ආදරේ මට බයයි – අනර්කලී ආකර්ෂා

රිදී තීරයේ සුන්දර මුහුණු අතරින් අනර්කලී ආකර්ෂාට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්. දේශපාලනයටත් උපන් හපන් කියන ඇගේ තොරතුරු මෙවර අපි සොයා බලමු.

* අනර්කලීට දැන් වයස කීයද?
මට දැන් වයස 26යි.

* දැන් කසාද බඳින්නත් කල වයස හරි නේද?
මම විවාහ වෙන්නෙම නැහැ.

* අනර්කලී එහෙනම් කවදාවත් කසාද බඳින්නෙම නැහැ කියලද කියන්නේ?
ඔව් මම කසාද බදින්නෙම නැහැ.

* හේතුව පසුගිය කා‍ලේ ඔයාට වුණ ප්‍රශ්නද?
නැහැ. මම ඒවා හිතේ තියාගෙන නැහැ. විවාහය කියන්නේ මට වගකීම් ගොඩක්.

* ඔයා විවාහ වෙන්නේ නැත්තේ මේ වගකීම් දරන්න බැරි නිසාද?
ඇත්තටම ඔව්. විවාහය කියන්නේ කැප කිරීම් ගොඩක්. මේ කැපකිරීම්වලට හරියට මුහුණ දෙන්න බැරි වුණොත් ඒ විවාහය දික්කසාදයක් වෙනවා. විවාහය ගෞරවනීයව, ‍පොරොන්දු මත කළ යුතු දෙයක්. විවාහයට මුල්තැන දීම ඉතා වැදගත්.

* ගැහැනියක් ලෙස ඔයාට මේ වගකීම් ගන්න බැරිද?
ඊට වඩා දේවල් සමාජයට කරනවා ගැහැනියක් ලෙස. ඒක මට ගොඩක් වටිනවා.

* කොහොම වුණත් අනර්කලී ආදරයට බයයි වගේ?
නැහැ. කොහොමත්ම නැහැ. ආදරේ මට බයයි.

* ආදරේ ඔයාට බය වෙන්න තියෙන හේතුව?
මම ආදරයට ගෞරව කරනවා. ආදරය තුළ තියෙන වගකීම් මම දන්නවා. ආදරයට ආදරණීය ලෙසට නිසි ගෞරවය සහ වටිනාකමක් දෙන කෙනෙක් මම.

* ආදරයට මෙච්චර ගෞරවයක් දෙන ඔයාව ආදරය හැම වෙලාවකම දාලා යනවා නේද?
ආදරය මාව කවදාවත් දාලා ගිහින් නැහැ. මම තමයි ආදරය දාලා ගිහින් තියෙන්නේ.

* අනර්කලීට ලබා ගන්න බැරි ආදරයක් තියෙනවද?
නැහැ. මට එහෙම ආදරයක් නැහැ.

* නිළියක් වුණ නිසා ඔයාගේ ආදරය ඔයාව හැම වෙලාවකම දාලා යනවා කියලා හිතෙන්නේ නැද්ද?

නිළියක් කියන දේ මට දෙවියන් ලබා දුන් දෙයක්. මිනිසුන්ගෙන් මට ලැබුණු ඒ ආදරය ගෞරවය මට වෙන කිසිම දෙයකින් ලබා ගන්න බැහැ. ඒ නිසා ඔයා කියපු දේ ගැන මම හිතන්නේ නැහැ.

* හරියට සිංහලවත් බැරි ඔයා කොහොමද ලංකාවේ මිනිසුන් වෙනුවෙන් දේශපාලනය කරන්නේ?

මිනිසුන්ව තේරුම් ගන්න, මිනිසුන් වෙනුවෙන් කැප වෙන්න, මිනිසුන් වෙනුවෙන් සේවය කරන්න ඔයා ඔය අහපු දේ අදාළ වෙන්නේ නැහැ. මට දේශපාලන පසුබිමක් තියෙනවා. මම දන්නවා දේශපාලනය කියන්නේ මොකක්ද, දේශපාලනයේ අර්ථය, ගැඹුර මේ හැම දේකම වටිනාකම මම හොඳටම දන්නවා.

