සිරිපාදේ ගැන මේ සීරිස් එක ලියන්න පටන් ගත්ත දවස්වල ඉඳලා මගේ ඔළුවට මතක් වෙන තැනක් තියෙනවා. එතැනට කියන්නේ ගල්කඩුල්ල කියලා. ගල්කඩුල්ල තියෙන්නේ ඇරැව්වල කියන ඉස්සර තිබුණු ලස්සන ගමේ… දැන් ඒ ගම, ඒ තැන අන්ත නාගරීකරණයට ලක්වෙලා. ඒ කාලේ ගල්කඩුල්ලේ අලිත් නෑවුවා. කුඹුරු මැදින් දිවෙන තාර පාරක මැද තිබුණු ඇළක් හරහා ගිය පොඩි පාලමක් වගේ තැනකටයි ගල්කඩුල්ල කිව්වේ. ගල්කඩුල්ල ගැන මට මතක් වෙන්නේ ඉස්සර මං පුංචි කාලේ එතැන ඉඳලා සිරිපාදේ ලයිට් දිහා බලන් හිටිය නිසා.
පාන්දර හතරහමාරට පහට විතර අහස පැහැදිලි දවස්වලට අපේ පුරුද්දක් වෙලා තිබුණා ගල්කඩුල්ල ළඟට ගිහින් අෑතම අෑත පේන, නිවි නිවී දැල්වෙන ඒ පුංචි එළි දිහා බලාගෙන ඉන්න එක. සමහර දවස්වලට දවාලටත් සිරිපා කන්දේ පැහැදිලි දර්ශන පේන එතැන මගේ ළමා කාලේ මතක අනන්තයක් රඳව ගත්ත තැනක්. ඒ මතක ගොන්නත් එක්ක අද මං සිරිපා හිමේ විස්මය ගැන ලියන මේ ලිපි පෙළ අස්සේ මගේ සංසාර මතක ගොඩකුත් ගනුදෙනු වෙනවා. ඒවා ගැන කතාව වෙන දවසක පෙළගස්සවන්න තියලා අපි අදත් සිරිපා හිමේ අවුරුදු පනහක මතක පිරිච්ච චූටි මාමා එහෙම නැත්නම් ආරියරත්න මහත්තයාගේ කතා අසපුවට ඇතුළුවෙමු.
ඒ කියන්නේ මහත්තයා එක්කෙනයිද උයන්නේ…
නෑ. අපි එක්කගෙන යනවා දෙන්නෙක් තුන්දෙනෙක්. උයනවා විතරක් නෙවෙයි සිල් ඇත්තන්ට දානේ එහෙමත් බෙදන්න ඕනේ. තව ආවතේව වැඩ කරන්න ඕනේ. ඒවා අපි කරලා දෙනවා. ඒ වගේ ආව එක නඩයක ගුරුන්නාන්සේ දැන් හත් අට අවුරුද්දකට ඉස්සර නැති වුණා. ඊට පස්සේ ඒ ආව කට්ටිය අඩු වුණා. හත් අට දෙනයි ආවේ ඊට පස්සේ. එහෙම ඇවිල්ලා හිටපු අයත් මං එතැන නෑ දැන් කියලා දැන ගත්තාම එන එක නැවැත්තුවා. අවාරේ සිරිපාදේ කරුණා කරනවා කියන්නේ හරි අමාරු වැඩක්. පහසුකම් අඩුයිනේ.
දැන් නඩ එන්නෙම නැද්ද…
දැනුවත්ව නම් දැන් අවාරේ සිරිපාදේ එන නඩ අඩුයි.
ගොඩාක් අය එන්නේ මොන පාරෙන්ද…
හුඟාක් අය එන්නේ හැටන් පාරෙන්. රත්නපුර පාර දුරයිනේ. හැබැයි ඉතින් සිල් ගන්න නඩ ඇරෙන්න වෙන අය එනවා අනෙක් පාරවල්වලිනුත්.
