පවුලක් විනාශ කළ පාපතරයෙක්

අතුරුගිරිය කහංතොට මාර්ගය පාළුවට ගොසින්ය. ඉඳහිට ධාවනය වන වාහනයක ශබ්දය හැරෙන්නට ප්‍රදේශය පුරා පැතිර තිබුණේ දැඩි නිහැඬියාවකි. ඒ වන විට රාත්‍රි 9.30 පසුවී තිබිණි.

අතුරුගිරිය පොලිසියේ (3912) ප්‍රියන්ත සහ (69471) රත්නායක පොලිස්‌ නිලධාරීන් දෙදෙනා රථවාහන පරීක්‍ෂා කිරීමේ රාජකාරියේ නිරතව සිටියහ.

අතුරුගිරිය කහංතොට මාර්ගය ඔස්‌සේ ඉබිගමනින් ධාවනය වන සුදු පැහැති වෑන් රථයක්‌ වෙත ප්‍රියන්තගේ උකුසු ඇස්‌ යොමුව තිබුණේය. පොලිස්‌ නිලධාරීන් දුටු වහාම වෑන් රථයේ රියෑදුරු එහි වේගය වැඩි කළේය.

“මට මේ වාහනය ගැන සැකයි. අපි කෝකටත් µලෝ කරලා බලමු.”

ප්‍රියන්ත තම සගයා වූ රත්නායකද සමග යතුරුපැදියේ නැඟී පලා යන වෑන් රථය ලුහු බැන්දේය. වැඩි දුරක්‌ යන්නට නොදී වෑන් රථය නතර කර ගැනීමට ප්‍රියන්තට හැකි විය.

කොහෙද ඔයගොල්ලො කලබලයෙන් යන්නෙ.

වෑන් රථය ඉදිරිපස අසුනේ සිටි පුද්ගලයන් දෙදෙනා දියෙන් ගොඩගත් මත්ස්‍යයන් මෙන් ගැහෙන්නට වූහ. රියෑදුරු අසුනේ සිටි පුද්ගලයා වචන ගැටගසමින් කතා කළේය.

“සර්…. අපි පාර්ටියකට යනවා. පරක්‌කු වෙච්ච නිසයි ටිකක්‌ ස්‌පීඩ් කරල ගියේ….”

මේ පුද්ගලයන් දෙදෙනාගේ වදන් ප්‍රියන්තගේ සැකය දෙගුණ තෙගුණ කරවන්නට සමත් විය. වෑන් රථය පරීක්‍ෂා කරන ලෙස ප්‍රියන්ත තම සගයාට ඉඟි කළේය.

රත්නායක විදුලි පන්දමද රැගෙන වෑන් රථය පසුපස කොටස පරීක්‍ෂා කරන්නට වූවේය.

“දෙවියනේ මේ මොකක්‌ද?” රත්නායකට ඉබේටම කෑගැසුනේය. වෑන් රථය පිටුපස තිබූ දැවී පිළිස්‌සුණු මළ සිරුර දුටු ප්‍රියන්ත මොහොතකට ගල් ගැසුනේය.

“උඹලා කොහෙද මේ මළ මිනියත් අරගෙන යන්නෙ. ඇත්ත කියපල්ලා, කාවද මේ මරලා ඉන්නෙ.”

ප්‍රියන්ත සහ රත්නායක වෑන් රථයේ සිටි පුද්ගලයන් සිය ග්‍රහණයට ගෙන ප්‍රශ්න කරන්නට වූහ.

“අනේ සර්…. අපට යන්න දෙන්න. සර්ලා ඉල්ලන ගාණක්‌ දෙන්නම්. අපි ලොකු කරදරයක වැටිලා ඉන්නේ” රියෑදුරු අසුනේ සිටි පුද්ගලයා කන්නලව් කරන්නට වුණේය.

එහෙත් පොලිස්‌ නිලධාරීන් දෙදෙනාගෙන් ඔවුන්ට ගැලවීමක්‌ නැත. අවම බලය යොදා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් පොලිස්‌ නිලධාරීන් මේ පිළිබඳව අතුරුගිරිය පොලිස්‌ ස්‌ථානාධිපති සංජීව මහානාම මහතාට දැනුම් දුන්හ.

