පනස් හයේ ජාතික බලවේග එක්ක බණ්ඩාරනායක එනකොට ආණ්ඩු කළේ සර් ජෝන්. සර් ජෝන් ආණ්ඩුව විසුරුවා හැරලා ඡන්දෙකට යන්න සූදානම් වුණා. හැබැයි හැම එකක්ම වුණේ සර් ජෝන්ගෙ අවාසියට.
ඔය කාලේ සර් ජෝන් උතුරේ ඩෙල්ෆ්ට් දූපතට ගිහින් කතාවක් කළා. එයා එතැනදී කිව්ව ආණ්ඩුව පෙරළන්න දුශ්ශීල සඟුන් පිරිසක් පෙරමුණ ගෙන ඉන්නවා… මේ දුශ්ශීල සඟුන්ගේ සිවුරු ගලවලා තාර ගාන්න ඕන කියලා. පත්තරවල මේක පළ වුණේ දුශ්ශීල කතාව හලලා. සඟුන්ගේ සිවුරු ගලවල තාර ගාන්න ඕන කියන කතාව තමයි පත්තරවල ලොකුවට ප්‍රචාරය වුණේ. ඕක අහපු බෞද්ධයො සියලු දෙනාම සර් ජෝන්ට විරුද්ධව නැඟී සිටියා.
ඔය අතරෙ කොතලාවලගෙ කඳවල වලව්වේ සාදයකදී හරකෙක් පුච්චන පින්තූරයක් ඒ කාලේ ලංකාදීප පත්තරේ දැම්මා. සාදෙට කන්න කියලා මුල් පිටුවේ ලොකු පින්තූරේ. ‘වස්සන් පුලුස්සන් කන…’ ඔය වගේ කියලා.
ඔය පෙරළිවලින් යූඇන්පීය එපා වෙලා තමයි බණ්ඩාරනායක ආවෙ. මැතිවරණය දවස් 03ක් තිබ්බා. යූඇන්පීයට ආසන 08යි ආවේ. අනෙක් ඔක්කොම මහජන එක්සත් පෙරමුණට. යූඇන්පීය හාන්සි වුණා. එතකොට ශ්‍රී ලනිපේ සාමාන්‍ය දේශපාලන පක්ෂයක්.
ඩී.එස්. කියන්නෙ සාමාන්‍ය පුද්ගලයෙක් නෙවෙයි. බොහොම දූරදර්ශී කෙනෙක්. එයා බලයට එනකොට උතුරේ පොන්නම්බලම් 50ට 50 ඉල්ලමින් හිටියෙ. ඒ කියන්නේ සිංහල, දෙමළ සම සමව. මේක නියම විදියට පරාජය කළ කෙනා තමයි ඩී.එස්. සේනානායක. බණ්ඩාරනායක නෙවෙයි ඒක කළේ.
ඩඩ්ලි සේනානායකගෙ ජීවිතේ පුදුම දේවල් මං දන්නවා. සේනානායකවරු මේ රටට ඉතාම ආදරය කළ මිනිස්සු. ඩඩ්ලිගේ කාලෙ අපට ජර්මනියෙන් ටෙලිවිෂන් දෙන්න හැදුවා. ඒ කාලේ තරමක දියුණු ටෙලිවිෂන් තාක්ෂණයක් තිබුණ ඒ රටවල. ඩඩ්ලිගෙන් ඇහුවා දෙන්නද කියලා. මෙයා කැමැති වුණේ නැහැ. අපි කියන්නේ ඩඩ්ලි හාමු කියලනෙ. මම ඇහුවා ඇයි හාමු ගන්නෙ නැත්තෙ කියලා. අනාගත පරම්පරාව විනාශ වෙනවා හාමුදුරුවනේ කියලා කිව්වා. දැන් මේක යකා පෙට්ටිය වෙලානෙ තියෙන්නේ.
ඒත් ජේ.ආර්. මොකද කළේ. පැනලා භාර ගත්තා. මම ජේ.ආර්.ගෙන් ඇහුවා ඇයි ගන්නෙ කියලා. ජේ.ආර්.කිව්ව එක රැස්වීමක් මුළු රටටම පෙන්නන්න පුළුවන් කියලා. නමුත් ඩඩ්ලි කැමැති වුණේ නැහැ.
