මානව සම්පත් අභිවෘද්ධිය පිළිබඳ නවීන මතයක් ධර්මපාලතුමාට තිබුණා

මව්බිමේ අභිවෘද්ධිය වෙනුවෙන් විවෘත හා පුළුල් දැක්මකින් ස්වදේශීකයන් අවදි කිරීමට බුද්ධිමත් ආකල්ප දැරූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ප්‍රගතිකාරක යුග පුරුෂයෙකු ලෙස හැඳින්විය හැකි බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවැසීය.ශ්‍රීමත් අනගාරික ධර්මපාල 150 වන ජන්ම සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සංවිධානය කරන ජාත්‍යන්තර උත්සව මාලාවේ සමාරම්භක උත්සවය පසුගිය 20 වෙනිදා ජපානයේ ලංකාජි විහාරස්ථානයේ පැවැති අවස්ථාවේ, මුඛ්‍ය දේශනය පවත්වමින් විජේසූරිය මහතා වැඩිදුරටත් පැවැසුයේ අනාගතය වෙනුවෙන් හැම විටම සිය කටහඬ අවදි කළ ධර්මපාලතුමා, අධ්‍යාපනය හා නිර්මාණශීලී චින්තනය පිළිබඳව නිබඳව අවධාරණය කර ඇති බවයි.
ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමියන්ගේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරුණු මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් වශයෙන් සහභාගී වූයේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා සහ අස්කා විදේශීය සංස්කෘතික හුවමාරුවේ සභාපතිනි, ගෙන්සෙයි ඉතෝ තෙරණියයි.
ජපන් සහ ශ්‍රී ලංකා මහා සංඝරත්නය, විද්වතුන්, ප්‍රභූන් සහ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වී සිටියහ. උත්සව සභාව ඇරඹුණේ ධර්මපාලතුමන්ගේ ඡායාරූපයට ප්‍රධාන ආරාධිතයන් විසින් පුෂ්‍පෝපහාර දැක්වීමෙන් අනතුරුවය.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය විජේසූරිය මහතා මෙසේ ද පැවැසීය.
“අප සමීප විය යුත්තේ කා සමග ද යන්න එතුමන් පෙන්වා දී තිබෙනවා. යුරෝපයෙන් අප අපේ අභිවෘද්ධියට ගත යුතු දේ නොපමාවම ගත යුතු වුවත්, ඔවුන් අනුකරණය නොකළ යුතු බව එතුමන්ගේ මතයයි. එතුමන් අවධාරණය කරන්නේ අප පෙරදිග සමග අත්වැල් බැඳගත යුතු බවයි. ජපානය ගැනත්, ඉන්දියාව ගැනත් එතුමන්ගේ අවධානය වඩා බලවත් වීම ඔස්සේ මෙය අපට තේරුම් ගන්න පුළුවන්. අභිමානයෙන් අවදිවන ලෙසත්, අනන්‍යතාවයකින් පිබිදෙන ලෙසත්, ලංකාවේ තරුණයන්ට එතුමා පවසා තිබෙනවා.
ධර්මපාල චරිතය ගැන අවධානය යොමු කරන ඇතැමුන් නිරන්තරයෙන්ම හුවා දක්වන්නේ එතුමන් බුද්ධාගම සහ සිංහල ජාතිය ගැන පෙනී සිටීම සම්බන්ධවයි. ඒ අනුව ආගම්වාදී, ජාතිවාදී පුද්ගලයෙකු ලෙස අවප්‍රමාණ කිරීමක් ද සිදු කරන බව පැහැදිලියි. මේ ප්‍රවාදය කිසිසේත් සාධාරණ නැති බවත්, නිරවද්‍ය නොවන බවත් කිව යුතුයි.

