Wednesday , 22 January 2025

චාල්ස්ගේ බිරිය කැමිලා නවාතැන් ගෙන ඇත්තේ සිරිමාවෝ මැතිනිය පාවිච්චි කළ කාමරයේ

චාල්ස්ගේ බිරිය කැමිලා නවාතැන් ගෙන ඇත්තේ සිරිමාවෝ මැතිනිය පාවිච්චි කළ කාමරයේ

පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුව සඳහා සහභාගිවීමට පැමිණෙන, කතාබහට ලක්වෙන නායකයන් අතර චාල්ස් කුමරුටද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ, විශේෂයෙන්ම ඔහු එංගලන්තයේ ඔටුන්න හිමි කුමාරයා වන නිසාය.

‍පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුව සඳහා මෙරටට පැමිණෙන රාජ්‍ය නායකයන් වෙනුවෙන් තරු පහේ හෝටල් වෙන්ව තිබූ අතර බොහෝ විට චාල්ස් කුමරුගේ තේරීම් අපූරු වන නිසා ඔහු ශ්‍රී ලංකාවේ නවාතැන් ගැනීම සඳහාද තෝරා ගත්තේ අපූරු තැනකි.

ඒ කොළඹ 7, රොස්මිඩ් පෙදෙසේ පිහිටි ‘පැරඩයිස් රෝඩ් ටින්ටැජල් කලම්බු’ හෝටලයයි. තවත් ආකාරයකින් පැවසුවොත් කලකට ඉහත බණ්ඩාරනායක පවුලට අයත්ව තිබූ රොස්මිඩ් වලව්වය. ‘ස්කොට්ලන්තයේ කෝන්වෝල් නගරයේ ආතර් රජුට අයත් ටින්ටැජල් කියලා මාලිගාවක් තියෙනවා. මේ රොස්මිඩ් ගොඩනැගිල්ලෙ මුල්ම හිමිකරුවා වූ වෛද්‍ය ලූෂන් ද සිල්වා එය ගොඩනගා ඇත්තේ ඒ ටින්ටැජල් මාලිගාවේ ආකෘතියට අනුවයි. ඒ 1928 අවුරුද්දෙ. ඒ කාලෙ මේ මන්දිරයටම අයත් ටෙනිස් පිටියක්, රෝස මල් උයනක්, අශ්ව ඉස්තාලයක් එහෙමත් තිබිලා තියෙනවා. අවුරුදු 2ක් විතර මේක ගොඩනගලා 1930දී වෛද්‍ය ලූෂන් තම පවුලත් එක්ක මේ මන්දිරයේ පදිංචි වුණා.’ මේ මන්දිරයේ ඉතිහාසය පිළිබඳව ඒ අන්දමින් අදහස් දැක්වූයේ පැරඩයිස් රෝඩ් ටින්ටැජල් කලම්බු හෝටලයේ කළමනාකාර අධ්‍යක්ෂ ශාන්ත් ප්‍රනාන්දු මහතාය.
කෙසේ හෝ මෙහි මුල් හිමිකරුවන්ට එහි පදිංචිව සිටීමට හැකිවූයේ වසර 12ක පමණ කාලයක් පමණි. 1942 ලෝක යුද්ධය පැවති සමයේ මෙහි පැමිණි බ්‍රිතාන්‍ය යුද හමුදාවට පදිංචි වීම සඳහා සතියක් ඇතුළත ගොඩනැගිල්ල බාර දෙන ලෙස බ්‍රිතාන්‍ය ආණ්ඩුව වෛද්‍ය ලූෂන්ට නියෝග කොට තිබේ. ඒ අනුව මෙම මන්දිරයෙන් ඉවත්ව යන දින ඔහු සිදුවීම් තුනකට මුහුණ පෑ බව සඳහන්ය. ඉන් පළමුවැන්න එදින ඔහුගේ වැඩිමල් දියණියගේ උපන්දිනය යෙදී තිබිමයි. දෙවැන්න ඔහු වඩාත් ඇලුම් කළ ඔහුගේ ‘රියැක්ෂන්’ නම් අසු මිය යෑමයි. එසේම ඔහු සුරතලයට හදාගත් මොණරාද එදින බල්ලකු සපා කා මිය ගොස් තිබිණ. මේ හේතුන් නිසා මෙය එක්තරා අන්දමකින් අවාසනාවන්ත නිවසක් බව ඔහු තීරණය කොට තිබූ බවද සඳහන්ය.
කෙසේ හෝ නැවත 1947දී මෙම මන්දිරය වෛද්‍ය ලූෂන් අතට බ්‍රිතාන්‍ය රජයෙන් පත්වන විට බොහෝ සෙයින් ජරාවාසව තිබි ඇත.

