අතවරයට පත් දැරියකට පොලිසියෙන් ගහලා

0
153

අතවරයට පත් වූ දැරියක පරීක්‍ෂණ සඳහා යෑයි කියමින් රැගෙන ගොස්‌ ඇයට පහර දුන්නේ යෑයි කියන කල්පිටිය පොලිසියේ කාන්තා පොලිස්‌ කොස්‌තාපල්වරියන් දෙදෙනකු ලබන 28 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස ආණමඩුව දිසා විනිසුරු රංග දිසානායක මහතා පෙරේදා (19 වැනිදා) නියෝග කළේය.

ආණමඩුව – මහ උස්‌වැව ප්‍රදේශයේ පදිංචිව සිටි පහළොස්‌ හැවිරිදි බාලවයස්‌කාර දැරියකට පෙම්වතා විසින් අතවර කළ බව කියන පැමිණිල්ලකට අනුව කාන්තා පොලිස්‌ කොස්‌තාපල්වරියන් දෙදෙනා එම දැරිය මෙලෙස රැගෙන ගොස්‌ ඇයට පහර දී ඇතැයි මූලික පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

දැරිය මේ වන විට පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටින අතර අතවර කළ බව කියන පහළොස්‌ හැවිරිදි පෙම්වතාද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු පරිවාස භාරයට යොමු කර තිබේ.

පසුගිය 08 වැනිදා එවකට ආණමඩුව පොලිසියේ සේවය කරමින් සිටි කාන්තා පොලිස්‌ කොස්‌තාපල්වරියන් දෙදෙනෙකු වන (3090) අනූෂා සහ (9258) සුදේශිකා යන දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.