බස්‌නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්‌පති කපිල ජයසේකර, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මහේන් ගුණසේකර මහත්වරුන්ගේ උපදෙස්‌ මත මේ පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ වන්නේය.

අතුරුගිරිය සහකාර පොලිස්‌ අධිකාරි ක්‍රිෂාන්ත ජයවර්ධන ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ ඒ මොහොතේම කහංතොට ප්‍රදේශයට පැමිණියහ.

වෑන් රථය පිටුපස තිබූ නිරුවත් පිරිමි මළ සිරුර හඳුනාගත නොහැක. එය ඒ තරමට දැවී පිළිස්‌සී ගොසින්ය.

සහකාර පොලිස්‌ අධිකාරි ක්‍රිෂාන්ත ජයවර්ධන ඇතුළු නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී පැය කීපයක්‌ ගත වන්නට පෙර මේ මිනී මැරුමට සම්බන්ධ සැකකරුවන් තවත් දෙදෙනකු අත්අඩංගුවට ගත්හ.

අබිරහස්‌ ඝාතනයේ සුලමුල හෙළිකර ගෙන සැකකරුවන් සියලු දෙනා නීතියේ රැහැනට නතුකර ගැනීමට පොලිස්‌ නිලධාරීන්ට එතරම් කාලයක්‌ ගත වුණේ නැත.

“සර්…. මූ තමයි අපේ පවුල් ජීවිතේ විනාශ කළේ…”

මේ අබිරහස්‌ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන වික්‍රම සහකාර පොලිස්‌ අධිකාරි ක්‍රිෂාන්ත ජයවර්ධන ඉදිරියේ තමන් මුහුණ දුන් ඒ අමිහිරි කතාන්දරයේ සුලමුල හෙළි කරන්නට වුණේය.

වික්‍රම වෘත්තියෙන් වායු සමීකරණ අලුත්වැඩියා කරන්නෙකි. ගාල්ල පෝද්දල උපන් ගම වුවද වික්‍රම පදිංචිව සිටියේ අතුරුගිරිය පෝරේ ප්‍රදේශයේය. ඒ තම මවුපියන් සමගය.

මහරගම පාසලකින් අධ්‍යාපනය ලැබූ වික්‍රම පසුව කාර්මික විද්‍යාලයකින් වායු සමීකරණ අලුත්වැඩියාව පිළිබඳව හැදැරූවේය.

වික්‍රමට නාලිනීව මුණගැසෙන්නේ කාර්මික විද්‍යාලයට යන අතරතුරදීය. ඒ මීට විසි වසරකට උඩදීය.

නාලිනීගේ චාම් ගතිපැවතුම්වලට වික්‍රම ප්‍රිය කළේය. පිළියන්දල මඩපාත පදිංචිව සිටි ඇය රැකියාවක්‌ කළේ නැත.

වික්‍රම නාලිනී විවාහය දෙපාර්ශ්වයේම කැමැත්ත මත සිදු වුණේ 1995 වර්ෂයේදීය.

“පුතේ පෝද්දල අපේ ඉඩකඩම් බලා කියා ගන්න කවුරුත් නැහැ. උඹ මහගෙදර පදිංචියට පලයන්…” වික්‍රමගේ පියා කීවේය.

පෝද්දල පදිංචියට යැම තම ජීවිත සහමුලින්ම විනාශ කරනු ලබන සිදුවීම වෙතැයි වික්‍රම හෝ නාලිනී මොහොතකටවත් සිතුවේ නැත.

1996 වර්ෂයේ පෝද්දල මහ ගෙදර පදිංචියට ගිය වික්‍රම, නාලිනී සමග අලුත් ජීවිතයක්‌ ආරම්භ කළේය.

පෝද්දල මහගෙදර හතර වටේම සිටියේ වික්‍රමගේ ඥතීන්ය. ටික කලක්‌ ගතවෙද්දී වික්‍රම නාලිනී ආදර කැදැල්ලට අලුත් සාමාජිකයන් දෙදෙනකුද එකතු වුණේය.

