බර්ටි මැරුණාද? මැරුවාද?

උතුරු-මැද හිටපු ප‍්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල්ගේ අවමගුල පසුගියදා පැවැත්විණි. සැබැවින්ම බර්ටි මැරුණාද මැරුවාද යන්න එහිදී මතුවූ ප‍්‍රශ්නයකි. බර්ටි පේ‍්‍රමලාල් නමැති නම අපේ රටේ දේශපාලනයෙන් මකාදැමීම ආරම්භ වූයේ මෙයට වසරකට ඉහතදීය. අවමගුල් දිනයේ බර්ටිගේ පුත් දුමින්දගේ කතාවෙන් එය මැනවින් ඔප්පු විය. අපි අසරණ වූයේ 2012 සැප්. 24දායින් පස්සෙ. එදා තමයි තාත්තාව දේශපාලනිකව මැරුවෙ. ඒ අසරණවීම තමයි තාත්තගෙ මරණයට ඇත්ත හේතුව. මේ ඔහුගේ කතාවේ ඇත්ත දේශපාලන හරයයි.

කිරිවෙහෙරෙ අලූත්වැව සෝරත හාමුදුරුවන්ගේ ආදාහනයට සහභාගි වුණු මහින්ද බර්ටිගෙ මළගෙදරට සහභාගි වූයේ නැත. අඩුම ගණනේ බැසිල් රාජපක්ෂවත් සහභාගි වූයේ නැත. මහින්ද අමෙරිකාවේ සිටි බැවින් බැරිවුණා යැයි කීමට හැකියාවක් ඇත. ඒත් බැසිල් හිටියේ අමෙරිකාවේ නොවේය. ලංකාවේ සිටියදීත් සහභාගි නොවීමට විශේෂ හේතුවක් තිබිය යුතුමය. ඒ ඇත්ත කාරණාව ආණ්ඩුවේ ප‍්‍රධාන ඇමැතිවරු මන්ත‍්‍රීවරු සියලූ දෙනාම දන්නෝය. ඒ කිසිවෙකුට මෙය රහසක් නොවේය.

නාමල් රාජපක්ෂ මළ ගෙදරට සහභාගි විය. එහෙත් නාමල් එනවිට දුමින්දත් මල්ලිත් කනත්ත පැත්තට ගියේ නාමල්ව මගහැරීමටය. නාමල් මළගෙදරින් පිටත්වන තුරුම දුමින්ද හෝ මල්ලී නැවත ගෙදරට ආවේ නැත. මළ ගෙදරට පැමිණි එස්. එම්.ට එතැන හිටි පිරිස හූකියල එලවල දාපු කතාවද මාධ්‍යවල ප‍්‍රචාරය විය. එස්. එම්. යනු මහින්දගේ මිනිහෙකි. පිරිස එළවා දැමීමේ මහින්දගේ මිනිහාවය. මළ ගෙදර අවසන් කටයුතුවලින් පසු එස්. එම්. ගේ ආරක්ෂකයන් තලාව ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකුට පහර දී ඇත. පහරදීමට පෙර මන්ත‍්‍රීවරයා මන්ත‍්‍රීධුරයට අමතරව කරමින් සිටි රැකියාවෙන්ද දොට්ට දමා ඇත. මෙම මන්ත‍්‍රීවරයා ඉතා පැහැදිලිව බර්ටිගේ මිනිහෙකි. මළගෙදර කටයුතුවලට උරදී කටයුතු කළ අයෙකි. දැන් එස්. එම්. කරන්නේ එළව එළවා පහරදීමය. බර්ටිගේ මිනිස්සු සහ එස්. එම්. ගේ මිනිස්සු ලෙස කණ්ඩායම් දෙකක් ඇත. බර්ටිගේ මිනිස්සු නියෝජනය කරන්නේ සැබෑ පැරණි ශ‍්‍රී. ල. නි. ප. යයි එස්. එම්. ගේ මිනිස්සු නියෝජනය කරන්නේ මෑතදී ගොඩනැගුණු කලවම් ශ‍්‍රී. ල. නි. පක්ෂයයි. එස්. එම්. – බර්ටි ගැටුමේ අභ්‍යන්තරය එයයි.

