කතෝලිකයන්ගේ හදවත වැනි අගරදගුරු මැදුර

කලබලකාරී බොරැල්ල හන්දියේ සිට මරදාන දෙසට ඇවිද යන මම, මඟ දෙපස වූ ඒ පොල් රුප්පාව සොයමි. එක් යුගයෙක නත්තල් සිරියෙන් පිරීතිරී ගිය, පොල් රුප්පාව මැදින් වැටී ඇති මේ පාර දිගේ, ‘කුඩයෙර්ට්’ අගරදගුරු තුමා ගමන් කරන අශ්ව කරත්තය හෝ මුණගැසේදැයි විපරම් කරමි.

ඒ, එදා ‘දිව්‍ය හෘදයේ නිවෙස’ නමින් හැඳින්වූ, අද අගරදගුරු මැදුර (Archbishop’s House) හෙවත් ‘බිෂොප් හවුස්’ වෙතින් නික්මෙන උන්වහන්සේ මහ රෝහලේ ලෙඩුන් බැහැදැකීමට යන්නේ ද මේ මාර්ගයේ වන බැවිනි.

කෙතරම් බලා සිටිය ද උන්වහන්සේ පමණක් නොව 1889 වසරේ මේ අභිමානවත් දැවැන්ත මන්දිරය ගොඩනැඟු ක්‍රිස්ටෝෆර් බොන්ජෙයෑන් හෝ ඇන්ඩෲ මෙලිසන්, පීටර් මාර්ක් හෝ ජෝන් මේරි මසෝන් යන ප්‍රංශ ජාතික ගරු අගරදගුරු තුමන්ලා කිසිවකුත් මේ මහමඟදී යළි මුණ නොගැසෙණු ඇත.

එහෙත් අභිමානවත් අතීතයක් දරා නිහඬවම නැඟී හිඳින මේ තේජාන්විත අගරදගුරු මැදුර අභියසදී ඒ දැවැන්ත චරිත මතකයට නොනැ‍ඟෙන්නේ නම් ඒ පුදුමයකි. ජීවමානව යළි දැකීමට නොහැකි මුත් උන්වහන්සේලා සියලු දෙනා සිතින් දකින්නට බාධාවක් නැති වීමේ සතුට ද ඒ පුදුමය අස්සේ මම අත්විඳිමි.

කතෝලික සභාවේ කොළඹ පදවියේ අග්‍ර රාජගුරු ප්‍රසාදීන් වහන්සේගේ වාසස්ථානය මෙන්ම එම පදවියට අයත් සියලු මීසම් පිළිබඳ පරිපාලන කටයුතු සිදු කෙරෙන මූලස්ථානය මෙයයි. (පදවි 11 ක් ඇති බැවින් පදවියෙන් පදවියට අගරදගුරු මැදුරු ද එකොළහකි.)

පූජක දිවියට පියතුමන්ලා බිහිකරන දෙවි සත්හලත් ඉතිහාසයක් පුරා මෙරට දරු පරපුරට උසස් අධ්‍යාපනය ලබා දෙන ‘ඇක්වයිනාස්’ ආයතනයත් අගරදගුරු මන්දිර පරිශ්‍රයේ දිගු නිහඬ සේවාවක යෙදෙත්. ඒ, වෙනම පරිපාලනයක් තිබුණ ද එකම බිමක සහෝදර ආයතන මෙනි.

1889 වසරේ බොරැල්ලෙන් මේ අක්කර දහය මිලදී ගන්නට ගරු බොන්‍ජෙයෑන් අගරදගුරු තුමා නොසෑහෙන්නට මහන්සි විය. ප්‍රංශයෙන් ලැබුණු ආධාර මුදල් මදි වූ තැන රට පුරා උන්වහන්සේ වෙත ආධාර ගලා ආවේ කළ ඉල්ලීමකට අනුවය.

