හත්වරක් සියදිවි නසාගන්නට තැත් කළ අනෝජා ජීවිතය ජයගත් අන්දම ගැන මෙසේ කියයි

ලෝක සියදිවි නසා ගැනීම වැළැක්වීමේ දිනය පසුගිය 10 වෙනිදාට යෙදී තිබුණි. මේ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මනෝ වෛද්‍ය විශේෂඥ නීල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මෙරට කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු මානසික රෝගවලට එසේත් නැත්නම් විශාදයට (DEPRESSION) ගොදුරු වන බවය.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ මහත්මියද සහභාගි වී සිටි අතර ඇය සඳහන් කළේ එක්තරා කාලයක ඇයත් මානසික රෝගී තත්ත්වයකට ගොදුරුව සියදිවි නසාගැනීමට පවා අදහස් කළ බවය. වැඩිදුරටත් ඇය කියා සිටියේ මේ මානසික අවුල් සහගත තත්ත්වය නිසා හත් වරක් පමණ එම අවාසනාවන්ත ක්‍රියාමාර්ගයට සිත යොමුවූ බවය.
අද වන විට මානසිකව ශක්තිමත් ගැහැනියක්. බවට පත්ව සිටින අනෝජා තමා ලබාගත් අත්දැකීම් සම්භාරය අති බහුතරයක් දෙනාට ලබාදෙන අපූරු ගුරුවරියක්ද වෙයි. සිය අභින ආයතනය තුළින් ඇය බිඳ වැටුණු මානසික ශක්තිය වර්ධනය කිරීමේ පුරෝගාමී මෙහෙවරක යෙදී සිටින්නීය. මේ අනෝජා සමග ඉරිදා ලක්බිම කළ කතාබහකි.

පුරුෂයන්ට වඩා කාන්තාවන්ට මානසික ප්‍රශ්න වැඩියි. අප මෙතැනින් මේ කතාව පටන් ගනිමු…?

අපේ රටේ කාන්තාවෝ දිහා බැලුවහම ඔවුන්ට මානසික පීඩනය වැඩිවෙන්න හේතු සාධක ගණනාවක් බලපානවා. මූලිකම හේතුව බලා‍පොරොත්තු කඩවීම. මෙතනදී දෙමව්පියන්ගෙන් බලා‍පොරොත්තු වන ආදරය පුංචි කා‍ලේ ඉඳලම නැතිවීම, විවාහ වුණාට පස්සේ ස්වාමිපුරුෂයාගේ ආදරය නැතිවීම, නැත්නම් අඩුවීම, දෙමව්පියෝ ඈත් වීම, දරුවන් නැතිකම, ඒ වගේම දරුවෝ හිටියත් ඔවුන්ගෙන් ඇතිවන පීඩනය, ස්වාමි පුරුෂයාගේ බිමත් කම, ආර්ථික ප්‍රශ්න, ලිංගික ප්‍රශ්න ඒ වගේම රැකියා ස්ථානයේ දී ප්‍රශ්න වැඩිවීම ඊළඟට එවැනි ස්ථානවලදී ඇතිවන ලිංගික හිංසනය, මේ වගේ ප්‍රශ්න ගණනාවක් නිසා කාන්තාවන් විශාදයට ගොදුරු වෙනවා.
කාන්තාවෝ කියලා ගත්තහම පුංචි ගැහැනු දරුවන් පවා මේ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන්. ඒ කියන්නේ ගෙදර අම්මා තාත්තා දබර කරනකොට, අවශ්‍ය ආදරය නොලැබෙනකොට, තමන්ව නොසලකා හරින විට, අධ්‍යාපනය නිසා ඇතිවන ප්‍රශ්නවලදී වගේම, හුදකලාවීම නිසාත් දරුවෝ පීඩනයට පත්වෙන්න පුළුවන්.
අපේ අම්මලා තාත්තලා නොදැනුවත්වම ලොකු වරදක් කරනවා. ඒ තමයි දරුවන්ව වැඩිපුර ආරක්ෂා කිරීම. ඉස්කෝ‍ලේ යද්දි, ටියුෂන් යද්දි පස්සෙන් යනවා. තනිවම ඒ ළමයට ගොඩනැගෙන්න දෙන්නේ නැහැ. ගෙදර ඇතු‍ලේ හිර කරලා හදනවා. සමාජය ගැන අවබෝධයක් ලබා ගන්න ඉඩක් ලබා දෙන්නේ නැහැ. මෙන්න මේ තත්ත්වය නිසාත් දරුවෝ ලොකු මහත් වෙලා විවාහ දිවියට ඇතුළත් වුණාම, එහෙමත් නැතිනම් රස්සාවකට ගියාම අන් අය අතර කොන් වෙනවා. තනිවම ප්‍රශ්නවලට ගැලපෙන නියම විසඳුම් සොයා ගන්න බැරි වෙනවා. අසරණ වෙනවා. එතනදීත් මේ අය විශාදයට (DEPRESSION) ගොදුරු වෙන්න පුළුවන්.

