කරයි.

පසුගිය කාලය පුරා ජනාධිපතිවරණ අවස්ථා පහකදීම ඒ සඳහා තරඟ කළ ප්‍රධාන අපේක්ෂකයන් විධායක ජනාධිපති ධුරය ඉවත් කරන බවට පොරොන්දු ලබා දී තිබුණ ද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනු ලැබූ එකම අවස්ථාව මෙය ලෙස සැලකිය හැකිය. එහිදී එම කාර්යය ව්‍යවස්ථානුකූලව ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ නියමයන්ට අනුකූලව ද, සියලු දේශපාලන පක්ෂවල එකඟතාවයෙන් යුතුව ද සිදුකරන්නට ලැබීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ලැබූ යෝධ පියවරක් ලෙස සැලකිය හැකිය.

1978 ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් පසු ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියේ දී 13 වන සහ 17 වන සංශෝධනය හැර අනෙක් සියලු සංශෝධන විධායක ජනාධිපති ධුරයේ බලය තව තවත් වර්ධනය කිරීමට ගනු ලැබූ පියවරයන් විය. ඒ අතරින් විශේෂයෙන්ම හදිසි පනතක් ලෙස ගෙන ආ 18 වන සංශෝධනය හරහා 17 වන සංශෝධනය මගින් ගෙන ආ ප්‍රගතිශීලී පියවර සියල්ල ආපස්සට හැරවුණු අතර ජනාධිපති ධුරයේ බලතල අසීමාන්තික ලෙස වර්ධනය කරගත් අවස්ථාවක් ලෙස ද එය සැලකිය හැකිය. මෙම ජයග්‍රහණය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේ එය අද ජීවත් වන පුරවැසියන් පමණක් නොව අනාගතයේ උපදින දරුවන් වෙනුවෙන් ද ලබාගත් ජයග්‍රහණයක් ලෙස තමන් විශ්වාස කරන බව ය. ‍

මෙම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 215ක්ද, විපක්ෂව එක් ඡන්දයක්ද ලැබිණි.

ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ඡන්දය ලබා දෙන අතරේ විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලද්දේ දිගාමඬුල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි සරත් වීරසේකර පමණි.
ස්වාධීන මන්ත්‍රිවරයකු වශයෙන් ක්‍රියා කරන ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන මන්ත්‍රි අජිත් කුමාර ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටියේය.
දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවැනිවර කියවා සම්මත කිරීම සඳහා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල බෙදීමක් ඉල්ලා සිටියේය.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර (එ.ජ.නි.ස.), පත්කළ මන්ත්‍රි ජානක බණ්ඩාර (එ.ජ.නි.ස.), රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි ජගත් බාලසූරිය (එ.ජ.නි.ස.), පත්කළ මන්ත්‍රි එල්ලාවල මේධානන්ද හිමි (එ.ජ.නි.ස.), මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රි කෙහෙලිය රඹුක්වැල්ල (එ.ජ.නි.ස.), ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි බැසිල් රාජපක්ෂ (එ.ජ.නි.ස.) සහ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රි ඒ. විනයාගමූර්ති යන මන්ත්‍රිවරුන් හත් දෙනා ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටියහ.
පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන විටත් පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කරමින් පැවැති බැවින්, තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම පවත්වා නොතිබිණි.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...