කොළඹ අයත් එනවද…
අපෝ එනවා. ඒ වුණාට දැන් ආවට ඉන්න හිටින්න පහසුකම් නෑනේ. ඒ කාලෙත් එහෙමයි. ඒත් ඉතින් මහ හිමේ, දුෂ්කර කාලගුණේ මැද්දේ මහන්සියෙන් එන අයට අපි උන්නු කාලේ නම් තේ එකක් එහෙම හදලා දෙනවා. දැන් නම් එහෙම නෑ. රුපියල් සීයක් වෙනවා තේ එකක්. මුරට ඉන්න අයනේ හදන්නේ දැන්.
කාගෙන්ද…
ආරංචියේ හැටියට සුද්දන්ගෙන් එහෙම තමයි ගණන් ගන්නේ.
සුද්‍ෙදාත් එනවා නේද හරියට…
නැත්නම්. කොච්චර එනවද? අවාර කාලේ වැඩියි. සමහර දවස්වලට උදේට සුද්දෝ පනහ හැට නඩ ඉන්නවා උදේම ඇවිත්. සිරිපාදේ වාරේ පටන් ගන්න ළං වෙනකොට සුද්‍ෙදා සීය දෙසීය එනවා. මළුව පිරිලා සුද්දන්ගෙන්.
ඒ කියන්නේ දෙසැම්බර් පෝය කිට්ටුව…
ඔව්. පෝයට සති දෙකක් විතර තියෙද්දි තමයි වැඩිපුරම එන්නේ.
ඒ අය ආධාර කරනවද මොනවා හරි…
පෙළක් අය ආධාර කරනවා. පෙළක් අය නෑ. ඒ වගේම තමයි සමහර අයගේ වටිනා බඩු නැති වුණා. කැමරා, ෆෝන්, තව තව ඒවා නැති වුණා කියලා හුඟක් පැමිණිලි එනවා. මළුවේ පොලිසියට තමයි පැමිණිලි කරන්නේ. අනෙක මහත්තයා මේ අඩවියේ කොහේ හොරකමක් වුණත් කියන්නේ සිරිපාදේදි නැති වුණා කියලා.
ඒ කාලේ කොහොමද…
ඇහුවත් වගේ මේ ළඟදි එහෙම දෙයක් වුණා. මොනවා හරි නැති වෙලා. පොලිසියෙන් ඇවිත් මගෙන් ඇහුවා ඒ කාලේ මෙහෙම හොරකමක් වුණොත් කොහොමද කියලා. පස්සේ මං කිව්වා ඒ කාලෙත් මෙහෙම හොරකම් කරන අය ඇවිත් එකෙක් හොරකමේ යද්දි අනෙක් අය පහළ ශාලාවල හොරට නිදියනවා. කොහොම හරි තොරතුරු හොයාගෙන එක්කෙනෙක් අල්ලගෙන එයාට තරවටු කරලා අනෙක් අය අල්ල ගන්නවා කිව්වා. මේ ගමන ඇල්ලුවේ නෑනේ. ඒකෙන් තමයි හොරකම් වුණේ.
සිරිපාදේ ඔය ඇවිදින අය එහෙම මොනවද හොයන්නේ…
එක එක දේවල්. සමහරු නිධන් එහෙමත් හෙව්වා. අපිත් එක්කත් කතා කරපු අය හිටියා. අපි විස්තර දැනගෙන චාටුවෙන් වනජීවී එකට කතා කරලා කියනවා. සමහරු ඇවිත් තැන් ගැන එහෙම අහනවනේ. අහවල් තැන මෙහෙම ගලක් තියෙනවද ලකුණක් තියෙනවද එහෙම අහන අය හිටියා.
ඔය උඩට බඩු ගෙනියන්නේ ගොඩාක් දෙමළ අය නේද…
ඔව්. දැන් අපි හිටිය ඇහැළ කණුව ළඟට ගෙනියන්න අටසීයයි. පෙළක් තැන්වලට හත්සීයයි. නවසීයයි.
කොච්චරක්ද…
කිලෝ විසිපහයි. එක එක ඒවා. බීම බෝතල්, සීනි, පිටි, කැවිලි ජාති. එතකොට හැරමිටිපානට ගන්නවා රුපියල් හාරසීයක් විතර.
