පියයුරු පිළිකාවට ප්‍රතිකාර කරන විදිය

බුද්ධි කරුණාරත්න

සාමාන්‍යයෙන් අවුරුදු 35ත් 55ත් අතර කාන්තාවන්ට පියයුරු පිළිකා ඇතිවීමට ඉඩකඩ වැඩිය. සිරුරේ ඇති ඊස්ට්‍රජන් හෝමෝනය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි අය මේ තත්ත්වයට පත්වීමේ අවදානම වැඩිය. ඉක්මනින් වැඩිවියට පත්වන ගැහැනු දරුවන් සහ ආර්තවහරණය ප්‍රමාද වන කාන්තාවෝ මේ රෝගයට වැඩි අවදානමක් දරති. අවදානම වඩාත් වැඩිවන්නේ වැඩිහිටිභාවයට පත්වීමේදීය. වැඩිපුර දරුවන් බිහි කිරීම වළක්වා ගැනීමත්, දරුවන්ට මවුකිරි දීමත් තමන්ගේ වයස අවුරුදු 30 වීමට ප්‍රථම පළමු දරුවා බිහි කිරීමත් රෝග අවදානම අඩු කරන සාධක වේ.

අධික තෙල් සහිත ආහාර භාවිත කිරීම, ස්ථුලතාව, වැඩිපුර කාර්යබහුල නොවන ජීවිත ගත කිරීම, තරුණකම රැකීමට සහ වෙනත් කාරණවලට පිටතින් හෝමෝන භාවිත කිරීම පියයුරු පිළිකාවලට අත වනන කාරණා වේ. මත්ද්‍රව්‍ය භාවිතය සහ දුම්පානයද මෙයට හේතු වේ. පවුලේ ලේ ඥාතීන්ට පිළිකා රෝග ඇත්නම් තමන්ට එය වැලඳීමේ ප්‍රවණතාව වැඩිය.

මෙම රෝගය මූලිකම අවස්ථාවේදී හඳුනා ගැනීමට ලක්‍ෂණ කිහිපයක්ම උදව් වේ. ගෙඩියක් හට ගැනීම, සමේ පැහැය වෙනස්වීම, හමේ ඉදිමීම, එක් පියයුරක් විශාල වීම, තන පුඩුවෙන් අසාමාන්‍ය ලෙස ශ්‍රාවයක් පිටවීම, කිහිල්ලේ කුද්දටියක් මතුවීම මේ ලක්‍ෂණ වේ.

පියයුරු පිළිකා පෙණහැල්ලට පැතිරීමේදී හතියක්, හුස්ම ගැනීමේ අසාමාන්‍ය තත්ත්වයක් ඇතිවේ. කොඳු නාරටියට පැතිරීමේදී කොන්දේ කැක්කුමද අක්මාවට පැතිරුණු විට කෑම අරුචියද මොළයට පැතිරීමේදී අපස්මාර තත්ත්වයක්ද ඇති විය හැකිය. වැඩිහිටි අපස්මාරය භයානක රෝගී තත්ත්වයකි. වැඩිදෙනාට පිළිකාවක් ඇති බව සොයා ගන්නේ අසාමාන්‍ය ගෙඩියක් හට ගැනීම මඟිනි.

මැමෝග්‍රෑම් පරීක්‍ෂණය, අල්ට්‍රා ස්කෑන් පරීක්‍ෂණය මූලික අවස්ථාවේදීම පිළිකා හඳුනා ගැනීමට උපකාරි වේ. පිළිකා හඳුනා ගැනීමේදී වෛද්‍යවරයකු හමුවී පරීක්‍ෂා කොට බලා විවිධ වෛද්‍ය පරීක්‍ෂණ රැසකින් ඒ ගැන සැකහැර දැනගත හැකිය. U.S. Scan පරීක්‍ෂණය, ගෙඩියක් අතට අසුවේ නම් FNAC (Fine Needle Aspiration Cytology) නම් පරීක්‍ෂණයෙන් සැකසහිත සෛල කුඩා ඉදිකටුවකින් එළියට ගෙන අණ්වීක්‍ෂ පරීක්‍ෂණයක් මඟින් සොයා බැලීම කරයි. මේවා මඟින් පිළිකාවක් ඇතැයි හෙළි වුවහොත් True Cut Biopsy නම් පටක පරීක්‍ෂාවෙන් එය පිළිකාවක් දැයි තහවුරු කර ගැනීම කෙරෙයි.