ඒ අනුව වැඩිම මුදල වූ රුපියල් 2000 ලබා දුන්නේ, චෙවර්ලියර් ජුසේ ද සිල්වා නමැත්තෙකි. මෙරට ප්‍රංශ කොන්සාල්වරයා ලබා දුන් මුදල රුපියල් 100 කි. බී. ඕ. ඩයස් නම් ප්‍රොක්ටර්වරයා රුපියල් 50 ක්, ජෝසෆ් ප්‍රනාන්දු ගුරුතුමා රුපියල් 10 ක්, ජුසේ අප්පු රුපියලක්, නාසරෙත් ප්‍රනාන්දු රුපියල් දෙකක්, ජුවාන් පුල්ලේ රුපියල් 2.50 ත්, එස්. සන්තියාගෝ 1.50 ක් ජෙරමියස් ෆොන්සේකා රුපියල් පහක් ලෙසින් රුපියල් 4,011.24 ක් එකතු වූ බව 1889 මාර්තු 27 වැනි දින උන්වහන්සේ ලියා තැබීය. එය නම් කෙරුණේ ‘ARCHBISHOP’S RESIDENCE FUND’ යනුවෙනි.

බොරැල්ලේ ගහකොළ තුරු වදුලින් පිරී ගිය මනරම් පරිසරයත් පොල් රුප්පාවත් මැද ප්‍රධාන ගොඩනැඟිල්ල ඉදිවූයේ පියවරෙන් පියවර බොන්ජෙයෑන් පියතුමාගේම සැලැස්මකටය.

ඒ වන විටත් ෆ්‍රැන්සිස්කානු නිකායේ කන්‍යා සොයුරියන් කොළඹ ජාතික රෝහලේ සේවය කළ අතර ඒ සේවාවට දායක වන්නටත් රෝගී පියතුමන්ලා රෝහලට රැගෙන යන්නටත් මේ මාවත උන්වහන්සේ එදා නිතර භාවිත කළා වන්නට පුළුවන.

අක්කර දහයක් මැද ඉතාමත් තේජාන්විතව උන්වහන්සේ ගොඩනැඟු මේ ගෘහයේ එක් බිත්තියක පළල අඩි එකහමාරක් විය. විසල් දොර, ජ‍ෙනල්, උළුවහු, දිගු වැරැන්ඩාව ලී තරප්පු පෙළ සහිත ඒ, පළමු ගොඩනැඟීල්ල අද ද හොඳ තත්ත්වයෙනි. ඒ වටකර, නව ගොඩනැඟිලි රැසක් අද ඉදිව තිබේ.

අද වාහන කොතෙකුත් යන එන මේ බිමට එදා ආ ලොකුම වාහනය අශ්ව කරත්තයකි. තමන් ගෙනා අශ්ව කරත්තය පිළිබඳ එහි තුන්වැනි අගරදගුරු වූ කුඩයෙර් පියතුමා සිය දින පොතේ ලියා ඇත්තේ මෙලෙසිනි.

“අවුරුදු පහක් වයසැති දුඹුරු පැහැ අශ්වයා මා මිලදී ගත්තේ රුපියල් 650 කටය. ටික කලකට පසු මගේ අශ්ව කරත්තය ඇදගෙන ගිය ඒ සතා විකුණා රුපියල් 550 කට අවුරුදු 10 ක් වයසැති සුදු අශ්වයෙක් මිලදී ගතිමි. පළමු වරට මේ දිව්‍ය හෘදයේ නිවෙසට මා මෝටර් රථයක් රැගෙන ආවේ 1919 ජූලි 19 වැනිදාය. නමුත්, පසුව එය විකුණා, 1924 වසරේදී බුවික් (Buick) මෝටර් රථයක් රුපියල් 6000 කට මිලට ගතිමි…’

කතෝලික පල්ලි, පාසල්, පෘතුග්‍රිසි – ලන්දේසි හා ඉංග්‍රීසි යුගයේ තොරතුරු, රෝමයෙන් හුවමාරු වූ ලිපි ලේඛන ආදි අතීත තොරතුරු රැසක් එක්තැන් වූ මහා පොත් ගුලක් බඳු විරල ලේඛනාගාරයක් අගරදගුරු මැදුර සතුය.

එය භාරව සිටින සික්ස්ටස් කුරුකුලසූරිය ගරු පියතුමා ඉංග්‍රීසි – සිංහල, ප්‍රංශ ඇතුළු භාෂා ගණනාවක විශාරද පියතුමෙකි.

1913 වසරේ පළමු වතාවට විදුලිය ගත් බවත් එදාම මහ සෙමනේරියටත් විදුලිය දුන් බවත් කුඩයෙර් පියතුමා සඳහන් කොට තිබේ. එදා මහ සේමනේරිය ලෙස හැඳින්වූ පරිශ්‍රය අද ‘ඇක්වයිනාස්’ ආයතනයයි.