දුමින්දගේ කතාව ඒ සඳහා වූ ප‍්‍රහාරයකි. ඒ ප‍්‍රහාරය තුළ මහින්ද ගැන කිව්වේ ජනාධිපතිතුමා අමෙරිකාවේ ඉඳන් බලවත් ශෝකය පළකරනව කියල මට කිව්වා. නමුත් ඊට පස්සෙ දුරකථනය විසන්ධි වුණා කියලය. කතාව එතනින් නතර වුණා කියලය. ඒත් එක්කම චන්ද්‍රිකා ගැන ලොකු වර්ණනාවක් කළේය. චන්ද්‍රිකා මැතිණිය තාත්ත බලන්න ආවා. තාත්ත නැතිවෙන්න දවස් දෙකකට කලින් එතුමිය අපේ මල්ලි කවීන්ට කතාකරල තාත්ත බලන්න එන බව කියල තිබුණ. ඒත් මම කිව්ව එන්න එපා කියල. එහෙම කියද්දි මට බර්ටිව ඈත ඉඳන් හරි බලන්න ඕනි කියල එතුමිය ආවා. තාත්ත එදා අපරිමිත ලෙස සතුටට පත්වුණා. චන්ද්‍රිකා මැතිණිය තාත්ත බලන්න ආවාම කකුල් පණ නැතිව හිටිය අපේ තාත්තා එතුමිය දැකලා නැගිටලා ඇවිදින්න හැදුවා. එතුමිය මට අම්මා කෙනෙක් වගෙයි. මම එතුමියට ගොඩක් ආදරෙයි.

මේ කතා ඔක්කොම කිව්වේ ඇත්තටම හදවතින්ම බව සුපැහැදිලිය. ඒත් ඒ ප‍්‍රකාශය ඇතුළේ දුරකථනය විසන්ධි වූ මහින්දට ගහපු ගැහිල්ල හදවතට වඩා එහා ගිය දේශපාලන ගැහිල්ලකි. බර්ටි ශ‍්‍රි.ල.නි. පක්ෂය වෙනුවෙන් කළ දේවල් දිහා බැලූවම මහින්ද අමෙරිකාවටම ගිහිල්ලා බර්ටිව බැලිය යුතුය. ඔහු පක්ෂය වෙනුවෙන් කරපු දේවල් අංශු මාත‍්‍රයක්වත් එස්. එම්. ලා කර නැත. හැබැයි මහින්ද අමෙරිකාවට ගිහින් බර්ටිව බැලූවත් බර්ටිගේ කකුල්වලට පණ එන්නේ නැත. චන්ද්‍රිකා දැකලා ඇවිදින්න හදපු බර්ටි මහින්ද දැකලා ඇවිදින්න හදන්නේ නැත. එහෙම පණක් එන්නේද නැත. කකුල්වලට පණ එන්නේ ඉදිරියට යන්න යම් ධෛර්යයක් ගන්නා විටදීය. ඒත් මහින්ද දැක්කම ඒ ධෛර්යය බර්ටිට කොහෙත්ම එන්නේ නැත. සමහර විට මහින්ද ඒ ගැන දන්නා නිසා නොගියා වන්නටද පුළුවන.

එදා උතුරු-මැද ඡන්දයේදී මහින්ද මහඇමැති අපේක්ෂකයෙක් නම්කළේ නැත. එහෙත් බර්ටි කිව්වේ මැරෙනකම් මහඇමැති මමයි කියාය. ඒකට මොකුත් නොකිව්ව මහින්ද ඡන්දෙන් පස්සෙ කිව්වේ වැඩිම මනාප ගත්ත කෙනාට මහඇමැති දෙනවා කියාය. ඒ තියරියට අනුව මධ්‍යම පළාතේ මහඇමැතිකම ලැබිය යුත්තේ අගමැතිගේ පුතාටය. නමුත් එහිදී කියන්නේ ජ්‍යෙෂ්ඨත්වයට තැන දෙනවා කියාය. ඒ ජ්‍යෙෂ්ඨත්වය වයඹ අතුලට අදාළ කරගන්නේ නැත. එතැනදී දෙසැරයක් මහඇමැතිකම දරපු ශ‍්‍රී. ල. නි. පක්ෂයේ ප‍්‍රබල සාමාජිකයාට වඩා දයාසිරි ලොකුය.

