වසර 100ක් පුරා සිංහලයාට අභිමානයක් ලබා දුන් අනගාරික ධර්මපාලතුමාගේ “සිංහල බෞද්ධයා”

ආරම්භය – 1906 මැයි 07 දින අනගාරික ධර්මපාලතුමා
කර්තෘ – පියදාස සිරිසේන මහතා – ප්‍රකාශක – ආරියපාල අනවරත්න මහතා
දායක මුදල් කොළඹ අවුරුද්දකට රු 3කි. පිට පළාත්වල රු 4කි.
ප්‍රමාණය අඟල් 18 x 11 පිටු 8 කි.

සිංහල ජනයාගෙන් ගිලිහෙමින් පැවතුණු ජාතික මමත්වය දේශාභිමානය යළි ගොඩනගා අධිරාජ්‍යවාදී ඉංග්‍රීසි පාලකයන්ට එරෙහිව සිංහල ජනයා පෙළගස්වා සිංහලයාගේ නිදහස් අදහස් පෙළගැස්වීමට අනගාරික ධර්මපාලතුමා 1906 මැයි මස 07 දින (වෙසක් පුර පසළොස්වක පොහෝදින) සිංහල බෞද්ධයා පුවත්පත ආරම්භකරන ලදී.

අනගාරික ධර්මපාලතුමා ආරම්භකළ මෙරට ජාතික ව්‍යාපාර ඉදිරියට ගෙනයෑමේ ප්‍රබල අවියක් වූයේ මේ සිංහල බෞද්ධයා පුවත්පතයි. වසර සියයක් නොකඩවා පළවන පුවත්පත් අතරින් එකක්වන මේ සිංහල බෞද්ධයා මෙරට ජාතික සටනේ ප්‍රබල අවියක් විය. සිංහලයිනි නැගිටිව්! බුද්ධගයාව බේරාගනිව්! අනගාරික ධර්මපාලතුමාගේ සිංහ නාදය රටපුරා පැතිරුවේ මේ පුවත්පත හරහායි.

තරුණ වියේදී “සරසවි සඳරැස” පුවත්පතේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරය දරමින් පුවත්පත් කලාව පිළිබඳ විවිධ අත්දැකීම් ලබාගත් ධර්මපාලතුමා දඹදිව සිද්ධස්ථාන වැද පුදා ගැනීමට ඉන්දියාව බලා ගියේය. අන් ආගමිකයන්ට පත්ව තිබූ බුද්ධගයාව බේරා ගැනීමට ‍තමා පිහිටවූ මහා බෝධි සංගමය හරහා හඬ නැගුවේය. තම සංගමය ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම සඳහා ඉංග්‍රීසි මහා‍බෝධි සඟරාව ආරම්භ කර එම සටන දේශීය මට්ටමින් ගෙනයෑම සඳහා සිංහල බෞද්ධයා” පුවත්පත ආරම්භ කරන ලදී.

සිංහල බෞද්ධයා මුල්ම පුවත්පත 1906 මැයි 07

“සිංහල ජාතිය පටන්ගෙන වර්ෂ 2450ක් සම්පූර්ණ වීම සඳහා මහා බෝධි සමාගම විසින් ආරම්භ කරන ලදී” යන්න මුල් පුවත්පතේ උඩින්ම සඳහන් වේ. පුවත්පතේ දෙපැත්තෙන් දුටුගැමුණු රජතුමාගේ කියමනක් ඉංග්‍රීසි භාෂාවෙන් හා සිංහල භාෂාවෙන් සඳහන් කර ඇත.

“මාගේ මේ ව්‍යායාමය තෙමේ කිසිකලෙකත් රජ සැප පිණිස නොවන්නේය. මාගේ මේ උත්සාහය බුද්ධශාසනයේ පිහිටුවීම පිණිස මැයි.

දුටුගැමුණු මහරජතුමා කළුකොඳයාවේ ප්‍රඤ්ඤාසේකර හිමියෝ සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය පොතේ සඳහන් පරිදි අනගාරික ධර්මපාලතුමා 1906 මැයි 07 දින සම්පාදනය කොට ආරම්භ කරන ලද සිංහල බෞද්ධයා පුවත්පතේ.