පෘතුගීසින් හැදු කතෝලික දෙව් මැදුරු එකක් නෑර විනාශ කළ ලන්දේසින් එතෙකින් නොනැවතී කතෝලික පියතුමන්ලා ද සොය සොයා ඝාතනය කළ බවත්, ඉතිරි වූ පූජක තුමන්ලා රහසේ ජීවත්වූ බවත්, කතෝලික ඉතිහාසයේ සඳහන් වේ.

මේ බව දැන ඉන්දියාවේ සිට පැමිණි ජුසේ වාස් පියතුමා යළි ධර්මදූත සේවයට පණ දුන් අතර, යළි යළිත් පැන නැඟුණු ගැටලු බාධක හමුවේ කෙසේ හෝ ක්‍රිස්තු ධර්මය මේ රටේ යළි ස්ථාපිත විය.

එවැනි යුගයෙක, යාපනය, මහනුවර සහ කොළඹ පදවි බාර වූයේ ගරු බොන්ජෙයෑන් පියතුමාටයි. කොළඹ පිටකොටුවේ පිලිප්නේරි දෙව් මැඳුර මධ්‍යස්ථානය කොට සියලු පරිපාලන කටයුතු සිදු වුවද කොටහේන සාන්ත ලුසියා ආසන දෙව් මැඳුරේ සිට පැමිණි බොන්ජෙයෑන් රදගුරු තුමා, බොරැල්ල මේ බිමේ අගරදගුරු මන්දිරයක් අරඹා සිය සේවාව ව්‍යාප්ත කළේ එලෙසිනි.

ප්‍රංශ අගරදගුරු වහන්සේලා පස් දෙනකුට පසු පළමු වතාවට සිංහල ජාතික අගරදගුරු වහන්සේ කෙනකු පත්වන්නේ 1947 වසරේදීය. ඒ, ගරු තෝමස් කාදිනල් කුරේ අගරදගුරු හිමිපාණන්ය.

එතැන් පටන් ගරු නික්ලස් මාකස්, ගරු ඔස්වල්ඩ් ගෝමිස් සහ වත්මන් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දක්වා ඒ සේවාව විහිදෙන්නේ රිදී හුයක් මෙනි.

සෑම සඳු දිනෙකම සිය පදවිය තුළ සිටින පියතුමන්ලා, සම්ප්‍රදායක් ලෙස අගරදගුරු මැදුරට පැමිණේ. උන්වහන්සේලාගේ සුහද හමුවීම්, මීසමේ ගැටලු නිරාකරණය කර ගැනීම් වැනි සියලු කටයුතු සිදු වන්නේ එදිනයි.

අධ්‍යාපන, දේව කැඳවීම්, විවාහ හා පවුල් ගැටලු, දහම් පාසල්, දෙව් මැදුරු ඇතුළු විවිධ අංශවලින් සිදුවන පරිපාලන කටයුතු භාර ගරු අධ්‍යක්ෂ පියතුමන්ලා රැසක් අගරදගුරු මැදුරේ සේවය කරත්. මේ සියල්ල, කිතු දහමේ උන්නතිය වෙනුවෙනි.

ඉඳින්, රිජ්වේ ආර්යා ළමා රෝහල පසුකර යන ඔබ තල් ගස් පෙළක් වැනි විසල් තුරු පෙළක් දිස්වන මේ භූමිය දෙස මොහොතක් නැවතී බලනු මැන!

ඔබ වෙත දෑත් දිගු කර කරුණාබරිතව බලා හිඳින ජේසු සමිඳුන්ගේ රුව ඔබ නෙතු ගැටෙනු ඇත.

විශේෂ ස්තූතිය – මධ්‍යම ලේඛනාගාරය භාර ප්‍රධාන පියතුමන් වන ගරු සික්ස්ටස් කුරුකුලසූරිය පියතුමන්ට, ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ ප්‍රධාන කර්තෘ ශාන්ත සාගර ගරු පියතුමන්ට සහ පෞද්ගලික කතෝලික පාසල් භාර අධ්‍යක්ෂ
රංජිත් මදුරාවල ගරු පියතුමාට.

ඉනෝකා පෙරේරා බණ්ඩාර

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...