* නිළියක් වුණ පලියට දේශපාලනය කරන්න පුළුවන්ද?
මට බලපාන ප්‍රශ්නයක්. ඕනෑම වෘත්තීයක සිටින කෙනකුට දේශපාලනයට අවතීර්ණ වෙන්න පුළුවන්. නිළියක් වුණ පලියට දේශපාලනයට එන්න බැහැ. ඉතා බුද්ධිමත්ව, ඉවසිලිවන්තව කටයුතු කරන්න පුළුවන්නම් දේශපාලනය කරන්න පුළුවන්. මම දේශපාලනයට ආවේ වාසි ලබාගන්නවත්, හම්බ කරගන්නවත් ‍නෙවෙයි.

* ඔයා ඉදිරියේ එන දකුණු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙනවද?

අනිවාර්යයෙන් මම ඒ මැතිවරණයට ඉදිරිපත් වෙනවා.

* නමුත් මෙවර දකුණෙන් ජනතාව ‘තරු’ ප්‍රතික්ෂේප කරයි කියලා හිතෙන්නේ නැද්ද?
දේශපාලනයට නළු නිළියන් පැමිණීම විලාසිතාවක් වෙලා. දේශපාලනයට ආපු අනිත් නළු නිළියන් ගැන මම දන්නේ නැහැ. මම මට පමණක් පිළිතුරක් ලබා දෙන්න පුළුවන්. මාව මිනිසුන් ප්‍රතික්ෂේප කරන එකක් නැහැ.

* අනර්කලීගේ පිටතින් පෙනෙන සරලකම ආධ්‍යාත්මයේ තියෙනවද?
මම නිවේදනය කරන කොට මගෙන් පේන සරලකම තමයි මගේ මුළු ජීවිතේම තියෙන්නේ. මම රඟපාන්නේ සිනමාවේ හෝ ටෙලි නාට්‍යවල පමණයි.

* අනර්කලී ආඩම්බරකම උපතින්ම ද අරන් අවේ?
අනේ නැහැ. මාව දන්න හැමෝම දන්නවා මම ආඩම්බර නැහැ කියලා. ආඩම්බරයි නම් දේශපාලනය කරන්නත් බැහැනේ. මම රඟපාන්න ආවෙත් මට වයස 2දී. එදා ඉඳන් අද වෙනකන් මට මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න පුළුවන් වුණෙත් මම ආඩම්බර නැති නිසා.

* ඔයා කරන විලාසිතා ලංකාවට ගැළපෙනවද?
මම කරන විලාසිතා මිනිස්සු දකිනවා. තැනට ගැළපෙන විඳිහට මම අදිනවා.

* දේශපාලන ක්ෂේත්‍රයේ අනර්කලීට තරහකාරයෝ ඉන්නවද?
දේශපාලන ක්ෂේත්‍ර කියන්නේ කැපිලි කෙටිලි ගොඩක් තියෙන තැනක්. ඒවා අපි බලා‍පොරොත්තු වෙන්න ඕනේ. අපේ හෘද ශාක්ෂියට එකඟව අපි වැඩ කළ යුතුයි. දේශපාලන ක්ෂේත්‍රයේ කලින් මගේ හතුරෝ දැන් හොඳම යාළුවෝ වෙලා ඉන්නවා. ඒ එයාලා මට කරපු දේවල් මම එයාලට නොකරපු නිසා.

* රංගන ක්ෂේත්‍රයෙත් අනර්කලීට තරහකාරයෝ වැහි වැහලා කිව්වොත්?
රංගන ක්ෂේත්‍රයේ වගේම හැම ක්ෂේත්‍රයේම තරහකාරයෝ ඉන්නවා. ඕවා මගේ හිතේ තියාගෙන ඉන්නේ නැහැ මම. මගේ ඉදිරි වැඩකටයුතු ගැන විතරයි මම හිතන්නේ.

ඉමල්කා ගුණවර්ධන
Rivira

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...