කර්තෘ – පියදාස සිරිසේන මහතා
ප්‍රකාශක – ආරියපාල අනවරත්න මහතා
දායක මුදල් කොළඹ අවුරුද්දකට රු 3කි. පිට පළාත්වල රු 4කි.
ප්‍රමාණය අඟල් 18 x 11 පිටු 8 කි.

ශ්‍රී ලංකාවට නිදහස ලැබීම

සිංහල බෞද්ධයා සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නොබියව හඬනගන ලදී. එහෙත් වෙනත් ආගම් හෙළා දැකීමක් කෙළේ නැත. සමහර මිෂනාරීන් ආගම් ප්‍රචාරයට ගෙන යන බෞද්ධ විරෝධී කටයුතු දැඩිලෙස විවේචනය කළේය. ජාතික ප්‍රශ්න ගැන කතා කිරීමේදී පොදුවේ විවිධ ජාතීන්ගේ අදහස් අයිතිවාසිකම් වෙනුවෙන් කතා කළේය. කිසිවිටක අන්තවාදී නොවීය. සැමවිට මධ්‍යස්ථ සාමකාමී නීතිගරුක විය.

ශ්‍රී ලංකාවේ මුල්ම ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේදී සිංහල බෞද්ධයා සහය දැක්වූයේ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතාටයි. ඔහුගේ විරුද්ධවාදියා වූයේ සිංහලයකු වූ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දුය. ශ්‍රී ලංකාවට නිදහස ඉල්ලා දූත පිරිසක් එංගලන්තයට යැවීමට ලංකා ජාතික සංගමය තීරණය කළ අවස්ථාවේ දූත පිරිසේ නායකයා විය යුත්තේ කවරකුද යන්න වාදයක් ඇතිවිය.

ඊ. ඩබ්ලිව්. පෙරේරා එයට සුදුසු බව සිංහල බෞද්ධයා කියා සිටියේය. පෙරේරා අබෞද්ධයකු වුවත් පුවත්පත ඔහුගේ පැත්ත ගත්තේය. රටේ පැවති විවිධ දේශපාලන ප්‍රශ්න හමුවේ සිංහල බෞද්ධයා පැත්තක් නොගෙන බුද්ධිමත්ව ක්‍රියා කෙළේය.

සිංහල බෞද්ධයා මෑත කාලයේ පුවත් පතක්

ධර්මපාලතුමාට තිබුණු බලය ගැන හොඳින් දැන සිටි ඉංග්‍රීසි ආණ්ඩුව 1915 සිංහල – මුස්ලිම් කැරැල්ල පැන නැගුණු විට සිංහල බෞද්ධයා තහනම් කළේය. පොලිස්පති ඩව්බිගින් ආණ්ඩුකාර රොබට් චාමර්ස් අරගලය කැරැල්ලක් ලෙස දන්වා ලංකාවේ යුද්ධ නීතිය ප්‍රකාශයට පත් කෙළේය. අනගාරික ධර්මපාලතුමා ගෙනගිය අමද්‍යප ව්‍යාපාරයේ නායකයින් වූ බෞද්ධ සිංහලයන් බන්ධනාගාර ගත කෙරිණි.

රාජ්‍ය ද්‍රෝහීන් ලෙස අත්අඩංගුවට ගත් සිංහලයන් වෙනුවෙන් 1915 ජුනි 16 වෙනිදා තෙක් සිංහල බෞද්ධයා පුවත්පතින් හඬක් නගන ලදී. 1915 ජුනි 16 දින මුද්‍රණාලයට කඩාවැදුණු පොලිසිය මුද්‍රණාලයට සීල් තබා “පැරණි සිංහල බෞද්ධයා පුවත්පත්ද ලිපිලේඛනද අත්අඩංගුවට ගෙන එවකට පත්‍රයේ කතුවරයා වූ යූ.ජී. ඒකනායක මහතා හා ධර්මපාල තුමාගේ සොහොයුරු දොස්තර සී.ඒ. හේවාවිතාරණ මහතාද අත්අඩංගුවට ගන්නා ලදී.

