පොළොන්නරුව – බණ්ඩාර මුදියන්සේ
නවීන විද්‍යාත්මක ලෝකය විසින් වසර පන්සියයකට පසු විශ්වය පුරා ජීවය පවතින්නේය යන විද්‍යාත්මක සත්‍යය හෙළිදරව් වූ අරලගංවිල කුඩාවැව, ඒ.ජී. ටිකිරි බණ්ඩා ගොවි මහතාගේ කුඹුර සුවිශේෂී ස්ථානයක් ලෙස සංරක්ෂණය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟ වූ බව එංගලන්තයේ බකිංහැම් විශ්වවිද්‍යාලයේ තාරකා ජීව විද්‍යා මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා පවසයි.
මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා අරලගංවිල උල්කාෂ්ම පිළිබඳව ජනාධිපති සමඟ කළ සාකච්ඡාව පිළිබඳ අප කළ විමසුමකදී ඒ මහතා මේ බව පැවැසීය.
මහාචාර්ය චන්ද්‍රා වික්‍රසිංහ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවැසීය.
බෞද්ධ හා හින්දු ආගමික මති මතාන්තරවල දැක්වෙන විශ්වයේ වෙනත් ජීවීන් සිටිනවාය යන අදහස නවීන විද්‍යාවෙන් වසර පන්සියයකට පසුව 2012 වසරේදී තහවුරු වුණා. එම වැදගත්ම සාක්ෂිය ලැබුණේ අරලගංවිල කුඩාවැව ටිකිරි බණ්ඩාරගේ කුඹුරෙන්. එම නිසා ජනාධිපති සමඟ පැවැති සාකච්ඡාවේ දී පෙරේදා (25දා) අප මේ වැදගත් තොරතුරු හෙළි කළා.
විශ්වයේ ජීවීන් හමුවූ බවට ලැබුණ පළමු සාක්ෂිය මෙය වීම නිසා එය අනාගත පර්යේෂකයන්ට විද්‍යාර්ථීන්ට ප්‍රයෝජනයට ගැනීමට සංරක්ෂණය කළයුතු බව අවධාරණය කෙරුණා.
මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා පවසන්නේ මේ ස්ථානය දෙස් විදෙස් පර්යේෂකයන් සඳහා අතිශයින්ම වැදගත් ස්ථානයක් බවයි.
ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ප්‍රජාවට නවීන විද්‍යාත්මක ලෝකය හා තාරකා ජීව විද්‍යා පිළිබඳව හා විශ්වය පුරා ජීවය පවත්නා බවට ගවේෂණය කළහැකි අවස්ථා ඇති කිරීම පිළිබඳවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවද මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා පැවැසීය.
මෙම ස්ථානයට දැනට පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගත් බව අරලගංවිල පොලිස් ස්ථානාධිපති පො.ප. ලලිත් රාජමන්ත්‍රි මහතා පැවැසීය.