සේනානායකලට ජනතාව ගැන පුදුම ළෙන්ගතුකමක් තිබ්බා. මේ රටේ මිනිසුන්ට ආදරය කළ එකම දේශපාලන පරපුර. ඩඩ්ලිගෙ මරණෙදී මේ රටේ මිනිස්සු අවංකවම දුක් වුණා. සාමාන්‍ය මන්ත්‍රි කෙනෙක් විදියටනෙ මළේ. ලක්ෂ ගාණක ජනතාවක් ආව ටොරින්ටන් එකට. ඇමෙරිකාවෙ වොෂින්ටන් පෝස්ට් පත්තරේ කිව්ව ආසියාවෙ අවමඟුලකට ආපු ලොකුම ජන ගඟ කියලා.
සර් ජෝන්ලා ඉතින් අනිච්චාවත සංඛාරා කියලා තමයි පරාද වුණේ. 56 බණ්ඩාරනායකගෙ මූලිකත්වයෙන් මහජන එක්සත් පෙරමුණ බලයට පත්වෙලා මුල්ම කැබිනට් රැස්වීම පවත්වලා ඔක්කොම ගියේ කැලණි විහාරෙ වඳින්න. එදා මුළු ලංකාවෙම පුදුම සෙනඟක් එතෙන්ට ආවා.
මේකයි… බණ්ඩාරනායක දැනගත්ත යූඇන්පී එකේ හිටියොත් කවදාවත් බලයට එන්න බෑ කියලා. මේ රටේ අගමැති වෙන්න බෑ කියලා. අන්න ඒක නිසා තමයි යූඇන්පීයෙන් ඇවිත් බණ්ඩාරනායක මේ දේ කළේ.
කොටින්ම ඩඩ්ලි – ඩී.එස්. සේනානායකවරු එදා ඒ ගෙනිච්ච ව්‍යාපාරයෙන් රටේ බෙදීමක් ඇති වුණේ නැහැ. කෝලාහල නෑ. යුද්ධ නෑ.
නමුත් 56 පෙරළියෙන් පස්සෙ තමයි රටේ යුද්ධ මිනීමැරුම් ඇති වුණේ. දැන් ඕන කෙනකුට ඒක කියන්න සිද්ධ වෙනවා. කොටින්ම කියනවා නම් 56 ඒ පෙරළියෙන් පස්සේ තමයි මේ රටේ අදටත් ප්‍රශ්න ඇති වුණේ. තිස් අවුරුදු යුද්ධයටත් හේතුවක් ඒක. අදටත් ප්‍රශ්න.
කොටින්ම මේ රටේ මිනිස්සු හරි සමඟියෙන් හිටියෙ. 56න් පස්සේ තමයි මේ රට විනාශ වුණේ. කොටින්ම සිංහල පනත ගෙනාව නිසා තමයි මේ රට සහමුලින්ම ප්‍රපාතයට වැටුණේ. මම අද කියනවා ඒක. හැබැයි ඒක කරන්න දෙයක් නැහැ. ඒ ආපු බලවේගයේ හැටියට ඒක ඓතිහාසික සංසිද්ධියක්.
නමුත් සේනානායකවරුන්ගෙ දූරදර්ශී ප්‍රතිපත්තිය එක දිගටම ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා නම් මේ රටේ ඔය අවුල් ඇතිවෙන්නෙ නැහැ.
අනිත් එක බලන්න සිංහල මිනිස්සු දෙන්නෙක් එකට එකතු වුණාම කතා කරන භාෂාව හොයා ගන්න පුළුවන්ද? දෙන්නට දෙන්නා කතා කරන්නේ කැඩිච්ච සිංහලෙන්. කැඩිච්ච ඉංගී්‍රසියෙන්. දෙමළ මිනිස්සු දෙන්නෙක් එකට එකතු වුණොත් ඒ මිනිස්සු දෙමළෙන් හැර වෙන භාෂාවකින් කතා කරන්නේ නැහැ. අදත් එදත් හැමදාම එහෙමයි. අපට හෙණ ගැහිල තියෙන්නෙ ඒකයි. හැබැයි බොරුවට ඡන්දෙට ගිහිල්ලා කතා කරන්නේ සිංහලෙන්. බණ්ඩාරනායක කළෙත් ඒක.