ඉන්දියාවේ සිටි ධර්මපාලතුමා එහි නිවාස අඩස්සියට පත් කළේය. ඔවුන්ට එල්ලවූ චෝදනාව නම් පුවත්පතින් “පර සුද්දා” යැයි අපහාස කෙළේය යන්නයි. මේ සිංහල මුස්ලිම් අරගලයේදී අත්අඩංගුවට ගත් ධර්මපාලතුමාගේ හා දොස්තර සී.ඒ. හේවාවිතාරණ මහතාගේ සොහොයුරු ඇඩ්මන්ඩ් හේවාවිතාරණ මහතා ජීවිතාන්තය දක්වා හිරයට නියම විය. ඔහු යාපනය හිර ගෙදර දී මිය ගියේය.

අනගාරික ධර්මපාල තුමාගේ සෝබන මාලිගාව

මේ සිංහල මුස්ලිම් අරගලය නිසා යුද නීතිය යටතේ සිංහලයන් 116 දෙනෙකුට කැරලි කෝලාහල වලට සම්බන්ධයැයි චෝදනා කොට වෙඩි තබා මරාදමන ලදී. තවත් 8016 දෙනකුට සාමාන්‍ය අධිකරණ ශාලාවල නඩු අසන ලදී. 412 දෙනකුට විරුද්ධව යුද්ධාධිකරණයේ නඩු පවරන ලදී. මෙයින් 83දෙ‍ෙනකුට මරණ දඬුවම පනවන ලදී. ඇඩ්මන් හේවාවිතාරණ මහතාට අමතරව 83 දෙනකු ජීවිතාන්තය දක්වා හිරේට යවන ලදී.

සිංහල බෞද්ධයා ප්‍රකාශයට පත්කිරීම නැවතුනි. අනගාරික ධර්මපාලතුමා වසර 7ක් ඉන්දියාවේ නිවාස අඩස්සියේ සිට අධිරාජ්‍යවාදීන්ගේ තහන්චි අවසන් වූ පසු 1921 නැවත ශ්‍රී ලංකාවට පැමිණ මහා බෝධි සමාගමේ කාර්යයන්ට ජීවය දීමට පටන්ගත්තේය.

මුද්‍රා තැබූ මොහොතේ මුද්‍රණ යන්ත්‍ර ඇතුළු සියල්ල පොලිසිය විසින් ගෙනගොස් තිබූ නිසා සියලු උපකරණ අලුතින් ගෙන පුවත්පත මුද්‍රණය ඇරැඹීය. සිංහල බෞද්ධයා පුවත්පතින් බුද්ධගයා සංවර්ධන අරමුදල නමින් අරමුදලක් ඇතිකරන ලදී. අනගාරික ධර්මපාලතුමා සසුන් ගතවීමත් සමඟ පුවත්පතේ අ‍ෙලවිය අඩුවිය. මහ බෝධි සමාගම එයට පිළියම් යෙදුවේය.

“සිංහල බෞද්ධයා” කර්තෘවරු
ආරම්භක කර්තෘ – අනගාරික ධර්මපාලතුමා 1906 මැයි 07 – පියදාස සිරිසේන මහතා 1906 – 1908
ප්‍රකාශක – ආර්යපාල අනවරත්න මහතා

අනාගාරික ධර්මපාලතුමා විසින් පරම විඥානාර්ථ සමාගමේ ‘සරසවි සඳ රැස’ට එරෙහිව අලුතින් පත්‍රයක් ඇරැඹීමට කටයුතු කරමින් සිටින විට එයට හවුල්වූ පියදාස සිරිසේන මහතා අනගාරික ධර්මපාලතුමා පුවත්පතට “බෞද්ධයා” යන නම තීරණය කර තිබුණත් පියදාස සිරිසේන මහතාගේ ’සිංහල බෞද්ධයා’ නම නම් කළේය. මෙය සතිපතා පළකිරීමට අනගාරික ධර්මපාලතුමා කටයුතු කළේය.