පුතාලා දෙන්නට හොඳට උගන්වන්න ඕනෙ. ඒ දෙන්නගෙ අනාගතේ සාර්ථක කරලා දෙන එක අපේ යුතුකම.

වික්‍රම තම ආදර බිරිඳ නාලිනී සමග මේ ගැන නිතර කතා කළේය. පවුලේ සාමාජිකයන් වැඩි වෙද්දී ආර්ථික ප්‍රශ්නද දිනෙන් දින ඉහළ යන්නට විය. ලැබෙන ආදායම පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් නොවීය.

නාලිනී මම රට රස්‌සාවකට යනවා. කීයක්‌ හරි හොයා ගත්තොත් අපිට හොඳින් ජීවත් වෙන්න පුළුවන්. වික්‍රමගේ යෝජනාවට නාලිනී කැමති වුණේ දරුවන් දෙදෙනාගේ අනාගතය ගැන සිතාය.

වික්‍රම තම දරු දෙදෙනා සහ නාලිනී අතහැර විදේශ රැකියාවට පිටත් වන්නේ 2010 වර්ෂයේදීය.

වික්‍රමගේ සුන්දර කැදැල්ල විනාශය පටන් ගන්නේ එතැන් සිටය. දරුවන් දෙදෙනාට හොඳ අධ්‍යාපනයක්‌ ලබා දෙමින් නාලිනී ඉතාම යහපත් ජීවිතයක්‌ ගත කළාය. වික්‍රම හරිහම්බ කර එවන මුදලින් පෝද්දල මහ ගෙදර නවීකරණය කළේ ද නාලිනීය.

වික්‍රමගේ දරුවන් දෙදෙනා ඉගෙනීමට උපන් හපන්කම් දැක්‌වූහ. ඔවුහු කිසියම් දිනක රටේ ඉහළට රැකියාව කරන යහපත් පුද්ගලයන් වනු ඇතැයි නාලිනී සිතුවාය. ඇය ඒ ගැන වික්‍රමද නිතර නිතර කීවාය.

නාලිනීගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙන්නට ගන්නේ හිටි හැටියේමය.

අක්‌කා බලාගෙන ඉන්දැද්දී කෙට්‌ටු වෙනවා. ඩොක්‌ටර් කෙනෙක්‌ හම්බ වෙලා බලන්න.

නාලිනීගේ සොහොයුරා ඇයට නිතර කීවේය.

නාලිනීට පියයුරු පිළිකාවක්‌ වැළඳී තිබෙන බව දැනගත් දින සියලු ඥති මිත්‍රාදීන් කම්පාවට පත්වූහ.

ඔයා දැන්ම රස්‌සාව අතහැරලා එන්න එපා. මම මේ වැඩ ටික කොහොම හරි කරගන්නම්. ඉදිරියේදී අපට වැඩිපුර සල්ලි ඕනෙ වෙයි. ඒ නිසා දිගටම ඔයා ඉන්න.

වික්‍රම ආපසු ශ්‍රී ලංකාවට එන්නට උත්සාහ කළද නාලිනී එය වළකනු ලැබුවේ අනාගතය ගැන සිතාගෙනය.

නාලිනී පදිංචි පෝද්දල නිවස ආසන්නයේ මවක්‌ සහ පුත්‍රයකු පදිංචිව සිටියහ. ඔවුන් නාලිනී සමග කිට්‌ටු සම්බන්ධතාවක්‌ ගොඩනගාගෙන සිටියහ.

“සුමන නැන්ද තමයි හැම දේකටම දුවගෙන එන්නේ. නෑදෑයන්ගෙන් ඒවගෙ උදව්වක්‌ නැහැ.

නාලිනී වික්‍රමට සුමන නැන්දාගේ උපකාර ගැන නිතර කීවාය.

නාලිනීගේ ජීවිතය විනාශ කළ ෙ€දවාචකය ආරම්භ වන්නේ එතැන් සිටය.

සුමනා නමැති කාන්තාව මහා කට්‌ට කෛරාටික එකියක්‌ බව නාලිනී දැන සිටියේ නැත. ඇය කරන පුංචි පුංචි උපකාර මහා මෙරක්‌ ලෙස නාලිනීට පෙනුනේය.

