චන්ද්‍රිකා තරමක් සෙල්ලක්කාර ගති සහිත තරුණියකි. ගමේ තරුණයකු සමග ඇය ආදර සබඳතාවක් පැවැත්වූවාය. ඔවුන්ගේ සබඳතාව ආදරය ඉක්මවා ඉතා දුරදිග ගිය සම්බන්ධයක් විය. මොවුන් දෙදෙනා නිදහසේ පෙම්සුව වින්දේ ගමේ වැව් ඉහත්තාවේදීය. ඒ නිසා ඇය දිය නෑම සඳහා වැවට යෑමට තෝරා ගන්නේ මිනිසුන් වැවට නොයන හෝරාවන්ය. දිනක් මධ්‍යහනේද තවත් දිනක අඳුර වැටීගෙන එන සන්ධ්‍යාවේද ඇය වැවට ගියාය. දිය නෑමේ අවශ්‍යයතාවයට වඩා ඇයට පැවතියේ තම පෙම්වතා හමුවීමේ දැඩි අවශ්‍යතාවයි. කාලය කෙමින් ගෙවී ගියේ ඔවුන්ගේ සම්බන්ධය තවතවත් දුරදිග යවමිනි. චන්ද්‍රිකා ගැබ් ගන්නේ මේ අතරතුරදීය. මේ පිළිබඳ කිසිවකු දන්නේද නැත. දරුගැබ නැති කිරීම හැර කළ හැකි දෙයක්ද ඔවුනට නොවීය. මුල් සති කිහිපයේ මෙය සියල්ලන්ගෙන් සඟවාගෙන සිටීමට චන්ද්‍රිකාට හැකි වුවද දරුගැබ මෝරද්දී ඇයගේ ශරීරයේ සිදුවන වෙනස සඟවාගෙන සිටීමට ඇයට අපහසු විය. කෙසේ වුවත් තම දරුගැබ විනාශ කිරීමටද ඇය කැමැති නොවූවාය. එහෙත් ඇයට කරන්නට විකල්පයක්ද නැත.
අවසානයේ තම ආදරවන්තයා වෙනුවෙන් තමා අකැමැති දෙයට එකඟ වන්නට ඇයට සිදුවිය. අබමිටක් වතුර වීදුරුවකට දමා හොර රහසේ සඟවා තැබූ ඇය පසු දා එය පානය කළාය. ඉන්පසු දින කිහිපයක් ගතවූයේ කිසිදු වෙනස්කමක් නොමැතිවය. එහෙත් ටික දිනකින් ඇයගේ උදරය දෙසින් වේදනාවක් දැනෙන්නට වූ අතර, ඇය නිවැසියන්ගෙන් මිදී වහා ගේ අසල ඇති වනපෙතට දිව ගොස් තනිවම වේදනාව දරාගත් අතර, ඇගේ කුසින් පිට වූ රුධිර කැටි වනපෙතෙහි වියළි කොළරෝඩු අතර සැඟව යන්නට විය. දිනයක් දෙකක් අසනීප තත්ත්වයෙන් පසු වූ ඇයට උෂ්ණාධික රෝගයක් වැළදී ඇතැයි සිතා මවුපියන් විවිධ ප‍්‍රතිකර්ම කරන්නට උත්සුක විය. දින කිහිපයකින් ඇයගේ රෝගය සුවඅතට හැරිණි.
වෛද්‍ය ප‍්‍රතිකාරවලින්ද කිසිදු සුවයක් නොවුණු තැන ඇයට වැළදී ඇත්තේ කිළිමාලය යැයි සිතූ මවුපියෝ ඉණට මතුරා නූලක් පැළඳවීමට කටයුතු කළෝය. එහෙත් එයින්ද සුවයක් නොවුණි. දිනෙන් දින දුර්වල තත්ත්වයට පත් වූ ඇය සුවකිරීමේ බලාපොරොත්තුව මවුපියන් මෙන්ම වෛද්‍යවරු අතින්ද ගිලිහීයන්නට වූයේ ඇයගේ රෝගය සම්බන්ධයෙන් ඉඟියක් හෝ අවබෝධ කරගැනීමට වෛද්‍යවරුනට නොහැකි වූ නිසාය.