ඒ කියන්නේ තමන් තනිවුණා වගේ හැඟීමක් හිතට එන නිසාද?

ඔව්. මෙන්න මේ වගේ වෙලාවට කල්පනා කරලා, අඬලා ඒ ප්‍රශ්නවලට නියම විසඳුම් සොයා ගන්න බැරි වුණාම අසුබවාදී විදිහටම හිතන්න පෙළඹෙනවා. මරණය එහෙමත් නැත්නම් සිය දිවි නසා ගැනීම තමයි එකම මාර්ගය කියලා හිතනවා.
මම මේවා කියන්නේ මගේ අත්දැකීම් එක්කමයි. මමත් කාලයක් ඔය වගේ මානසික තත්ත්වයකට වැටුණා. සියදිවි නසා ගන්න හිතුවා. එහෙම හිතුණ වාර ගණන අනන්තයි. නමුත් වාසනාවට මා වටා සිටි පිරිස ඒ තත්ත්වයෙන් ගොඩ එන්න මට උදව් කළා.

ඔබ ඒ තත්ත්වයට පත්වුණේ මොන කාලයේද?

පළමු විවාහය අසාර්ථක වෙලා දවෛනි විවාහයක් කරගත්තට පස්සේ. මගේ දෙවන විවාහයේ ස්වාමි පුරුෂයා ඉතා හොඳයි. නමුත් ඒ වෙද්දි මම හිටියේ හොඳ මානසික තත්ත්වයක නමෛයි. ඔහුට බැරි වුණා මගේ ඒ තත්ත්වය තේරුම් ගන්න. මම රාගල කියන ගමේ හැදුන කෙනෙක්. ඒ වගේම අවුරුදු 18 න් කසාද බැන්දා. පුංචි වයසින්ම අම්මා කෙනෙක් වුණා. අන්තිමට ඒ විවාහය අසාර්ථක වුණා. ඊළඟට දරුවෙක් එක්ක තනිවුණා.

මේ ප්‍රශ්නය මගේ පුංචි වයස වගේම අත්දැකීම අඩුකම නිසා තදින් බලපෑවා.
අන්තිමට මම දවෛනි වර විවාහ වුණා. ඒකත් අසාර්ථක වුණා. එක දිගට ප්‍රශ්න හට ගත්තා. මා දිහා සැකෙන් බලන්න පටන් ගත්තා. එතැනදීත් මම මානසිකව වැටුණා. කිසිම වරදක් නැතිව කෙනෙක් නොකළ වැරැද්දක සැකයට භාජනය වෙද්දි ඇතිවන කලකිරීම වචනවලින් විස්තර කරන්න බැහැ.

කොහොම හරි මෙන්න මේ වගේ මානසික අවුලකට පත්වෙලා විශාදයට පත්වෙලා හිටපු මට උදව් කළේ මගේ පවු‍ලේ අය. ඒ අය මාව තේරුම් ගත්තා. මට හොඳ ප්‍රතිකාර ලබාදුන්නා.
මට මතකයි ඒ දවස්වල මම තරුණ නළුවෙක් එක්ක හොඳින් කතා බහ කළාමත් නරක විදිහට බලපු අය හිටියා. ඉතාම හොඳ අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩිපුර ආශ්‍රය කරනකොටත් කතා හදන්න පටන් ගත්තා. ඒක තමයි මේ ක්‍ෂේත්‍රයේ හැටි. නළුවෙක් තමන්ගේ කාර් එකෙන් ඇවිත් ගෙදර ළඟ බස්සලා ගියත් කතා හැදුණා.
මම මේ කියන්නේ මා ගැන හිතලා නමෛයි. අපේ මේ සමාජය තුළ ඔය වගේ ප්‍රශ්න ඕනෑ තරම් තිබෙනවා. ගැහැනියෙකුට පිරිමියෙකුට හොඳ යාළුවෝ වගේ ළඟින් ආශ්‍රය කරන්න බැහැ. ලිංගිකත්වය ඉස්සරහට දාලා. නරක ඇහැකින් තමයි ඒ දෙස බලන්නේ. නමුත් එකිනෙකා අතර අවබෝධයක් තිබෙනවා නම් ඕනෑම ගැහැනියකට පිරිමියෙකුට හොඳ යාළුවෝ වගේ ආශ්‍රය කරන්න පුළුවන්. ඒක සමහර අය පිළිගන්නේ නැහැ.
ඉතින් මේ වගේ ඇසුරක් තිබිම නිසා පවා සමාජය තුළින් එල්ල වන ප්‍රශ්න හමුවේ කාන්තාවෝ පමණක් නමෛයි. පිරිමි අය පවා මානසිකව ලෙඩ වෙනවා. අපි ගැහැනු අය ගැන විතරක් කතා කළාට ප්‍රතිශතයක් ලෙස ගත්තහම පිරිමින් මේ වගේ මානසික ප්‍රශ්නවලට ගොදුරු වී සිටිනවා.