මෙයින් අනතුරුව නැවැතත් මැමෝග්‍රෑම් පරීක්‍ෂාවක් කොට පිළිකා ගැටිති එකක්ද, නැත්නම් බහුතරයක් ඇති දැයි විමසා බලයි. මෙයින් සොයා ගන්නා ප්‍රතිඵල අනුව පිළිකාවේ ප්‍රමාණය අනුව මීළඟ ප්‍රතිකාර පියවර තීරණය කෙරෙයි. පිළිකා ගැටිත්ත කුඩා නම් පියයුරු ඉවත් නොකරම සැත්කම කෙරෙයි. පිළිකා ගැටිත්ත විශාල නම් පියයුරු ඉවත් කළ යුතු යැයි තීරණය කළහොත් ඒ සමඟ කිහිල්ලේ කුද්දටිද ඉවත් කෙරෙයි. මේ සැත්කම Mastectomy and Axillary Clearance ලෙස හැඳින්වේ.

තුන්වැනි ප්‍රතිකාර විදිය වන්නේ කිමෝ තෙරපි නම් ඉන්ජෙක්ෂන් මාර්ගයෙන් පිළිකා ගෙඩිය අඩුකර එය පමණක් මාස 6 කට පසු සැත්කමකින් ඉවත් කිරීමයි.
යම් අයකුට මුල් ක්‍රමය යටතේ පියයුරු ඉවත් කිරීමකට ලක් වුවහොත් ඇයට ශ්‍රී ලංකාවේදීම කෘත්‍රිම පියයුරක් සාර්ථකව බද්ධ කර ගැනීමේ හැකියාවක් තිබේ. පියයුරු පිළිකාවක් එය තිබෙන ස්ථානයේ පමණක් නොව සිරුර පුරාම සම්බන්ධවී පවතින නිසා මුළු සිරුරම ආවරණය වන පරිදි කිමෝ තෙරපි ප්‍රතිකාරය ලබා දිය යුතුවේ. පියයුරු ඉවත් කළ ස්ථානයේ සම මත ගැටිති මතුවීමේ අවදානම ඇති නිසා විකිරණ ප්‍රතිකාර ලබාදිය යුතුය. කිමෝ තෙරපි ප්‍රතිකාරය ඉන්ජෙක්ෂන් ආකාරයටද පෙති ආකාරයටද ලබාදිය හැකිවේ. සති 3න් 3ට 6 වතාවක් හෝ 8 වතාවක් ඉන්ජෙක්ෂන් ක්‍රමය ලබාදෙන අතර සිරුර දුර්වල අයට පෙති ක්‍රමය ලබාදෙයි.

කිමෝ තෙරපි ප්‍රතිකාරය ලබා දෙන කාල සීමාවේදී ප්‍රතිශක්තිය අඩුවී ආසාදන ඇතිවීමේ අවදානමක් තිබේ. මේ කාලසීමාවේදී මිනිසුන් සමඟ ගැවැසීම අඩුකොට නිවෙසේ නිදහසේ සිටින්නැයි රෝගීන්ට උපදෙස් දෙනු ලැබේ. තවද රතු රුධිරාණු සුදු රුධිරාණු, රුධිර පට්ටිකා අඩුවීම සිදු වුවහොත් ඊට අවශ්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුය.
කිමෝ තෙරපිහි මධ්‍ය කාලීන බලපෑම් ලෙස හිස කෙස් ගැලවී යෑම පවතින නමුත් එය මාස 6 කින් යථා තත්ත්වයට පත්වේ.

තරුණ කාන්තාවන්ට හෘදයාබාධත්, ඩිම්බවල සක්‍රියභාවයේ යම් ගැටලු ඇති වීමටත් හැකි නමුත් එය හැමදෙනාටම පොදු තත්ත්වයක් නොවේ. තරුණ වයසේදී මේ රෝගය වැලඳුණු කෙනෙක් වෙතොත් ඇයගේ ඩිම්බ කෝෂයේ කොටසක් ඉවත් කරගෙන එය බැංකුවක තැන්පත් කිරීම සිදුවේ.

මෙම ලිපිය සැකසීමේදී මහරගම ජාතික පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය ලක්‍ෂ්මන් ඔබේසේකර මහතා සැපයූ තොරතුරු පදනම් විය.

මේ ගැන වැඩිදුර විස්තර දැන ගැනීමට කරුණාකර 0778433666 අමතන්න.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...