වයඹ මැතිවරණය පුරාම පරණ ශ‍්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් පෙනී සිටියේ දයාසිරි වෙනුවෙන්ය. ඒ වෙන හේතුවකට නොවේය. යූ. එන්. පී. යෙන් ඇවිත් මහින්දගෙ කිට්ටු ගෝලයෙක් වී සිටියේ ජොනීට විරුද්ධවය. ජොනීම කියන විදිහට කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සියලූම ආසන සංවිධායකවරු වැඩ කළේ ජොහාන්ට විරුද්ධවය. ජොහාන්ට සහාය දී ඇත්තේ ජොනී එක්කම යූ. එන්. පී.යෙන් ආපු ඉන්දික බණ්ඩාරණායක පමණි. ඒත් ඒ ඉන්දික පඬුවස්නුවර සංවිධායකවරයාය. ඒ නිසා එයත් වැඩක් වූයේ නැත. කුරුණෑගල ප‍්‍රධාන ඇමැතිවරු නාවින්න, අනුර යාපා, ජයරත්න හේරත්, සාලින්ද දිසානායක, බන්දුල බස්නායක සියලූ දෙනාම සහාය දුන්නේ මහින්දගේ අලූත් ශ‍්‍රී. ල. නි. ප. යට එරෙහි පිලටය. ජොහාන් වෙනුවෙන් නාමල් රාජපක්ෂ ඍජුවම පෙනී සිටියේය. වේදිකා කිහිපයකටම නැග්ගේය. කුරුණෑගල මාලිගාවත්ත පිට්ටනියේ තිබුණ ජොහාන්ගේ අන්තිම රැස්වීමටද නාමල් සහභාගි විය. එහිදී නාමල් කිව්වේ තරුණ නායකත්වයට තැනක් දෙන්න කියාය. මුළු රාත‍්‍රිය පුරාම ජාතික රූපවාහිනිය හරහා විකාශනය කළ සංගීත සංදර්ශනයේදී පවා නාමල් පෙනී සිටියේ ජොහාන් වෙනුවෙන්ය. කොටින්ම කියතොත් නාමල්ගේ ෆුල් සපෝට් එක තිබුණේ ජොහාන්ටය.

මේ සියල්ලටම වඩා පුදුමය දනවන මහඇමැති වූයේ ශෂීන්ද්‍ර රාජපක්ෂය. ඌවේ මහඇමැති පත්කරද්දී ජ්‍යෙෂ්ඨත්වයේ ඉහළින්ම සිටි හිටපු මහඇමැති සොයිසාට අපේක්ෂකත්වයවත් දුන්නේ නැත. ඔහු නැතිවුණත් ඊළඟට සිටියේ බදුල්ලෙන් වැඩිම මනාප ගත් බුද්ධදාසය. ඌවේ ප‍්‍රධාන දිස්ත‍්‍රික්ක දෙකෙන් ප‍්‍රධානතම දිස්ත‍්‍රික්කය වන්නේත් බදුල්ල දිස්ත‍්‍රික්කයයි. ඒත් එහිදී ඒ සියල්ල පැත්තකට දමා අයියගෙ පුතාට මහඇමැතිකම දුන්නේය. විග්නේශ්වරන් කොළඹින් ගිහිල්ලා මහඇමැති වෙන එකේ සදාචාරය කතාකරන මහින්දට ශෂීන්ද්‍ර හම්බන්තොටින් ගිහිල්ලා ඌවේ මහඇමැති වෙන එකේ හිරිකිතය එදා දැනුනේ නැත. දි. මු. ජයරත්න කියන්නේ දුමින්දගේ මාමණ්ඩියාය. ඒ කියන්නේ බර්ටි පේ‍්‍රමලාල් පවුල හා දි. මු. පවුල කිට්ටු ඥාතිවන්තයෝය. බර්ටිට බෙදන බෙදිල්ලම දි.මු.ටත් බෙදන්නේ පරණ ශ‍්‍රී.ල.නි.ප. හයිකාරයන් මහින්දට තර්ජනයක් නිසාය. බර්ටි කපන්න ඕන වුණාම වැඩිම මනාප කතාවක් ගෙනාවේය. අතුලට කපන්න ඕනි වුණාමත් ඒ කතාවම කිව්වේය. දි.මු. ගෙ පුතාව කපන්න ඕනි වුණාම ජ්‍යෙෂ්ඨත්වයක් ගෙනාවේය. මේ සියල්ල සිදුවන්නේ මහින්දට ඕන විදිහේ ගෝලයන් පත්කර ගැනීම වෙනුවෙන්ය.

