පන්දුවට පහර දෙන විට ඔහුගේ අවධානය සම්පූර්ණ තරගය දෙසට යොමු විය. එබැවින් දිනෙන් දින සාර්ථක ක්‍රිකට් තරුවක් වීමට අරවින්ද ද සිල්වාට හැකිවිය. ඔහු ක්‍රිකට් දිවියෙන් සමුගන්නා විටද තවත් කළක් ක්‍රිකට් ගසන්නට තිබුණා යෑයි මෙරට ක්‍රිකට් ලෝලීන්ගේ සිත්තුළට ඉබේම ඒත්තු ගැන්වීය. නමුත් අනාගත තරුවක් උදෙසා සිය ස්‌ථානය දීම අරවින්දගේ පරම යුතුකම බැවින් දක්‍ෂතා අතර සිටියදී ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන්නේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට් තරග 93 කදී ලකුණු 6361 ක්‌ද එක්‌දින තරග 308 කදී ලකුණු 9284 ක්‌ද ලබා ඇති අරවින්ද විසින් වාර්තා කරන ලද සමස්‌ත ජාත්‍යන්තර ශතක එකතුව 31 කි. අර්ධ ශතකවල එකතුව 86 කි. එංගලන්තයේ කෙනට් ප්‍රාන්තය නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයා වූ ඔහු එදා ලෝඩ්ස් පිටියේදී කෙනට් හී වීරයා විය. කෙනට් කණ්‌ඩායම වෙනුවෙන් ශතක පිට ශතක ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ ජවය එංගලන්ත ක්‍රිකට් ලෝලීන්ට විදහා දැක්‌වූයේය. ඒ ක්‍රිකට් දිවිය තුළ අරවින්ද පාවිච්චි කළ පිති ප්‍රමාණය කොතෙක්‌ද යෑයි ඔහුටද මතක නැත. “කොහොමත් මම අවස්‌ථාව අනූව පිති වෙනස් කරනවා. ඒ ඒ ස්‌වභාවයට අනූව පිත්තේ බර ප්‍රමාණය වෙනස් කරනවා.” යනුවෙන් අරවින්ද පවසයි. අරවින්දගේ ක්‍රිකට් දිවියේ ‘අපි නොදන්න ක්‍රිකට්’ හි දෙවැනි කොටස මෙසේ සටහන් වේ.
1996 ලෝක කුසලාන දිනා ගැනීමේ මෙහෙයුම ඇරඹිණි. 1996 ලෝක කුසලාන දිනා ගැනීමේ ප්‍රධාන ජවනිකාව අරවින්දය. එහෙත් ඔහු කියන්නේ 96 දින්නේ මම නිසා නොව ඒ සඳහා බොහෝ පිරිසක් සිටි බවයි.
“1996 පළමුවරට විදේශිකයන් දෙදෙනෙක් අපේ කණ්‌ඩායම පුහුණු කරන්න එකතු වුණා. ඒ ඩේව් වට්‌මෝර් සහ භෞතචිකිත්සක ඇලෙක්‌ස් කොන්ටෝරි. ඔවුන් දෙදෙනා පැමිණීමෙන් පසු අපි පුහුණුවන විදිහ සහ අපේ ශාරීරික යෝග්‍යතා පවත්වාගෙන ආපු විදිහ වෙනස් වුණා. ඔවුන් නියම ක්‍රමවේදයන් අපිට කියා දුන්නා. අර්ජුනගේ නායකත්වය හොඳින් තිබුණා. කණ්‌ඩායමේ හැමෝගෙම හොඳ එකමුතුභාවයක් තිබුණා. මේ සියලු දේ එකතුවෙලා තමයි අපි ලෝක කුසලාන දිනුවෙ.
හුඟක් අය කියනවා මම හින්ද තමයි 96 දිනුවෙ කියල. ඒත් මම ඒක විශ්වාස කරන්නෙ නැහැ. කණ්‌ඩායමක් විදිහට අපි ගොඩාක් හොඳට එකතුවෙලා සෙල්ලම් කළා. අර්ධ අවසන් පූර්ව තරගයේදී තීරණාත්මක අවස්‌ථාවක අතිරේක පන්දු යවන්නෙක් විදිහට ආපු උපුල් චන්දන හොඳ දුවද්දී දැවී යාමක් ලබා ගත්තා. මට මතකයි අවසන් පූර්ව තරගයේ අමාරු අවස්‌ථාවක කුමාර් ධර්මසේන හොඳ පන්දුවාර තුනක් යෑව්වා. ඒ තරගයේදී රොෂාන් මහානාම හොඳ ලකුණු ටිකක් අරන් දුන්න වගේම පන්දු රැකීමෙන් හොඳ ලකුණු ගාණක් නැවැත්තුවා. සචින් ටෙන්ඩුල්කාර්ව අවසන් පූර්ව තරගයේදී රොමේෂ් කළුවිතාරණ හොඳ ස්‌ටම්ප් කිරීමකට හසුකරගත්තා. අර්ජුනගේ නායකත්වය සහ මේ සියල්ල අපේ ජයග්‍රහණයේ සාධක වුණා.”
ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඔහු ලබාගත් ශතකය ඉතාමත් විශිෂ්ටය. ඒ ශතකය ලබා ගැනීම සඳහා අරවින්දට ඔහුගේ විදුහල්පතිතුමා සහ පියා දුන් වදන් ශක්‌තියක් විය.
“මගේ යාළුවෙක් පාසලේ විදුහල්පතිතුමාටයි මගේ තාත්තාටයි ටිකට් දෙකක් අරන් දීලා ෆයිනල් මැච් එකට කලින් දවසෙ මාව පුදුම කරවන්න මගේ කාමරයට එව්වා. ඒ දෙන්නා කාමරයට එනකම් මම දැනගෙන හිටියෙ නැහැ ෆයිනල් එක බලන්න ඇවිල්ලා කියලා. විදුහල්පතිතුමාත් මට තාත්තා කෙනෙක් වගේ. කොහොම හරි ඒ දෙන්න ඇවිල්ල මට එදා රෑ කිව්වෙ, ‘ෆයිනල් එක කියන්නෙ රටට ලොකු කීර්තියක් ගෙන දීමට හැකි අවස්‌ථාවක්. ඒ නිසා ඒක මග හරින්නෙ නැතිව උපරිමයෙන් කරන්න කියලා. ඒ කියපු දේ මගේ හිතට තදින්ම දැනුනා.”
“මම එදා ෆයිනල් මැච් එකේ බැට් කරන්න යන කොටත් තාත්තයි විදුහල්පතිතුමායි කියපු දේ ඔලුවෙ වැඩ කළා. ඒක හිතේ තියාගෙන කිසිම වැරැද්දක් කරන්නෙ නැතිව හොඳ කල්පනාවෙන් මම ක්‍රීඩා කළා. මම එදා හිතුවා මේ තරගය අතඅරින්නෙ නැතුව තනියම ඉවර වෙනකම් ගහල දිනවනවා කියලා. තාත්තයි විදුහල්පතිතුමයි කියපු දේ තරගය ඉවර වෙනකම්ම මගේ හිතේ තදින් වැඩ කළා.”
එදා ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ජයග්‍රාහී තුරුම්පුව බවට පත්වූ අරවින්ද ඕනෑම පීඩනයකදී සිය සුපුරුදු පිති ප්‍රහාරය විදහා දැක්‌වූයේ අලංකාර ලෙසටය. ඒ පිළිබඳව ඔහු දක්‌වන අදහස හරි අපූරුය.
“මම කොහොමත් කැමැති පීඩනයකදී බැට් කරන්න තමයි. කවුරු හරි හොඳ ලකුණු ගාණක් ගහල කණ්‌ඩාම හොඳ ස්‌ථාවරයෙ ඉන්න වෙලාවට මට බැට් කරන්න ආසාවක් නැහැ. ගොඩක් වෙලාවට පීඩනයක් තියෙන වෙලාවට මම තවත් හොඳට කල්පනා කරලා ක්‍රීඩා කරනවා. ඒ නිසා මට ලේසියි පීඩනය අවස්‌ථාවලදී උපරිමය කරන්න.