-යු. පී. ඒකනායක 1915 කර්තෘ සිරභාරයට නියම විය

කළමනාකාර අධ්‍යක්ෂ දොස්තර සී. ඒ. හේවාවිතාරණ මහතාත් හිරභාරයට ගන්නා ලදී. වසර 7කට පත්‍රය තහනම් කරන ලදී.

– නැවත 1922 සිංහල බෞද්ධයා පටන් ගනී – – අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතා කර්තෘ වෙයි‍. – හේමපාල මුනිදාස මහතා 1933 දී කර්තෘ ඔහු බ්‍රේස් ගර්ඩ් සිද්ධියේදී ස්වදේශ ඇමැති ඩී. බී. ජයතිලක මහතාගේ නිර්දෝෂිභාවය ඔප්පු කිරීමටත් පොලිස්පතිගේ වංචනික භාවය හෙළිකිරීමටත් සිංහල බෞද්ධයා වෙතින් ජනතා බලවේගයක් ගොඩනඟන ලදී.

ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියේ පිහිටවීමට පක්ෂව කටයුතු කළේය. හේමපාල මුනිදාස මහතාගේ යුගයේ සිංහල බෞද්ධයා පුවත්පතේ ස්වර්ණමය යුගයයි.

1940 දී හේමපාල මුනිදාස මහතා එහි කර්තෘ පදවියෙන් ඉවත්විය.

1940 දී ඩේවිඩ් කරුණාරත්න මහතා කර්තෘ පදවිය භාර ගනී. ඔහු 1940 සිට 1950 දක්වා සිංහල බෞද්ධයා කර්තෘ පදවිය ලබයි.

රාජා වී. ඒකනායක මහතා 1950 සිට 1973 දක්වා කර්තෘ පදවිය ලබයි. 1956 පෙරළියට සිංහල බෞද්ධයා සහාය දක්වයි. මහජන එක්සත් පෙරමුණු රජයේ රාජ්‍ය භාෂා පනතට ඉහළින්ම සහයෝගය දක්වයි. පිරිවෙන් විශ්වවිද්‍යාල තත්ත්වයට උසස්කිරීම ගැන කතා කරයි. ප්‍රබල ජනමතයක් ගොඩනගයි. බෞද්ධ රටක් වූ ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් විය යුතුයි යන මතය දැරීය.

මේ කාලයේ සිංහල පුවත් බෞද්ධයා පුවත්පතේ සේවය කළ විමලේන්ද්‍ර වතුරේගම, ධර්මසිරි ගමගේ, එච්. ඩබ්ලිව්. අබේපාල, වැනි දක්ෂයන් විය. පුවත්පත මුද්‍රණය කරවීමට ඇම්. ඩී. ගුණසේන ආයතනයේ අනුබද්ධ ස්වාධීන පත්‍ර සමාගමේ සභාපති සේපාල ගුණසේන මහතා අනුග්‍රහය ලබා දෙයි.

ලංකා මහාබෝධි සමාගම සමග ඇති වූ අර්බුදයක් නිසා 1973දී රාජා. වී. ඒකනායක මහතා කර්තෘ පදවියෙන් ඉල්ලා අස්වෙයි. එවකට මහබෝධි සමාගමේ පාලක මණ්ඩලයේ සිටි රණපාල බෝධිනාගොඩ මහතාගේ ඉල්ලීම අනුව 1973 වසරේ එඩ්මන් රණසිංහ මහතා කර්තෘ පදවිය භාරගනී. එහෙත් ඔහු කර්තෘ පදවිය දරන්නේ ටික කලකි. හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස හිමිගේ ඉල්ලීම පරිදි 1976 දී මහබෝධි සමාගමේ ලේකම්වරයකු වූ අධිනීතිඥ හරිස්චන්ද්‍ර විජේතුංග මහතා කර්තෘ පදවිය භාරගනී.