කොහොමද මේ තත්ත්වයෙන් ගොඩඑන්නේ…? විශාදයට පත් කෙනෙක්ව හඳුනා ගන්නේ කොහොමද?

මෙවැනි අයව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඔවුන්ගේ හැසිරීම අනුවයි. වෙනදා ඉන්න සාමාන්‍ය විදියට ඉන්නේ නැතිව කල්පනා කරනවා නම් , ජීවිතේ ගැන කලකිරීමෙන් කතා කරනවා නම්, කිසිම දේකට උනන්දුවක් නැතිව අසුබවාදී විදියටම කතා කරනවා නම්, කෑම බිම පවා හරි හැටි ගන්නේ නැත්නම් අපට සිද්ධ වෙනවා ඒ අයව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න. මේ සඳහා දැන් ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. මනෝ වෛද්‍යවරයෙකු හමු වී දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබාගත් විට එම රෝගී තත්ත්වය සුව කර ගන්න පුළුවන්.
බොහෝ අය හිතනවා උපදේශන සේවා තුළින් මේ තත්ත්වය සමනය කර ගන්න පුළුවන් කියලා. එහෙම බැහැ. නිසියාකාරව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුමයි.

ඇතැමුන් මානසික ආතතියෙන් ගැලවෙන්න බණ භාවනාවලට යොමු වෙනවා?

විශාදය වගේ රෝගයකට ගොදුරු වුණාම භාවනා කිරීම සුදුසු නැහැ. ප්‍රතිකාර ලබාගත යුතුයි. මොකද ඒක රෝගී තත්ත්වයක් නිසා. නමුත් අපි හැමෝම ජීවිතය තේරුම් ගෙන මනස සැහැල්ලු කර ගන්න බණ භාවනා කිරීම හොඳයි.
ඉතිං ඇත්තටම කියනව නම් මම මේ අද ලබාගෙන තිබෙන අත්දැකීම් තුළින් මටත් පුළුවන් වෙලා තිබෙනවා විශාදයට පත්වුණු අයට යම් උපදෙසක් ලබාදීලා මගේ පැත්තෙන් කරන්න පුළුවන් දේ ලබාදීලා උදව් කරන්න. මගේ ‘අභින’ ආයතනය හරහාත් මෙවැනි තත්ත්වයට පත්වුණු කාන්තාවන්ට සේවයක් ලබා දෙනවා. 0113042507- 0772292662 දුරකථන අංකවලට හා abina@sltnet.lk ඊමේල් ලිපිනය හරහා මේ වෙනුවෙන් තොරතුරු ලබා ගන්නැයි මා ඉල්ලා සිටිනවා. එක්තරා අවස්ථාවක මගේ මොණරාගල පිහිටි මහ ගෙදර ගිනි තිබ්බා. එදා මම ඒ ගෙදරට යද්දි ඉතිරි වී තිබුණේ බුදු හාමුදුරුවන්ගේ පින්තූරය විතරයි. අනික් සේරම විනාශ වුණා. එදා මම ඒ ගෙදරින් එළියට බැහැලා ආවේ තෘෂ්ණාව නැති කරගෙන. අද මම ඊට සම්බන්ධ වූ පිරිසට ස්තූති කරනවා. මොකද මට ජීවිතය කියා දුන්නට සියලු දේ නැසෙන සුලුයි කියන දේ එදා මම ඉගෙන ගත්තා. හිත හදාගත්තේ එහෙමයි.
ඉතිං මම මේ දැනුත් කියන්නේ ප්‍රශ්නයක් ඔළුවේ තියාගෙන ලැජ්ජාව නිසා ඒක වසන් කරගෙන සිටීමත් පලක් නැහැ. ඔබේ පවු‍ලේ විශ්වාසවන්ත කෙනාට ඒක කියන්න. අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න. සියදිවි නසා ගැනීම මේ ප්‍රශ්නවලට විසඳුම නමෛයි.

සමන් ප්‍රියංකර නම්මුනිගේ
Lakbima

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...