Wednesday , 22 January 2025

සාකච්ඡා බිඳවැටෙයි – 19 කොට උඩ?

විධායක ජනාධිපති පදවියේ බලතල සීමා කෙරෙන 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන පිළිබඳ ඊයේ රාත්‍රි පැවති සාකච්ඡා බිඳ වැටි ඇතැයි බිබිසී පුවත් සේවය පවසයි.

සඳුදා පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රීලනිපය විසින් නව සංශෝධන ඉදිරිපත් කරන ලදි.

විශේෂයෙන්ම සංශෝධනයෙන් අනතුරුව පත්කිරීමට යෝජිත ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් බහුතරය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතු බවයි, ශ්‍රීලනිපය අවධාරණය කරන්නේ.
ඉන් අනතුරුව අදාළ සංශෝධන පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එම්ඒ සුමන්දිරන්, අජිත් පී පෙරේරා සහ රවුෆ් හකීම් මන්ත්‍රීවරුන් ගෙන් සමන්විත කමිටුවක් පත්කරන ලදි.

ශ්‍රීලනිපය නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා, ෆයිසර් මුස්තාෆා සහ රජීව විජේසිංහ මන්ත්‍රීවරු පැය කිහිපයක් මුළුල්ලේ කමිටුව සමඟ සාකච්ඡා පැවැත්වූ නමුත් අවසානයේ කිසිදු තීරණයකින් තොරව සාකච්ඡාව අවසන් වූ බව වාර්තා වේ.

ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය හැරුණු කොට, ජනාධිපතිවරයා අගමැතිවරයාගෙන් විමසා කැබිනට් අමාත්‍යවරුන් පත් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුකූලව ඇතුලත් කරන ලද වගන්තියටද ශ්‍රීලනිප සාමාජිකයන් විරෝධය පළ කළැයි සුමන්දිරන් මන්ත්‍රීවරයා ජනමාධ්‍ය වෙත පවසා තිබේ.

කෙසේ නමුත් තමන් ප්‍රතිපත්තියක් වශයෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙන බවද ශ්‍රීලනිප මන්ත්‍රීවරු කමිටුව ඉදිරියේ පැවසූහ.

ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණ ගැසුණු කමිටුව, සාකච්ඡා බිඳ වැටුණු බව ඔහුට දැනුම් දුන්නේය.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...