ධර්මපාලතුමන් යුගයේ අවශ්‍යතාවක් වෙනුවෙන් පරමාදර්ශීව කැපවුණු බව පැහැදිලි කාරණාවක්. ඊට මුල් වන්නේ අධිරාජ්‍යවාදයේ බලපෑම නිසා දීර්ඝ කාලීන සංස්කෘතික උරුමයක් ඇති රටවල අභිමානය සහ අනන්‍යතාව නැති කර දැමීමේ සාහසික පිළිවෙතට එරෙහි වීමේ වුවමනාවයි. ඒ වෙනුවෙන් කළ සටන, තනි පුද්ගලයෙකු වශයෙන් කළ සටන අද අප සලකා බැලිය යුත්තේ එකල සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික සංදර්භය සැලකිල්ලට ගනිමින් බව වටහා ගත යුතු කාරණාවක්.
මානව සමාජයක සැබෑ අභිවෘද්ධිය සම්බන්ධයෙන් ධර්මපාලතුමන්ට පැහැදිලි දැක්මක් තිබුණා. ඒ විෂයේදී එතුමන් ඉතාමත් නවීන මතවාදියෙක්. රටක අභිවෘද්ධිය උදෙසා නිසි වූ අන්දමින් ලබන ආභාෂයක් ගැන එතුමන් විවෘත මනසකින් කතා කර තියෙනවා.මේ සම්බන්ධයෙන් ධර්මපාල චින්තනයට අනුරූප පැහැදිලි කාරණා දෙකක් කැපී පෙනෙනවා. ඉන් එකක් නම්, රටක ස්වාධීන වූ යහපැවැත්මට – අභිමානයට අවශ්‍ය ආර්ථික දියුණුව සම්බන්ධ දෘෂ්ටියයි. අනෙක, සදාචාරාත්මක විනය ගැන එතුමන්ගේ ආකල්පයයි.
ආගම්වාදියෙකු, ජාතිවාදියෙකු ලෙස පැතලි නිගමනවලට එළැඹෙන උදවිය ධර්මපාලතුමන් රටක දියුණුව සම්බන්ධයෙන් දක්නා ලද ඉතාමත් ප්‍රගතිශීලී අදහස් නොසලකා හැරියේ මන්ද කියන ප්‍රශ්නය අද අපට මතු වෙනවා. යැයි ද සරත් විජේසූරිය මහතා පැවැසීය.ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක ස ලංකාජි විහාරාධිපති පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන් පැවැසුයේ ධර්මපාලතුමන් සහ ජපානය අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධතාවක් බවය. ශ්‍රී ලංකා මහාබෝධි සංගමය ධර්මපාලතුමන් වෙනුවෙන් පවත්වනු ලබන ජාත්‍යන්තර උත්සව මාලාව ජපානයෙන් ආරම්භ කිරීමට ප්‍රධාන හේතුව එය බවද, බානගල හිමියෝ පෙන්වා දුන්හ.
මෙහිදී ‘ලංකාජි විහාරස්ථානයේ ධර්මපාල උරුමය’ මැයෙන් දේශනයක් කරමින් ‍‍‍ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතා පැවැසුයේ ධර්මපාල සමරු උළෙල ජපානයේ පැවැත්වීමට සුදුසුම ස්ථානය ලංකාජි විහාරස්ථානය බවයි. ජපානය තුළ ධර්මපාල සිහිනය සැබෑ කළ, ධර්මපාල උරුමයක් ඇති සංඝයා වහන්සේලා විසින් ස්ථාපිත කොට පවත්වාගෙන යන එකම විහාරස්ථානය ලංකාජි විහාරය බවද ඔහු පෙන්වා දුනි.
නමුත් අන්තිමට මේ ධර්මපාල සිහිනය සැබෑ කළේ ධර්මපාල පරපුරට අයත් බානගල උපතිස්ස නාහිමියන් විසින් යැයි පෙන්වා දුන් අතාවුදහෙට්ටි මහතා මතෛක් වසර 30ක් තිස්සේ පවත්වාගෙන ආ ලංකාජි විහාරස්ථානය මුහුණ දෙන විශාලතම අභියෝගය වන්නේ, ඉදිරි වසර 50 තුළ එළැඹෙන අභියෝගයන්ට මුහුණ දීම බව ද ධර්මපාල චින්තනය අනුව ක්‍රියා කරන්නේ නම්, ඒවාට සාර්ථකව මුහුණ දිය හැකි බව ද අවධාරණය කළේය.
ථෙරවාද බුදුදහම සහ බෞද්ධ චිත්‍ර කලා සම්ප්‍රදෘයයන් පිළිබඳ විද්වතෙකු වූ ආචාර්ය කිමියකි තනකා මහතා ද, අස්කා විදේශීය සංස්කෘතික හුවමාරුවේ සභාපතිනී ගෙන්සෙයි ඉතෝ තෙරණිය, ලංකාජි විහාරයේ නියෝජ්‍ය විහාරාධිපති හේනෙගෙදර සීලභද්‍ර හිමි සහ තලංගල්‍ලේ සෝමසිරි හිමි ද මෙහිදී අදහස් දැක්වූහ.
පද්මා යමදා මහත්මියගේ සංවිධානයෙන් යුතු ගායන කණ්ඩායම විසින් අනගාරික ධර්මපාල සමරු ගීතය ඇතුළු බැති ගී ගායනා කළ අතර, සිංහල හා ජපන් භාෂාද්වයෙන්ම උත්සව සභාව මෙහෙයවන ලද්දේ උමාලී තිලකරත්න විසිනි. යටවර පඤ්ඤාරාම හිමි, තුන්හිටියාවේ ධම්මාලෝක හිමි, කොස්වත්තේ පාලිත හිමි, සොතෝ නිකායේ නියෝජ්‍ය ‍ලේඛකාධිකාරී සෝසෙන් චිබා හිමි, ජෝනින් ෂකනුසි හිමී, සෙයිනෝ බින්ෂු හිමි ප්‍රධාන මහා සංඝරත්නයද, ජපන් සහ ශ්‍රී ලාංකික ජාතිකයින් විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

මහාචාර්ය සරත් විජේසුරිය-

Check Also

ශ්‍රී ලංකා හමුදාව ප්‍රතිසංවිධානයට දෙන මුදල් අත්හිටුවන්න බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු 7 ක්‌ එරට රජයෙන් ඉල්ලති

ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය ලබාදෙන ස්‌ටර්ලිං පවුම් මිලියන 6.6 ක ...

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...