මටත් කට කතා හැදිලා තියෙනවා – අංජුලා රාජපක්ෂ

අංජුලා කියන්නේ පුංචි තිරයේ ඉන්න හැඩකාර කටකාර රුවැත්තියක්. පුංචි තිරයෙන් ඉඳහිට දකින ඇගේ තොරතුරු මෙවර රිවිසරසියෙන් තබන්න අපි කල්පනා කළා. මේ ඇගේ තොරතුරුයි.

මෙගා ටෙලිනාට්‍ය වැඩි නිසාද අංජුලා වැඩිය පුංචි තිරයෙන් දකින්න නැත්තේ.
මේ දවස්වල නම් මම රංගනයෙන් දායක වුණු සුදුයි උසයි ටෙලිනාට්‍ය විකාශය වෙනවා. ගොඩක් වෙලාවට මම චරිත තෝරාබේරාගෙන තමයි රඟපාන්නේ. ලැබෙන හැම චරිතයක්ම භාරගන්නේ නැහැ. ඒ නිසයි නිතරම පුංචි තිරයෙන් දකින්න නොලැබෙන්නේ.

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුන් ඔබව දඟකාර විසේකාර චරිතවලට කොටු කරලා තියෙනවා කිව්වොත්?
මම හිතන්නේ නැහැ. මාව එක් රාමුවකට අධ්‍යක්ෂවරුන් කොටු කරලා කියලා. මම එක් රාමුවකට කොටු වෙලා වැඩකරන්නෙත් නැහැ. පුංචි තිරයට පෙනී හිටිය හැම චරිතයක්ම එකිනෙකට වෙනස්. ඒ චරිත තුළ දඟකාර කටකාර කම මතු වුණත් චරිත වෙනස් ආරක් ගන්න නිසා එහෙම කියන්න බැහැ.

අංජුලාගේ පෙනුමත් සුපිරි පැලැන්තියක කෙනෙක් වගේනේ. ඒ නිසාද ඒ වගේ චරිතවලට වැඩියෙන් ආරාධනා ලැබෙන්නේ.
සමහර විට එහෙම වෙන්න ඇති. හුඟක් චරිත මට ලැබුණේ ‍පොහොසත් යුවතියන්ගේ චරිත. නිතරම ඒ පෙනුමෙන් දකින කොට මාව ඒ වගේ චරිතවලට ගැළපෙනවා කියලා හිතනවා ඇති.

සැබෑ ජීවිතයේ අංජුලා විසේකාර දඟකාර කෙනෙක්ද?

පුංචි තිරයෙන් දකින මංජුලාට වඩා සැබෑ ජීවිතයේ අංජුලා සෑහෙන වෙනස් හරිම සරල ජීවිතයක් මම ගත කරන්නේ.

නිතරම පුංචි තිරයෙන් දකින්න ලැබෙන්නේ රිදී තිරයට ඇරයුම් නොලැබෙන නිසාද?
මම මේ ක්‍ෂේත්‍රයට ආවේ ටෙලි නාට්‍ය ඔස්සේ. ඒ නිසා වැඩිපුර රංගනයෙන් දායකවෙන්නේ ටෙලි නාට්‍යයවලට ඊට අමතරව චිත්‍රපට සඳහා ආරාධනා ලැබෙනවා. හොඳ පිටපතක් ලැබුණොත්. මම යමක් කරන්න පුළුවන් චරිතයක් ලැබුණොත්. අනිවාර්යයෙන්ම සහභාගි වෙනවා. එහෙම ටෙලි නාට්‍යවලට විතරක් රඟපානවා කියලා හිතලා නැහැ.

නිවේදිකාවක් විදිහටත් ඔබව රූපවාහිනී මාධ්‍යයෙන් දකින්න ලැබෙනවා. නිවේදිකාව කියන භූමිකාවට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
රංගන ශිල්පිනියට ලැබෙන ප්‍රතිචාරවලට වඩා හොඳ ප්‍රතිචාරයක් නිවේදිකාවක් විදියට මට ලැබෙනවා. හුඟදෙනෙක් මම කරන වැඩසටහන් ගැන කතා කරනවා. ඒක ඇත්තටම මට සතුටක්.