මහින්ද කුරුණෑගල රැස්වීම්වලට ගිහිල්ලා අඬගහල ළඟට ගෙන්නගත්තේ ජොහාන් පුතාය. එහිදී මහින්ද කිව්වේ තාත්ත වගේම පුතාත් දක්ෂයි කියාය. එනම් කුරුණැගල ඡන්දය ඇතුලේ ප‍්‍රකාශයට පත්වූයේ මහින්දගේ අලූත් කණ්ඩායමයි. ශ‍්‍රී.ල.නි.ප.යේ පැරණි කණ්ඩායමයි අතර තිබූ ගැටුමය. මහින්ද කොච්චර යටිකූට්ටු ගේම් දුන්නත් නාවින්නලා ජයග‍්‍රහණය කළෝය. දයාසිරිට මහඇමැතිකම ලැබෙන්නේ කුරුණෑගල තිබූ ඇත්ත ශ‍්‍රී.ල.නි. පක්ෂයේ ගැටුමේ ප‍්‍රතිඵලයක් ලෙසින්ය.

මාතලේ දිස්ත‍්‍රික්කයෙන් ජනක බණ්ඩාරගේ පුතාට විරුද්ධව හිඟුරාන අරක්කු කර්මාන්තයේ අයිතිකාර ලක්ෂ්මන් වසන්ත පෙරේරාගේ ගෝලයා දිනවන්න මහින්ද උපරිම උත්සාහ දැරීය. ඡන්දය ආරම්භයේදීම පහරදීම් පවා ඇතිවිය. මුළු ඡන්ද ව්‍යාපාරය පුරාම මනාප බලූ පොරයක් ලෙස දිස්වුවත් සැබැවින්ම තිබුණේ පැරණි ශ‍්‍රී. ල. නි. ප. සාමාජිකයා සහ මහින්දගේ අලූත් ගෝලයන් අතර ගැටුමය. මේ ගැටුම මැතිවරණයේදී පැහැදිලිව ප‍්‍රකාශයට පත්විය. එහෙත් මුළු කැබිනට් මණ්ඩලය තුළත් මුළු ආණ්ඩුව පුරාවටත් මෙම ගැටුම සීතල යුද්ධයක් සේ වර්ධනය වෙමින් පවතින්නකි.

මෛත‍්‍රිපාල සිරිසේන තමන්ට මරණ තර්ජනයක් ඇති බව එළිපිටම කිව්වේ මෙකී ගැටුමේ බරපතළ තත්වය ප‍්‍රකාශයට පත්කිරීම සඳහාය. කොතරම් උපක‍්‍රම යෙදුවත් එය හංගන්නට පුළුවන් එකක් නොවේ. විටින් විට එළියට එන සිදුවීම්වලින් පාක්ෂිකයන්ට මෙය යම්තම් දැකගන්නට පුළුවන. සිරස මාධ්‍යයෙන් මේවා එළියට දාන්නේද නැත. ආණ්ඩුවේ මාධ්‍ය කොහෙත්ම එළියට දාන්නේ නැත. යූ. එන්. පී. යේ ඇත්ත පක්ෂ අර්බුදය සිරස හරහා එළියට ආවද ආණ්ඩුව ඇතුළේ ඇති තත්වය තේරුම්ගත හැකිවන්නේ වරින් වර සිදුවෙන සිදුවීම් හරහාය. චන්ද්‍රිකා දැක්කම කකුල් දෙකට පණ නැතිව හිටිය තාත්තා නැගිටලා ඇවිදින්න හැදුවා යැයි දුමින්ද කීවේ නිකම්ම නොවේය. අභ්‍යන්තර පීඩනයේ තරම පුපුරායෑම ඉන් මනාව ප‍්‍රකාශයට පත්විය. සැබැවින්ම ශ‍්‍රී. ල. නි. ප. යේ පැරණි සැබෑ සාමාජිකයාගේ කකුල් දෙකට පණ ඇවිත් ඇවිදින්න පටන් ගත්තොත් මහින්දලගෙ ව්‍යාජ යූ. එන්. පී. – ශ‍්‍රී. ල. නි. ප. කවලම් පංචස්කන්දයේ පණ නැසී යනු ඇත.

ලංකා ඉරිදා

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...