එදා වසීම් අක්‍රම් පන්දු යෑවීමට අකමැතිම ක්‍රීඩකයා වූයේ අරවින්ද ද සිල්වාය. ඒ අරවින්ද ඔහුගේ පන්දුවලට පීඩනයකින් තොරව පහර දෙන විලාශය හේතුවෙනි. නමුත් අරවින්ද ද සිල්වාටද පහර දෙන්න අමාරුම පන්දු යවන්නා වූයේ වසීම් අක්‍රම්ය. දෙදෙනාට දෙදෙනා අමාරුකාරයන් වූ යුගය පිළිබඳව පැහැදිලි කළ අරවින්ද,
“වසීම් අක්‍රම් කියන්නෙ ලෝකයේ හිටපු හොඳම වේග පන්දු යවන්නෙක්. මොකද එයාට පුළුවන් ඕනෑම පිතිකරුවකු පීඩනයකට ලක් කරන්න වේගයෙන් පන්දු යවන්න. ඒ වගේ හොඳ පන්දු යවන්නෙක් පන්දු යවන වෙලාවට මම තවත් වැඩියෙන් හිතනවා. මම කොහොමත් වසීම් අක්‍රම්ට අවුට් වෙන්න කැමැති නැහැ. එයාට කඩුල්ල නොදී ක්‍රීඩා කරන්නම තමයි බලන්නෙ. ඒ නිසා අපි දෙන්නා අතර හොඳ ගැටුමක් තිබුණා.”
1996 ලෝක ශූරයෝ 1999 දී පළමු වටයෙන් ඉවතට විසිවිය. එය කණ්‌ඩායම තේරීමේදී වූ ගැටලු සහගත තත්ත්වය නිසා එසේ සිදුවූ බව අරවින්ද පවසයි.
“99 ලෝක කුසලාන තරගාවලිය තිබුණෙ එංගලන්තයේ. එහෙ ගොඩක් වේග පන්දු යවන්නන්ට හිතකර තණතිලි තමයි තිබුණෙ. ඒ තරගාවලියට යන්න ඉස්‌සල්ල අපි දැනගෙන හිටියා ගොඩක් අමාරුවෙන බව. මොකද ලෝක කුසලාන සඳහා කණ්‌ඩායම තේරීමේ රැස්‌වීමේදී මමයි අර්ජුනයි නැගිටලා ආවා. එදා අපි කියන දේවල් තේරීම් කමිටුව අහන්නෙ නැතිව දඟ පන්දු යවන්නන් හත්දෙනෙක් සංචිතයට නම් කළා.
1999 න් පසුව අරවින්ද ද සිල්වාව උපනායකත්වයෙන් ඉවත් කළේය. විටෙක ඔහුට කණ්‌ඩායමේ ස්‌ථානයද අහිමි විය. නමුත් ඔහු අසාර්ථක ක්‍රීඩකයකු නොවීය. සාර්ථකත්වයේ හිණිපෙත්තේ සිටියදී සිය සමුගැනීම තීරණය කළ මේ අලංකාර පිතිකරුවා 2003 ලෝක කුසලාන තරගාවලියේදී සමුදුන්නේය.
“මම හිතන් හිටියේ 2003 ලෝක කුසලාන තරගාවලියත් අපේ රටට ජයග්‍රහණය කරවල දීලම සමුගන්න. අපි ඒ තරගාවලිය හොඳින් කළා. නමුත් අවාසනාවකට ලෝක කුසලාන ජයග්‍රහණය කරන්න අවසන් තරගයට එන්නත් බැරි වුණා. අවසන් පූර්ව තරගය තිබුණෙ ඔස්‌ටේ්‍රලියාවත් එක්‌ක. මම ඒ තරගයේදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා. නමුත් මගේ හිතේ තිබුණෙ කොහොම හරි ඒ තරගාවලිය දිනවනව කියන එක තමයි.”
2003 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය අරවින්දගේ අවසන් ජාත්‍යන්තර තරගය විය. ඔහු එදා ලෝක පූජිත පන්දු යවන්නෙක් වු බ්‍රෙට් ලී එල්ල කළ අලංකාර හයේ පහර දෙක අදටත් ක්‍රිකට් ලෝලීන්ගේ මතකයේ රැව් දෙයි. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ හිටි හැටියේ සිදුවන අවාසනාවන්ත දුවද්දී දැවී යාමකට මෙම දැවැන්ත ක්‍රීඩකයා හසු විය. ඔහු දැවී යන විට අනික් අන්තයේ සිටියේ කුමාර් සංගක්‌කාරය.
“ඒ දුවද්දී දැවී යාමට සංගක්‌කාරට දොස් කියන්න බැහැ. කොහොමත් ඔය වගේ දේවල් වෙනවා.” සංගක්‌කාර එම දැවී යාමෙන් පසු අරවින්ද අයියෙ මට සමාවෙන්න යෑයි ඉල්ලා සිටියේද යන්න අප නැගූ පැනයට අරවින්ද සිනාසෙමින් ‘ඔව්’ යනුවෙන් පවසා සිටියේය.
අසේල විතාන