සුමනාගේ පුත්‍රයා ප්‍රසාද් ජනකය. යුද හමුදා විශේෂ බළකායේ වසර 7 ක්‌ සේවය කළ ප්‍රසාද් ජනක ඉන් පලා ආවේ උතුරේ යුද්ධය නිමවීමටත් පෙරය.

රැකියාවක්‌ නොමැතිව නන්නත්තාර ජීවිතයක්‌ ගත කළ ප්‍රසාද් සොරකම් කරන්නට පටන් ගත්තේය. මේ පාපතර ක්‍රියාවන්ට ඔහුගේ මවගෙන් ලැබුණේද සහායකි.

සුමනා නැන්දා සහ ඔහුගේ පුත්‍රයා ප්‍රසාද් කිසිම කමකට නැති තුච්ඡ පුද්ගලයන් බව නාලිනී දැන සිටියේ නැත. නාලිනී ප්‍රසාද්ට සැලකුවේ තමන්ගේම සොහොයුරකු ලෙසටය.

දිනක්‌ ප්‍රසාද් ජනක නාලිනීගේ නිවසට ආවේය. ඒ වනවිට දරුවන් දෙදෙනා සිටියේ පාසල් ගොසින්ය. නිවසට ඇතුළු වූ ප්‍රසාද් එහි ඉදිරිපස දොර වසා දැම්මේය.

“ඇයි මල්ලියෙ මොකක්‌ද මේ කරන්න යන්නෙ”

නාලිනී තැති ගත්තාය. ප්‍රසාද් අත ගල්කටස්‌ ගිනි අවියකි. කිසිවක්‌ නොපැවසූ ඔහු නාලිනී කාමරයට ඇද ගොස්‌ ඇගේ මුව තුළට ගිනි අවිය ඇතුළු කළේය.

“උඹ මම කියන විදියට ඉන්න ඕනෙ. එහෙම නොකළොත් මම උඹවත් මරලා දරුවො දෙන්නවත් මරලා දානවා.”

ප්‍රසාද් මහා නරුමයකු බව නාලිනී තේරුම් ගත්තේ ඉන් පසුවය. එහෙත් ඒ වන විට ප්‍රමාද වැඩිය.

“මම ලෙඩෙක්‌ මට කරදර කරන්න එපා. මගේ මරණය කොයි වේලාවෙද නැහැ. ඇයි උඹ මට මෙහෙම කරන්නේ.

නාලිනී හඬාවැටුණාය. එහෙත් ඒ පාපතරයාගේ හදවත උණු කරවන්නට නාලිනීගේ දැසින් කඩා හැලුණු කඳුළුවලට හැකි වුණේ නැත.

ප්‍රසාද් නමැති පාපතරයා පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි නාලිනීට අතවර කළේය. ඉන් නොනැවතුණු ඔහු නාලිනී සතුව තිබූ මුදල් සහ රන් ආභරණ කොල්ලකෑවේය.

උඹ මේ ගැන කාටහරි කියලා තිබුණොත් උඹේ දරුවො දෙන්න ගැන තියන ආසාව අතහැරගනින්.

ප්‍රසාද් නාලිනීට තර්ජනය කර නිවසෙන් පිටවුණේය.

අසරණ වී සිටි නාලිනී අන්ත අසරණ තත්ත්වයට පත්වන්නේ මේ සිදුවීමෙන් පසුවය. දරුවන්ට තිබෙන ආදරය නිසා මේ කිසිවක්‌ හෙළි නොකිරීමට ඇය වගබලා ගත්තාය.

ප්‍රසාද් නමැති පාපතරයා සිදුකළ අපරාධයට ඔහුගේ මව වූ සුමනාද අනුබල දුන්නාය.