මේ අතර ඇයගේ මව, අසල ගමක අඳුනක් බලන්නකු හමුවට ගියාය. ඒ තම දියණිය සුව කරගත හැක්කේ කෙලෙසද යන්න පිළිබඳ විමසීම සඳහාය. ඇයට කිසිවක් විමසන්නට ලැබුණේ නැත. පූජා කාමරයට ගොස් බුලත් අත කපුමහතාට දී පසෙකින් වාඩි විය.
“තමන් ආවේ අසනීපකාරියක් ගැන අහන්න නේද?”
“ඔව්”
“දරුණු යකෙක් වැහිලා ඉන්නේ, ඔය පොඩි පොඩි දේවලින් ගොඩදාන්න බෑ… මේකිට වැහිලා ඉන්නේ රීරි යකා. තනියම කැලෑ ගානේ රිංගුවාම ඔහොම වෙනවා.”
මෙතෙක් චන්ද්‍රිකා ගෙදරින් වසන් කළ දෙය මවගේ කනට වැටුණේ කපු මහතාගේ මුවිනි.
රීරි යකා එළවීම පහසු වූයේ නැත. රෝහලේ සිට නිවසට රැගෙන ආ ආතුරයා පැදුරක නිදිකරවා ඒ අසල ‘දර සෑව’ නම් දරවලින් තනන ලද මැස්සේ යකැදුරා දිග ඇදුණේය. ඉන්පසු රතුකුකුළු බිල්ලක් අතින් ගෙන හිස සහ පය අසල අඟුරු කබල් දෙකක් තබා පුළුටු බදින්නට වුණි. ලේ ගොටු විසි හතරක්ද මැස්සේ තැබිණි. ඉන්පසු මවගේ කුස පලා උපන්, මවගේ පියයුරු කඩා ලේ බී හැදුණු, ලේ විලෙහිම වසන රීරියකුට ආරාධනා කරමින් දොළ පුදකිරීම ආරම්භ විය. මෙසේ ආරාධනා කර ආතුරයා වෙනුවෙන් තමාව
බිලිගන්නා ලෙසට මතුරන්නට විය. අනතුරුව රතුරෙද්දෙන් හිසේ සිට පාදය දක්වාම වසාගත් යකැදුරා හා අනෙක් පූජා සහිත මැස්ස මිනියකට කරගසන්නා සේ ඔසවා ගත් පිරිමි කිහිපදෙනකු එය කනත්තට රැගෙන යන්නට වූහ.
පාන්දර තුන පමණ වනවිට මරණයේ වේදනාව ඇතිවන අයුරින්, කෑගසා අඬමින් කනත්තේ කපා තැබූ වළ වෙත දරසෑව රැගෙන ආ අතර, මිනියක් වැළලීමේ සම්ප‍්‍රදායට අනුව වළ වටා තුන්වරක් පැදකුණු කර වළ තුළට දරසෑව දමා පස් දමා වසා දැමුවේ පැමිණි සියල්ලන්ගේ වේදනා හඬ මධ්‍යයේය. වළ වටා කැරකෙද්දී මිනිස් රුවක් හැඩයට තනන ලද පඹයකු හා බිලි පූජා ඉතිරි කර ඊරියකු බන්ධනය කර යකැදුරා හොරෙන් දරසෑවෙන් බැස ගනියි. මෙහි ඉතා භයානකම හෝරාව වනුයේ රීරියකු දරසෑවට බන්ධනය කර යකැදුරා සැඟවෙන මොහොතයි. එය වැරැදී ගියහොත් දරහැව මත නහයෙන් කටින් ලේ පෙරාගෙන මිය යෑම සිදුවේ. එයට හේතුවනුයේ යකුන් අතර ප‍්‍රචණ්ඩම යකු, රීරියකු වීමයි.
තොවිලය එයින් නිමාවට පත් වූ අතර, චන්ද්‍රිකාට සුවය ලැබුණත් යකු පිටවූ දා ඇගේ සිත ඇයට සහනයක් දුන්නේ කෙසේදැයි යන්න බොහෝ දෙනාට ගැටලූවක් විය.
සටහන : වෛදික ජ්‍යොතිෂ්‍යවේදී කාංචන ගීත මනමේන්ද්‍ර