ඔය වාරේ කාලෙට ගොඩාක් අය අතරමං වෙනවා නේද පහළට බහිද්දි…
ඔව්. අර රත්නපුර පාරට වැටෙන රවුම් පාර ළඟ. අපේ කඩේ ළඟ. සමහර වයසක අම්මලට කිව්වාම ගණන් ගන්නේ නෑ. ඔහේ ගිහින් හැරිලා එනවා.
ඔය මළුවට එකතු වෙන සල්ලි, පඬුරු එහෙම මොකද කරන්නේ…
ඉස්සර නම් භාරකාර මණ්ඩලයකට ගත්තා. දැන් නම් අරගෙන යනවා නායක හාමුදුරුවරුන්ගේ පිරිස. ඉස්සර වගේ නෙවෙයි. දවස් තුනෙන්, තුනට, සතියට වගේ සැරයක් දැන් පඬුරු අරගෙන යනවා. ඒ කාලේ සති වාර්තාව යවනවා. වාරේ දෙපාරයි සල්ලි උඩ ඉඳලා ගේන්නේ. මාර්තු පෝයෙන් පස්සේ එක පාරයි. වාරේ අවසන් වුණාම එක පාරයි. කිරලා ගෙනියන්නේ. කිලෝ විසිපහේ මලු හදලා ගෙනියන්නේ. මළුව හැමතැනම දැන් කැමරා හයි කරලනේ තියෙන්නේ.
උඩ මළුවට ඇවිත් එක එක දේවල් කරන සත්තු ඉන්නවද…
එහෙම නෑ. අලියට එහෙම යන්න බෑනේ පඩි දිගේ. හැබැයි කොටියා නම් මං දැකලා තියෙනවා ඉන්නවා. අලියා එන්නේ නැත්තේ කන්ද අමාරු නිසා. බෑවුම වැඩියි.
මළුවට වතුර තියෙනවද…
මළුව වටේටම වතුර තියෙනවා. ගන්න අමාරුයි. දැන් ඔය පහළ ගලන හැම ෙදාළ පාරක්ම පටන් ගන්නේ කන්ද මැද හරියෙන්. දිය සීරාව තියෙනවනේ. ඒ වුණාට ගන්න බෑ. හෙලේ වගේනේ. මළුවට තියෙන්නේ වතුර පොම්ප කරලා.
හැටන් පාරට තියෙන සැලකිලි රත්නපුර පාරට නෑ නේද මහත්තයො…
එහෙම නෑ. හොඳටම තියෙනවා. ආමි ළමයිනේ වැඩ කළේ. හැතැප්ම හයක් විතර හොඳට තියෙනවා. හැතැප්ම භාගයක් විතර මළුවෙන් තමයි කරන්නේ.
උඩට එන අවාර නඩ බාර හාර එහෙම ඔප්පු කරන වෙලාවල් තියෙනවද…
තියෙනවා. නමුත් උඩ මළුව වහලනේ තියෙන්නේ. ඉතින් ඒ අයගේ කවුරු හරි ගුරුන්නාන්සේ කෙනෙක් ඇවිත් යාතිකා එහෙම කරලා බාර හාර නිදහස් කරලා යනවා. ඒ අය බාර වෙලා තියෙන්නේ අවාරෙම ඇවිත් අවාරෙම ඒවා ඔප්පු කරන්න. ඒකයි එහෙම වෙන්නේ.
මං අහලා තියෙනවා පත්මේ තියෙන්නේ උඩ මළුවේ ඉඳලා අඩි ගාණක් යටින් කියලා…
ඒක ඇත්ත. අඩි විසිඅටක් විතර යටින් තමයි පත්මේ තියෙන්නේ.
ඒ කියන්නේ රත්නපුර ශාලාවටත් යටින්ද…
එච්චර යටින් නෙවෙයි. ඒක එන්නේ හැටන් ශාලාවේ මැද හරියේ විතර. එතැන ලොකු කතාවක් තියෙනවා. ඒක එළි කරන එකත් හොඳ මදි. ඒ වුණාට මං හිටපු කාලේ දැක්ක දුටුව දේනේ. ඒ හින්දා මං කියන්නම්. එතැන තියෙනවා ගල් ෙදාරටුවක්. ඒ කියන්නේ ෙදාර උළුවහු තියෙන තැනක්. ගලෙන් හදලා තියෙන්නේ. ලස්සන මල් කැටයම් එහෙම කපලා මෝස්තර දාලා තමයි ඒ ෙදාරටුව තියෙන්නේ. කවුරුත් මේ ගැන දන්නේ නෑ. එතැන එදා හිටිය කීප දෙනා විතරයි මේක දැක්කේ.