ප්‍රසාද් අමු තිරිසනකු බව නාලිනී දැනගත්තේ සුමනා නැන්දා මාර්ගයෙන්ය. දොළොස්‌ හැවිරිදි දැරියක්‌ පැහැරගෙන ගොස්‌ අඹුකමට තබාගෙන සිටි මේ තිරිසනා ඇය ගැබිනියක කර තිබිණි. දොළොස්‌ හැවිරිදි දැරිය ගැබිණියක වූ පසු ඇයට පහරදී නිවසින් පන්නා දැමීමට මොහු ක්‍රියාකර තිබුණේය.

ගාල්ල ප්‍රදේශයේම වෛද්‍යවරයකුගේ තරුණ බිරිඳ ප්‍රාණ ඇපයට ගෙන සිටි ප්‍රසාද් ඇයටද නිතර නිතර අතවර කරමින් මුදල් ලබා ගන්නට පුරුදුව සිටියේය.

මොහු මේ සියලු අපරාධ කළේ පවුලේ සාමාජිකයන් මරා දමන බවට තර්ජනය කරමින්ය.

එතැන් සිට නාලිනීට මේ නරුමයාගෙන් ගැලවීමක්‌ ලැබුණේ නැත. නාලිනී සතුව තිබූ සියලු සේසතම මොහු විටින් විට පැහැර ගත්තේය. මුදල් ලබා නොදුන්නොත් එදින නාලිනීට සිදුවූයේ මේ පාපතරයාගෙන් පහර කෑමටය. සිතින් ශාප කරනවා හැරෙන්නට ඇයට කරන්නට යමක්‌ තිබුණේ නැත.

වික්‍රම දහදුක්‌ විඳිමින් උපයා එවන සියලුම මුදල් ප්‍රසාද් කොල්ල කෑවේය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට වියදම් කිරීමට තරම් මුදලක්‌ හෝ ඇයට ඉතිරිව තිබුණේ නැත.

මේ අතර නාලිනීගේ වැඩිමහල් පුත්‍රයා අපොස සාමාන්‍ය පෙළ විභාගය ඒ සාමාර්ථ 10 ක්‌ ලබා ගනිමින් ඉහළින්ම සමත් වුණේය.

එහෙත් තම වැඩිමහල් පුත්‍රයාට උසස්‌ අධ්‍යාපනයක්‌ ලබාදීමට තරම් ශක්‌තියක්‌ නාලිනීට තිබුණේ නැත. කෑමට බීමට වැය කිරීමට වඩා මුදලක්‌ ඉතිරිව තිබුණේ නැත.

අන්තිමේදී නාලිනීගේ දරුවන් දෙදෙනා ගාල්ලේ සංචාරක හෝටලයක පිඟන් සේදීමේ රැකියාවට ගියේ එදාවේල පිරිමසා ගැනීමට සොච්චම් මුදලක්‌ සොයා ගැනීම සඳහාය.

තමන් මුහුණපා සිටින මහා ෙ€දනීය තත්ත්වය කිසිවකුටත් නොකියා රහසක්‌ ලෙස තබා ගැනීමට නාලිනී හැම විටම උත්සාහ කළාය. ඒ දරුවන් දෙදෙනාට අනතුරක්‌ වෙතැයි දැක්‌වූ බිය නිසාය.

එහෙත් මේ සියලු දුක්‌ කරදර උහුලාගත නොහැකි තැන මේ පිළිබඳව වික්‍රමට කීමට ඇය සිතුවාය.

මට තවත් මේ දේවල් උහුලන්න බැහැ. වික්‍රම ඌ මහ තිරිසනෙක්‌. මගේ ළඟ තියන හැම සතයක්‌ම කොල්ල කෑවා. මගේ ජීවිතේ විනාශ කළා. අහල පහල අය හිතාගෙන ඉන්නෙ මම ඒ තිරිසනා එක්‌ක පවුල් කනවා කියලා.

මගේ ජීවිතේ කොයි වෙලාවෙද නැහැ. ඔයා පුළුවන් තරම් ඉක්‌මණට ආපසු එන්න. ඒත් මට බයයි මේ මිනිහා ඔයාවත් විනාශ කරලා දායි කියලා…..

නාලිනී හැඬූ කඳුළින් සියලු දේ වික්‍රමට කීවාය. වැඩි දවසක්‌ ගතවන්නට පෙර වික්‍රම ආපහු ලංකාවට ආවේය.