වැඩසටහන් ජනප්‍රිය කරගන්න ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් යොදාගන්නවා. ඔබට නිවේදනයට ආරාධනා ලැබුණේ නිවේදනයට තියෙන දක්ෂතාවට වඩා ජනප්‍රියත්වයට කිව්වොත්?
රංගන ක්‍ෂේත්‍රයෙන් ලැබුණු ජනප්‍රියත්වයත් එක්ක තමයි මට නිවේදනයට ආරාධනා ලැබුණේ. වෘත්තීය වශයෙන් නිවේදිකාවක් නොවුණාට මම හිතනවා මට හොඳ හඬක් තියෙනවා කියලා. ඒ හඬට මිසක් මම හිතන්නේ නෑ අංජුලා කියන නමට එතැනදී මිනිස්සු ආදරය කරනවා කියලා.

ජනප්‍රිය හුඟදෙනෙක්ට වගේම අංජුලාටත් කටකතා හැදිලා තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී මානසිකව වැටිලා තියෙනවාද?
මට කටකතා හැදිලා නැහැ කියලා මම කියන්නේ නැහැ. මටත් කටකතා හැදිලා තියෙනවා. ඒක මේ ක්‍ෂේත්‍රයෙන් ලැබෙන ජනප්‍රියත්වයත් එක්ක වෙන දෙයක්. සමහර කටකතාවලට කිසිම පදනමක් නැහැ. මොකද ‍පොඩි සිද්ධියක් වුණත් ලොකු ප්‍රසිද්ධියක් විදිහට පැතිරෙනවා. ඒවා කටකතා මිසක් ඇත්තක් නොවන නිසා මම දුක් වෙන්නේ නෑ.

මේ ක්‍ෂේත්‍රයට එකතු වෙන නවකයන් ගැන මොකද හිතන්නේ. ඒ අය එක්ක වැඩ කරන්න පහසුද?
දැන් මම මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහළොවක් විතර වෙනවා. එදාට වඩා අද ක්‍ෂේත්‍රයට එකතුවෙන පිරිස වැඩියි. විශේෂයෙන් කියන්න ඕනි අපට වඩා ගොඩක් දක්ෂයන් අද ක්‍ෂේත්‍රයට එකතු වෙනවා කියලා. ඒක ඇත්තටම ටෙලි නාට්‍ය කර්මාන්තය දියුණුවෙන්න පවතින්න හොඳ අවස්ථාවක් කියන්න පුළුවන්.

වෘත්තීය රංගන ශිල්පිනියක් හැටියට අනාගතය ගැනත් ලොකු බලා‍පොරොත්තුවක් ඇති
හැමදාම ජනප්‍රියත්වය රැඳෙන්නේ නැහැ. ජනප්‍රියත්වය කියන්නේ තාවකාලික දෙයක්. ඒ නිසා ඉදිරියේදී ව්‍යාපාර ක්‍ෂේත්‍රයට යොමුවෙන්න අදහසක් තියෙනවා. ඒක තමයි මගේ ඊළඟ ඉලක්කය.

අංජුලා වගේ ලස්සන කෙනෙක්ට පෙම්වතෙක් නැහැ කිව්වොත් බොරුවක් නේද?

දැනට මගේ ජීවිතේ විශේෂ කෙනෙක් නැහැ. තාමත් දෙමව්පියන් තමයි මම ගැන හොයලා බලන්නේ. අම්මා නම් මේ දවස්වල මට විවාහයට සුදුසු කෙනෙක් හොයනවා. ඒත් බලපෑම් කරන්නේ නැහැ. හොඳ කෙනෙක් ලැබුණොත් මමත් ආදරය කරයි.

අංජුලා හොයන්නේ කොයිවගේ සහකරුවෙක්ද?

මම කැමැති මාව ආදරෙන් බලාගන්න, මාව තේරුම් අරන් ජීවත්වෙන කෙනෙක්ට. එයා ළඟ හොඳ ගතිගුණ තියෙන්න ඕනි. තේරුම් ගැනීමේ හැකියාව නොතිබුණොත් පවුල් ආරවුල් වෙන්න පුළුවන්. ඒ වගේම විවාහය කියන්නේ දෙතුන් පාරක් කරන්න පුළුවන් දෙයක් නමෛයි. ඒ නිසා විවාහයේදී මම හුඟක් පරිස්සම් වෙනවා.

ඔබ දායක වුණු අලුත් නිර්මාණ මොනවාද?

ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. දැනටමත් රූගත කිරීම් ආරම්භ වෙලා තියෙන්නේ ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට පුංචි තිරයේ දකින්න අවස්ථාව ලැබේවි.

තිළිණි මධුවන්ති
Rivira

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...