හරියටම කොතැනද ඔය කියන්නේ…
හැටන් ශාලාව මැද හරියේ. එතකොට අපි ඒක දැක්ක ගමන් ඒ කාලේ හිටිය නායක හාමුදුරුවන්ට කතා කළා.
කවුද නායක හාමුදුරුවෝ…
කිරිඇල්ලේ නඳුන් රජමහා විහාරේ නායක හාමුදුරුවෝ. ඔය ශාලාව හදන්න කැඩුවනේ බිත්ති. එතකොට තමයි මතු වුණේ ඒ ගල් ෙදාර. ඉස්සර ටකරන්නේ තිබුණේ. මේ ටකරන් අයින් කරලා ගල් වගයක් පාදද්දි තමයි එතැන ගල් ෙදාර පේන්න ගත්තේ. මේක හැදුවේ කොන්ත්‍රාත් අරගෙන.
වාරේද…
නෑ. නෑ. ආවාරේ. බාලසූරියද කවුද කියලා මහත්තයෙක් තමයි කොන්ත්‍රාත් අරගෙන තිබුණේ. ඔය හදන වෙලාවේ ගල් ගලවනකොට තමයි අර උළුවස්ස හම්බු වුණේ.
ගොඩාක් අය හිටියද…
අපි පස් හය දෙනෙක් හිටියා. ගල් උළුවස්ස මැදින් ඇතුළට යන පාරක් තිබුණා. ඒ පාර කළුවරයි.
එතැනින් එහාට කතාව දැනගන්නතුරු ඔබට ඉවසිල්ලක් නෑ නේද? ලබන සතිය වෙනකම් ඉන්න. චූටි මාමා කිව්ව ඒ කතාව ලබන සතියේ අහමු. දන්නවද සිරිපා අඩවිය කියන්නේ කවදාවත් ලියලා කියලා ඉවර කරන්න බැරි මහා සංස්කෘතික උරුමයක්. මං එහෙම කියන්නේ හේතුවක් ඇතිව. මේ ලෝකේ කොහේවත් නෑ මේ වගේ කන්දක් බැතිමතුන්ගෙන් පිරිලා ඉතිරිලා යන. ඒ වගේමයි ඒ එන බැතිමතුන්ගේ කටේ නිතර රැඳිලා තියෙන්නේ ‘කරුණාවයි – කරුණාවයි’ කියන වචන. මේ වගේ ලක්ෂ
ගණනකගේ සාදු නදින් ගිගුම් දෙන සිරිපා අඩවියේ අපි නොදන්න සැඟවුණු දෑ කොච්චර ඇත්ද? මේ ගලන හැම වතුර බින්දුවක්ම, මේ හමන හැම සුළං පොදක්ම, මේ ඇහෙන හැම සාදුකාර නාදයක්ම අපි දන්නැති කතාවක් අපට කියනවා. ඒත් අපට ඒවාට ඇහුම්කන් දෙන්න, ඒ ගැන හොයන්න, වෙහෙසෙන්න වෙලාවක් නෑ. අපි එහෙම හෙව්වේ බැලුවේ නෑ කියලා සිරිපා හිමේ අසිරිය අඩු වෙන්නේ නෑ. ඒ වගේම ඒ තියෙන අනුහසත් අඩු වෙන්නේ නෑ. ආයි ඊළඟ වාරේ එනකම් ගල්කඩුල්ල ගාවට ගිහින් සිරිපා කන්දේ ඡායාව දිහා බලාගෙන ඉන්න තියෙනවා නම්. මාත් එක්ක එන්න වෙලාවක් නෑ නේද ඔබට?
අනූ එදිරිසිංහ