මේ පාපතරයා ඉදිරියේ සුන්දර කැදැල්ල විනාශ වී ගොස්‌ තිබෙන අයුරු දුටු වික්‍රම දැඩි ලෙස කම්පා වුණේය.

වික්‍රම පෝද්දල නිවසට පැමිණියද ප්‍රසාද්ගෙන් එල්ල වන තර්ජන ගර්ජන අඩුවක්‌ නොවීය. නිතරම ගිනි අවියක්‌ හෝ අත් බෝම්බයක්‌ ඉනේ ගසාගෙන සිටින මේ නරුමයා සමග ආරවුලක්‌ ඇති කර ගැනීම භයානක බව වික්‍රම තේරුම් ගත්තේය.

දිනක්‌ ප්‍රසාද් වික්‍රමගේ නිවසට කඩා වැදුණේය. එදින නාලිනී නිවසේ සිටියේ නැත. මේ ප්‍රශ්න හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටි ඇය පිළියන්දල නිවසට ගොස්‌ සිටියාය.

“කෝ උඹේ ගෑනි, මම ආවෙ සල්ලි ටිකක්‌ අරගෙන යන්න. මට සල්ලි දීපන් නැත්නම් උඹවත් මෙතෙන බාවලා මේ ගේත් ගිනි තියලා දානවා.”

ප්‍රසාද් තර්ජනය කළේය.

“තමුසෙට දෙන්න මගෙ ළඟ සල්ලි නැහැ. අපේ පවුල විනාශ කරපු තිරිසනා බැහැපන් එළියට.

වික්‍රමට කියන්නට ලැබුණේ එපමණකි. ඔහුට පහර පිට පහර වැදුණේය. ප්‍රසාද්ගෙන් එල්ල වන ජවාධික ප්‍රහාර දරා ගන්නට තරම් ශක්‌තියක්‌ වික්‍රමට තිබුණේ නැත. ඔහු පණ බේරාගෙන නිවසින් පැන පෝද්දල පොලිසිය වෙත දිව ගියේය.

“සර්, අර තිරිසනා මට හොඳටම ගැහුවා තව ටිකකින් ඌ මගේ ගේත් ගිනි තියයි. මොනව හරි කරන්න” වික්‍රම පොලිසිය වෙත පැමිණිලි කළද ඊට යහපත් ප්‍රතිචාරයක්‌ ලැබුණේ නැත.

අවසානයේ දී දැනගන්නට ලැබුණේ ප්‍රසාද් වික්‍රමගේ අලුත්ම නිවස ගිනි තබා මුළුමණින්ම විනාශ කර දැමූ බවයි. ඒ නරුමයාගේ පහර කෑමෙන් තුවාල ලැබූ වික්‍රම රෝහල්ගත කළේය.

වික්‍රමගේ ජංගම දුරකථනයද ප්‍රසාද් එදින රැගෙන ගොස්‌ තිබිණි. වික්‍රමගේ ජංගම දුරකථනයේ අංක කීපයක්‌ අතුරින් එක්‌ අංකයකට ප්‍රසාද් ඇමතුම් ලබා ගත්තේය.

ඒ වික්‍රමගේ ඥති දියණියකි. ඇය සිටියේ කටාන ප්‍රදේශයේය. ඇයට දුරකථනයෙන් කතා කළ ප්‍රසාද් වික්‍රම ගැන කීවේය.

වික්‍රම මාමා ඇක්‌සිඩන්ට්‌ වෙලා ගොඩක්‌ අමාරුයි. බේත්වගයක්‌ ගන්න සල්ලි ඕනෙ. සල්ලි අරගෙන පුළුවන් තරම් ඉක්‌මනට කොළඹට එන්න.

වික්‍රමගේ ඥති දියණිය මුලා කළ ප්‍රසාද් ඇය කොළඹට ගෙන්වා ගත්තේය. රන් ආභරණ කීපයක්‌ ද උකස්‌ කර ලබාගත් මුදල් ඇය සතුවිය.