සිංහල පනත නිර්මාණය කළේ ඩී.බී. ධනපාල, එයා තමයි පැය 24න් සිංහල කියලා නිර්මාණය ගෙනාවෙ. එයා පත්තරෙත් දැම්මා. ඒ කාලෙ ලංකාදීප පත්තරේ…
දැන් අන්තිමට මොකද වෙලා තියෙන්නෙ සිංහලයට තැන තියෙනවද? අපි හිතුවනෙ එයි කියලා. දැන් මොකක්ද වෙලා තියෙන්නෙ. එහෙම පිටින්ම අවුලක්.
සිංහල පමණක් පනත නිසා නෙවෙයිද යුද්ධයක් ඇති වුණේ. මේ ලේ වැගිරීමට හේතු වුණේ ඒකයි. ඒක නිසා තමයි මම කියන්නෙ සිංහලයට ස්ථිර ප්‍රතිපත්තියක් නැහැ. අහංකාරකමින් උද්දච්චකමින් ඉදිමිච්ච සිංහලයො ඉන්නෙ. අදත් විපත ඒකයි. දැන් ඉන්දියානු ජාතිකයෙක් ගන්න. බොහොම නිරහංකාරයි. හරිම අහංකාර මිනිස්සු ඉන්නෙ.
මේ දේශපාලනය නෙවෙයිද මේ රට ප්‍රපාතයට දැම්මෙ. ආත්මාර්ථකාමී දේශපාලකයො නෙවෙයිද මේ රට යුද පිටියක් කළේ. මිනිස්සු කෙටෙව්වෙ. රට ප්‍රපාතයට දැම්මේ දේශපාලකයො නෙවෙයිද? ඔක්කොම කළේ එයාලා.
මේ පහුගිය මෑත කාලෙ වුණත් මොකද වුණේ. මොකක්ද දේශපාලකයො කළේ. දිට්ටධම්මවේදනීය කර්මය පඩිසන් දෙනවා. වැඩි අෑතක් නැහැ. බලන් ඉන්න වෙන දේ. වැඩිකල් යන්න පළමුව ඒවා පල දෙනවා. ඉතිහාසයේ ඒවට ඕන තරම් සාක්ෂි තියෙනවා. ඒක කාටවත් වෙනස් කරන්න බැහැ.
රට ගැන හැඟීමක් තියෙන මිනිස්සු අපේ විශ්වවිද්‍යාලවලින් බිහි වෙන්නේ නැහැ. ඉන්දියාවේ විශ්වවිද්‍යාලවලත් එහෙමද? ඒ පාලකයන්ගේ නිහතමානීකම අපේ අය ළඟ තියෙනවද? ඉන්දියාවෙ පාලකයො මුළු ලෝකයටම ආදර්ශයක් දීලා තියෙනවා. සෝනියා ගාන්ධි තමන්ගේ පක්ෂය බලයට පත්වෙලත් නායකයා වුණේ නැහැ.
නායකත්වය භාර ගත්තෙ නැහැ. අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ඒවායේ අගය. අපේ දේශපාලකයො නම් රෙදි ලිහාගෙන යයි බලය ගන්න. පුටුවේ වාඩි වෙන්න…
අනෙත් පැත්තෙන් බණ්ඩාරනායකට බලය නොලැබුණා නම් සිංහලයට ලැබුණැයි කියන මේ තැනවත් ලැබෙන්නේ නැහැ. විදේයාදය විද්‍යාලංකාර ඒව සුළුපටු දේවල්ද? ඉතින් එහෙම දේවලුත් තියෙනවා. සිංහල රාජ්‍ය භාෂාව කියලා පනතක් ගෙනාවා. අපි ඒක ගෙනිච්චෙ සිංහල රාජ්‍ය භාෂාව ප්‍රාදේශීය භෂාව දෙමළ කියලා…
හැබැයි බණ්ඩාරනායකගෙ මේ දේ නිසානෙ සම්පූර්ණයෙන්ම ජාතීන් අතර වෛරයක් ඇති වුණේ. ඇන කොටා ගත්තෙ. ඒ අස්වීමෙන් පස්සේ තමයි මේ විපත වුණේ. මේක රටට වුණු ලොකු විපතක්. බණ්ඩාරනායක එදා අස්වීමම පවා ලොකු විපතක්. ඒක තීක්ෂණව කල්පනා කරනකොට පැහැදිලියි.
Mawbima
තිස්ස කොරතොට