අද උදෑසන 6.20 ට පමණ අතුරුගිරිය හෝකන්දර ප්‍රදේශයේ රබර් වත්තකට ගුවන් යානයක් කඩා වැටුණි. එස්.බී.එම් 864 දරණ එම ගුවන් යානය ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් යානයක් බවත් කටුනායක සිට රත්මලාන දක්වා නියමුවන් 5 දෙනෙකු සමග පියාසර කරමින් සිටියදී අනතුරට පත්ව ඇති බවත් පසුව වාර්තා වුණා.
හෝකන්දර හොරහේන කැතරින් පාක් වත්ත නමින් හඳුන්වන රබර් වත්තට මෙය වැටුණ අතර විශාල දුමක් නගමින් ගිනිගනිමින් තිබුණ එය දෙසට ප්‍රදේශවාසීන් දිව ඇවිත් වතුර ගසා නිවන්නට උත්සාහ කර තිබුණා.
ගිනි නිවන හමුදාව පැමිණ ඇත්තේ පැය භාගයකයට පමණ පසුය.එක් අයෙකු බරපතල තුවාල ලබා සිටියදී හමුව ඇති අතර ඔහුව ජාතික රෝහලට ඇතුළත් කර ඇත. ඒ අතර මළ සිරුරු දෙකක් ඉවත් කරගත් බවටද වාර්තා පළවුණා.
පසුව බරපතල තුවාල ලැබූ ගුවන් හමුදා නිලධාරි වරයා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා පිටත් කළ අතර පසුව එහිදී උදෑසන 9 ට පමණ මියගිය බව වාර්තා විය. ගුවන් යානයේ සිටි බව කියන ඉතිරි දෙදෙනකුගේ සිරුරු තවම සොයාගෙන නැත. මියගිය ගණන 4 දෙනෙකු ලෙස සැලකේ.
භූමියේ මිනිසුන් හෝ ගොඩනැගිලි නොතිබුණ නිසා අනතුරින් වෙනත් කිසිවකට හානි සිදුවී නැත.
සිවිල් ගුවන් සේවා අධිකාරිය ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් යානයක් එලෙස කඩා වැටී ඇති බව දැන් තහවුරු කර ඇත.
කටුනායකින් ගමන් ගනිමින් සිටි යානය අධික මීදුමට හසුව ඇති බවට තොරතුරු ලැඛෙන අතර එහි අවසන් පණිවිඩය ලැබී ඇත්තේ රත්මලාන ගුවන්පතය නොපෙනෙන බවකි.
සිද්ධිය දැක බලා ගැනීමට හෝකන්දර ප්‍රදේශයට මේ වනවිට විශාල පිරිසක් පැමිණ සිටිති.
ඡායාරූප කිහිපයක් හා වීඩියෝ වාර්තාව පහතින්…