කොළඹදී ඥති දියණිය ත්‍රිරෝද රථයක නන්වාගත් ප්‍රසාද් ඇය හෝටලයකට රැගෙන ගියේය. එහිදී ඇයට අතවර කළ මේ නරුමයා ඇය සතුව තිබූ මුදල් ද කොල්ල කෑවේය.

දින තුනක්‌ තිස්‌සේ හෝටලයේ කාමරයක සිරකරගෙන සිටි තරුණිය ආපසු පිටත් කර හැරියේ නැවත මුදල් සොයාගෙන එන පොරොන්දුව මතය.

මේ අපරාධ සියල්ල සම්බන්ධයෙන් පොලිස්‌ පොත්වල සටහන් වී තිබුණද ප්‍රසාද් අත්අඩංගුවට ගන්නට පොලිසියට හැකිව තිබුණේ නැත. ප්‍රසාද් සූක්‍ෂම ලෙස පොලිසිය මගහරිමින් මේ අපරාධ නොනවත්වාම කරන්නට වූවේය.

පිළියන්දල නිවසේ සැඟවී සිටි නාලිනී බලෙන් ගෙන්වා ගත් ප්‍රසාද් ඇය රැගෙන හබරණ ප්‍රදේශයේ හෝටලයකට ගියේය.

“මම උඹේ මුළු පවුලම විනාශ කරනවා. මට කොහෙන් හරි සල්ලි හොයලා දෙන්න ඕනෙ. මට දැන් ජීවත් වුණත් එකයි නැතත් එකයි. ඒ නිසා මම කියන විදිහට වැඩ කරපං…..”

ප්‍රසාද් නාලිනීට තර්ජනය කරමින් දින කීපයක්‌ තිස්‌සේ හබරණ හෝටලයේ රඳවාගෙන සිටියේය. ඒ වනවිට නාලිනී දැඩි ලෙස කෘෂවී ගොසින් සිටියාය. ඇගේ සිරුර පුරා පිළිකාව ඔඩුදුව ගොස්‌ තිබිණි. එහෙත් ප්‍රසාද් දිගින් දිගටම ඇයට අතවර කළේය. ඇයට මේ නරුමයාගෙන් කිසිදු ගැලවීමක්‌ තිබුණේ නැත.

මුදල් ලබාදෙන පොරොන්දුව මත නාලිනී නිදහස්‌ කරන්නට ප්‍රසාද් කටයුතු කළේය. නාලිනී පෝද්දල නිවසට ගියාය.

“අපි දැන් මොකද කරන්නෙ වික්‍රම, මේ පාහරයගෙන් අපට කිසිම ගැලවීමක්‌ නැහැ. මූ කොයි වෙලාවක හරි අපි සේරම මරලා දානවා.”

නාලිනී වික්‍රමගේ දැත් අල්ලාගෙන හඬා වැටුණාය. තමන් නිසා තම පවුලට සිදුවූ මහා විනාශය ගැන ඇය සිය දහස්‌ වාරයක්‌ හදවතින් හඬා වැටුණාය.

“මම කොළඹ යනවා”

නාලිනී වික්‍රමගෙන් සමුගෙන නිවසින් පිටවූවාය. එහෙත් ඇය කොළඹ ගියේ නැත. දන්න හඳුනන අයකුගේ නිවසට ගොස්‌ දින කීපයක්‌ සැඟවී සිටින්නට ඇය සැලසුම් කළාය. ප්‍රසාද් දිගින් දිගටම ඇයට දුරකථනයෙන් කතා කර තර්ජනය කරන්නට වුණේය.

“මම යනවා උඹලගෙ අතුරුගිරියෙ ගෙදරට, එහෙට ගිහින් උඹලගෙ සනුහරේම නැති කරලා දානවා.”

ප්‍රසාද් නාලිනීට දුරකථනයෙන් කීවේය. මේ පාපතරයා කොයි මොහොතක හෝ පිළියන්දල තම නිවසට යනු ඇතැයි නාලිනී සිතුවාය.

ඇය පිළියන්දල නිවසේ සිටින තම සොහොයුරාට කතා කර අවධානයෙන් සිටින ලෙස දැනුම් දුන්නාය.

