රසායනික අවි අන්තර්ජාතික පාලනයට යටත් කරනවා නම් සිරියාවට ගහන්නේ නෑ – ඇමෙරිකානු ජනපති ඔබාමා කියයි

සිය රසායනික අවි සංචිතය අන්තර්ජාතික පාලනයට යටත් කිරීමට සිරියාව සූදානම් නම් එරටට එරෙහි හමුදාමය පියවර පිළිබඳ සැලසුම් අත්හිටුවන බව ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා ප‍්‍රකාශ කර තිබේ. එහෙත් සිරියාව සැබවින්ම සිය රසායනික අවි සංචිත අන්ත්ර්ජාතික පාලනයකට යටත් කිරීමට එකඟවේද යන්න සැක සහිත බවද ඔහු කියා සිටී. සිරියාවේ රසායනික අවි භාවිතය සම්බන්ධයෙන් ඔවුන්ට දඬුවම් පැමිණවීමට හා යළි එවැන්නක් සිදු නොකිරීමට ඔවුන් පෙලඹවීම සඳහා සීමිත හමුදා ක‍්‍රියාමාර්ගයක් අවශ්‍ය බව ඇමෙරිකානු ජනාධිපති ඔබාමාගේ අදහසයි. ”මට අවශ්‍ය වන්නේ රසායනික අවි භාවිතය සම්බන්ධ පොදු ධර්මතාවන්හි පැවැත්ම තහවුරු කිරීමයි. එ් අපේ ජාතික අභිලාෂ වෙනුවෙන්, හමුදා ක‍්‍රියාමාර්ග නොගෙනම මේ දේ කරන්න පුළුවන් නම් මගේ වැඩි කැමැත්ත එ් සඳහායි.” ඔබාමා අවධාරණය කර තිබේ.

ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කර තිබුණේ ඇමෙරිකානු හමුදා ප‍්‍රහාරයකින් බේරීම සඳහා සිරියානු රසායනික අවි සංචිත අන්තර්ජාතික පාලනයකට යටත් කර එ්වා විනාශ කර දැමීමට ඉඩ ලබා දෙන ලෙස රුසියාව විසින් සිරියානු රජයට යෝජනා ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුවය. මේ යෝජනාව සම්බන්ධ මූලික අදහස ඉදිරිපත් කර ඇත්තේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී විසිනි. රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් සඳහන් කළේ සිරියානු රසායනික අවි සංචිත අන්තර්ජාතික පාලනයට යටත් කර එ්වා විනාශ කර දැමීමට ඉඩ ලබා දීම සඳහා වූ මෙම යෝජනාව පිළිබඳ තමන් සිරියානු විදේශ අමාත්‍ය වාලිද් මුවාලෙම් වෙත දැනුම් දුන් බවයි. එපමණක් නොව රසායනික අවි සම්මුතියට සිරියාව සම්පූර්ණයෙන්ම අනුගත විය යුතු බවද රුසියානු විදේශ අමාත්‍යවරයා එහිදී සිරියානු විදේශ අමාත්‍යවරයාට ප‍්‍රකාශ කර තිබේ. රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් සඳහන් කළේ එම අවස්ථාවේදී භාෂා පරිවර්තකයෙකු මගින් සිරියානු විදේශ අමාත්‍යවරයා එම යෝජනා අගය කර සිරියානු වැසියන්ට එරෙහි ඇමෙරිකාවේ දැඩි ක‍්‍රියාමාර්ග වැළැක්වීමට උත්සාහ ගැනීම පිළිබඳ රුසියාවට ප‍්‍රශංසා කළ බවයි.

මේ අතර සිරියාව රසායනික අවි භාවිත කර ඇති බව විශේෂඥ පරීක්ෂණවලදී තහවුරු වුවහොත් එරට රසායනික අවි විනාශ කිරීම සඳහා සිරියාවේ ආරක්ෂිත කලාපයක් ප‍්‍රකාශයට පත්කිරීමට ආරක්ෂක කවුන්සිලයේ අනුමැතිය ලබා ගැනීම පිළිබඳ සලකා බැලිය හැකි බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් පසුගිය සඳුදා ප‍්‍රකාශ කර තිබුණේය.
බී.බී.සී.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...