ඔහු ඉල්ලා අස්වීමෙන් පසු ඩී. එච්. අබේසිංහ කර්තෘ පදවිය දරයි. 1985 වසරේදී නීතිඥ ආර්. පල්ලේවෙල කර්තෘ පදවිය දරයි. මේ අවදියේදී විජය පුවත්පත් සමාගමේ රංජිත් විජේවර්ධන මහතා සිංහල බෞද්ධයා බෙදාහැරීමට අත දෙයි.

සිංහල බෞද්ධයා පසළොස්වක පොහෝ දින පමණක් මුද්‍රණය කිරීම ඇරැඹේ. 1990 දී ප්‍රවීණ ලේඛක කීර්ති කලහේ කර්තෘ පදවියට පත්වේ. 1996 දී ප්‍රේමසිරි අබේසිංහ කර්තෘ පදවිය දරයි. මේ පුවත්පත මුල්‍යමය අර්බුද නිසා මේ අවදියේ මහාබෝධි සමාගමේ යාව ජීව සාමාජිකයන්ට පමණක් බෙදා හරී. ජපානයේ ප්‍රධාන සංඝනායක මහා බෝධි අග්‍රශ්‍රාවක විහාරාධිපති බානගල උපතිස්ස හිමි ශ්‍රී ලංකා මහාබෝධි සමාගමේ සභාපති පදවියට පත්වීමත් සමඟ සිංහල බෞද්ධයා පුවත්පතට නව ස්වර්ණමය යුගයක් උදාවෙයි.

සිංහල බෞද්ධයා නොකඩවා පළවිය යුතු යැයි අනගාරික ධර්මපාලතුමා තම අන්තිම කැමති පත්‍රයේ ද සඳහන් කර තිබු අදහස මල්පල ගන්වමින් නොකඩවා මාසිකව ඉතා විචිත්‍රවත් ලෙස සිංහල බෞද්ධයා ප්‍රකාශයට පත් කිරීමට බානගල උපතිස්ස හිමි කටයුතු කරයි.

බානගල හිමි ප්‍රවීණ මාධ්‍යවේදියකු වූ ලක්ෂ්මන් ජයවර්ධන මහතාට කර්තෘ පදවිය භාරදෙයි. මේ අව දියේ අප ලේක්හවුස් ආයතනයද ප්‍රත්‍රය මුද්‍රණයට අනුග්‍රහය දෙයි.ඉන් අනතුරුව නිව්ටන් පින්තු මහතා ද අනතුරුව ආචාර්ය විජේතුංග මහතා කර්තෘ පදවිය ලබයි. 2004 දී චන්ද්‍රසේන රණවීර මහතා සිංහල බෞද්ධයා කර්තෘ පදවිය භාරගනී‍. පසු දීප්ති අධිකාරි මහතා කර්තෘ පදවිය දරයි. වර්තමාන කර්තෘ පදවිය දරන්නේ ප්‍රවීණ ලේඛක නාරද කරුණාතිලක මහතායි.

ආශ්‍රිත ග්‍රන්ථ – සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය – කළුකොඳයාවේ ප්‍රඥාසේකර හිමි- සිංහල බෞද්ධයා 1906 ප්‍රථම කාණ්ඩය,සිංහල වීරයෝ – ටී.ඇස්. ධර්මබන්ධු 1971 දා, සිංහල බෞද්ධයා සියවසක අනුස්මරණ ශ්‍රාස්ත්‍රීය සංග්‍රහය 2006, සිංහල බෞද්ධයා සියවස් සැමරුම 2006., සිංහල පුවත්කලාවේ පුරෝගාමියෝ, සදගෝමි කෝපරහේවා 2012, විශේෂ ස්තුතිය. ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති බානාගල උපතිස්ස හිමිට සිංහල බෞද්ධයා මුල් පුවත්වල පිටපත් ලබාදුන් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා සරෝජා වෙත්තසිංහ මහත්මියට, සරත් දීපවංශ, සමන්තිකා ගුණවර්ධන මහත්මියට.

නන්දික බැද්දේගම

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...