රක්ෂිත වනාන්තරවලින් අලි පැටවුන් සොරකම් කරගෙන විත් හොර රහසේ විකුණන මහා පරිමාණ ජාවාරම්කරුවකු වූ අලි රොෂාන් විසින් එසේ පැහැරගත් අලි පැටවුන් කිහිප දෙනකු මහරගම විහාරස්ථානයක රඳවා සිටියදී රෝගාතුරව මිය ගිය පසු එම විහාරස්ථ භූමියේම හොර රහසේ වළ දමා ඇති බව රහස් පොලිසිය මඟින් අනාවරණය කරගෙන තිබේ.
එසේ මිය ගිය අලි පැටවුන් වළ දැමූ පන්සල් භූමිය තුළ කැණීම් කර ඔවුන් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා රහස් පෙලිසිය මහේස්ත්‍රාත්වරයාගෙන් ලබාගත් අවසරය මත ඊයේ (13) මහරගම විපස්සනාරාම භූමිය පරීක්ෂා කිරීම ආරම්භ කළේය.
රහස් පොලිසිය වනජීවී නිලධාරීන්ගේද සහාය මත එම කැනීම් සිදු කර තිබුණි. අලි රොෂාන් නමැති ජාවාරම්කරුවා කාලයක් තිස්සේ කැලයෙන් අලි පැටවු සොරකම් කරගෙන පැමිණ පන්සල් කිහිපයකම රඳවා තිබී ඇත. අනතුරුව අලි පැටව් විකුණා තිබේ. අලි රොෂාන්ගේ එම අපරාධය හරහා මෙසේ පැහැරගෙන එන අලි පැටවුන් හීලෑ අලි ලියාපදිංචි කිරීමේ සංගමයේ ලේඛනයේ ව්‍යාජ ලෙස ලියාපදිංචි
කර ඇති බවද අනාවරණය වී ඇත.
ඒ අනුව එම ලේඛනයේ ලියාපදිංචි කර ඇති නම් අතරින් මිය ගිය සහ වෙනත් විවිධ හේතු මත අතුරුදන්ව ඇති අලින්ගේ නම් සහ දැනට තවත් තැනක ජීවත්වන අලින්ගේ නම්ද කපා එම නමට මෙසේ සොරකම් කරන ලද අලි පැටවුන්ගේ නම් ඇතුළත් කර ව්‍යාජ ලියාපදිංචි කිරීමක් කර ඇති බවද රහස් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. අලි රොෂාන්ගේ එම අලි ජාවාරමට ඉහත සඳහන්
පන්සල්වල සහ තවත් පුද්ගලයන්ගේ සහයෝගය ලැබී ඇතැයි සැක කෙරේ.
සොරකම් කරන ලද එම අලි පැටවුන් රුපියල් ලක්ෂ ගණනට විවිධ පුද්ගලයන්ට අලෙවි කර ඇත්තේද ඔවුන් ලියාපදිංචි කර ඇති බවට ගැනුම්කරුවන්ද රැවටීමට ලක් කරවමින්ය.
එසේ විකුණා ඇති අලි පැටවුන් ගණනාවක් සිටින ස්ථාන මේ වන විටත් රහස් පොලිසිය මගින් සොයා ගෙන ඇත. පසුගිය කාලයේදී අලි රොෂාන් රක්ෂිත කැලෑවලට රිංගා කිරිබොන වයසේ පැටවුන් සොරකම් කරගෙන පැමිණ විවිධ ස්ථානවලදී රඳවා සිටියදී ඔවුන්ට හරිහැටි ආහාර සත්කාරයක් නොමැතිව මිය ගොස් ඇති බව රහස් පොලිසිය මගින් කරුණු හෙලිකරගෙන තිබේ. අලි රොෂාන්ගේ එම
අලි අපරාධ ජාවාරමට සහාය දුන් සැම පුද්ගලයකුම ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.
රහස් පොලිසිය සහ වනජීවී නිලධාරීන් විසින් සිදු කරවන මෙම කැනීම් කටයුතු සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඒකකයේ මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා ඇතුළු කණ්ඩායමක්ද සහාය වී සිටියි.