පසුගිය 23 වැනිදා සවස ප්‍රසාද් පිළියන්දල පිහිටි නාලිනීගේ නිවසට ආවේය. එහි සිටියේ නාලිනීගේ බාල සොහොයුරාය.

“කෝ උඹලගෙ අක්‌කා. මට එයත් එක්‌ක බේරගන්න ගනුදෙනුවක්‌ තියෙනවා. එයා ඉන්න තැන කියපං….”

ප්‍රසාද් නාලිනීගේ සොහොයුරාට තර්ජනය කළේය.

ප්‍රසාද් තම නිවසට පැමිණ තර්ජනය කරන බව නාලිනීගේ සොහොයුරා වික්‍රමට දැනුම් දුන්නේය. පෝද්දල පොලිසියේ නිලධාරීන් කැටුව පැමිණ මොහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසද ඔහු උපදෙස්‌ දුන්නේය.

එහෙත් ඒ වනවිට වික්‍රම තම මස්‌සිනාද සමග පිළියන්දල නිවසට එමින් සිටියේය. වැඩි වෙලාවක්‌ යන්නට පෙර වික්‍රම පිළියන්දල නිsවසට ගොඩ වුණේය.

වික්‍රම දුටු වහාම ප්‍රසාද් කලබල වූවේය.

“මට උඹත් එක්‌ක ගනුදෙනුවක්‌ නැහැ. කෝ මගේ සුqදු හාමිනේ එයා ඉන්න තැන කියපං….”

ප්‍රසාද් වික්‍රමගේ ඇඟට කඩා පැන්නේය. වික්‍රමගේ ඉවසීමේ සීමාව ඉක්‌ම ගොසින්ය. ඔහුට ඔහුවම පාලනය කරගත නොහැකි විය. තම සොඳුරු කැදැල්ල විනාශ කළ නරුමයා කෙරෙහි ඇතිවී තිබූ වෛරය ඒ මොහොතේ පිටවුණේය.

නිවස අසල ගරාජයේ තිබූ යකඩ පොල්ලක්‌ වික්‍රමගේ අතට හසුවිය. කෝපය පාලනය කරගත නොහැකිව සිටි වික්‍රම එක වරම ප්‍රසාද්ගේ පිටට පොලු ප්‍රහාරයක්‌ එල්ල කළේය.

ප්‍රසාද් බිම ඇද වැටුණේය. පොලු පහරින් ඒ නරුමය අවසන් ගමන් ගිය බව දුටු වික්‍රම දැඩිලෙස කලබලයට පත් වුණේය.

අපි දැන් මොකද කරන්නෙ. මේ කාලකණ්‌ණියා නිසා අපිට හිරේ විලංගුවේ වැටෙන්න වෙනවා. වික්‍රම තම ඥතීන් සමග සාකච්ඡා කර වික්‍රමගේ සිරුර වෑන් රථයට පටවා ගත්තේය. වෑන් රථය කෙලින්ම ගියේ අතුරුගිරිය පෝරේ ප්‍රදේශයේ පිහිටි නිවසටය. නිවස පිටුපස වත්තේ පාලු ස්‌ථානයකදී ප්‍රසාද්ගේ සිරුර ගිනි තබා විනාශ කරන්නට වික්‍රම ඇතුළු පිරිස උත්සාහ කළහ.

එහෙත් ඔවුන් අවසානයේ තීරණය කළේ අඩක්‌ පිළිස්‌සුනු සිරුර කොහේ හෝ රැගෙන ගොස්‌ දමා පලා යැමටය.

ඒ උත්සාහය ව්‍යර්ථ වුණේ අතුරුගිරිය පොලිසියේ නිලධාරින්ගේ දක්‍ෂතාව නිසාය.

වික්‍රම නාලිනී සොඳුරු කැදැල්ල විනාශ කළ ඒ පාපතරයාට මිහිපිටදීම දඬුවම් ලැබුණේය. එහෙත් ඒ පාපතරයාගේ ශාපයෙන් ඔවුන් මිදෙන්නේ වික්‍රමලාගේ මුළු අනාගතයම අඳුරු අගාධයට ඇද දමමින්ය.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...