පැල්මඬුල්ල – ඉරෝක ගයන්ත
පළාත් සභා හා ප්‍රාදේශීය සභා මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති පැල්මඬුල්ල ප්‍රදේශයේ පුරනැඟුම මුල්ගල තැබීමේ උත්සවය සඳහා ඉදිකළ වේදිකාව ආරාධිත අමුත්තන් පොල්තෙල් පහන දල්වන අවස්ථාවේදී හදිසියේම කඩාවැටිණි.
පැල්මඬුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ලක්‍ෂ්මන් ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17දා) පැවැති මේ උත්සවයේදී සිදුවූ එර අනතුරින් කිසිවකුට හෝ තුවාල නොවූ අතර එම අවස්ථාව ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදියකුගේ යතුරුපැදියට හානි සිදුවිය.
වේදිකාවේ වහලය කොටස කඩා නොවැටුණු නිසා සිදුවීමට ගිය මහ අනතුරක් වැළකිණි.
සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් හා පළාත් සභා, පළාත් පාලන ඇමැති ඒ. එම්. එල්. අතාවුල්ලා යන මහත්වරුද උත්සවයට සහභාගි වන බව සඳහන් වුවද ඔවුහු මේ අවස්ථාවට සහභාගි වී නොසිටියහ.
වේදිකාව කඩා වැටුණද එම රැස්වීම පවත්වන ලදී.
සබරගමුව පළාත් සභාවේ මාර්ග, සංචාරක ඇමැති අතුල කුමාර රාහුබද්ධ, පළාත් සභා මන්ත්‍රි වරුණ ලියනගේ, ප්‍රාදේශීය සභා සභාපති ලක්‍ෂ්මන් ප්‍රේමරත්න යන මහත්වරු ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් රැසක් සමඟ වේදිකාව කඩා වැටිණි.