මෙකල ශ්‍රීමත් සොලමන් ඩයස් බණ්ඩාරනායකගේ පුත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක පදිංචිවී සිට ඇත්තේ ‘ගිල්ඩ්ෆර්ඩ් ක්‍රසන්ට්’ හි පිහිටා තිබූ වෙස්ට්වර්ත් නම් නිවසේ කුලියටය. එය ලයනල් වෙන්ඩ්ට්ගේ මහ ගෙදරයි. වර්තමාන ලයනල් වෙන්ඩ්ට් රඟහල පිහිටා ඇත්තේ එම නිවස පිහිටා තිබූ භූමියේය. සුනේත්‍රා සහ චන්ද්‍රිකා දියණියන් ඉපදී ඇත්තේද එම නිවසේදීය.
පසුව රොස්මිඩ් පෙදෙසේ නිවස රුපියල් ලක්ෂ 120ක මුදලකට ශ්‍රීමත් සොලමන් ඩයස් තම පුත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක වෙනුවෙන් මිලදී ගත්තේය. අනතුරුව එය අගමැතිවරුන් හා වරියන් තිදෙනෙකු,ඒ අතරින් ලොව ප්‍රථම අගමැතිනිය සහ වැඩිම කලක් තනතුරේ රැඳුනු අගමැතිනියද, ජනාධිපතිවරියක් මහ ඇමැතිවරයෙක්, කථානායකවරයෙක් සහ විපක්ෂ නායකවරයෙකුද බිහිකළ ඓතිහාසික දේශපාලන නිවහනක් බවට පත්විය.
“කොහොම හරි සිරිමාවෝ මැතිනිය අගමැති ධුරයට පත්වූ කාලයේ පදිංචිව සිටියේ අරලියගහ මන්දිරයේ. ඒ අතරතුර දෙවතාවක් මෙය බුරුම තානාපතිවරයාට සහ ඊජිප්තු තානාපතිවරයාට කුලියට දී තිබෙනවා.” ප්‍රනාන්දු මහතා පැහැදිලි කළේය.
සිරිමාවෝ මැතිනියගේ අභාවයෙන් පසු මෙය සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මියගේ නමට ලියා තිබූ අතර ඇය හා ශාන්ත් ප්‍රනාන්දු මහතාගේ දැනහැඳුනුම්කම මත පසුකලෙක එය ශාන්ත් ප්‍රනාන්දු මහතා වෙත බදු පදනමක් මත පැවරිණ. අනතුරුව වසර 2 මාස 8ක කාලයක් තුළ එය වර්තමානයේ පවතින පැරඩයිස් රෝඩ් ටින්ටැජල් කලම්බු” හෝටලය බවට පත්ව 2001 නොවැම්බර් 25වන දින සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය සහ අනුර බණ්ඩාරනායක මහතා අතින් විවෘත විය.

‍පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුව සඳහා ශ්‍රී ලංකාවට පැමිණි චාල්ස් කුමරුගේ නවාතැන බවට මෙය පත්වීමේ කතාව ප්‍රනාන්දු මහතා පවසන්නේ මේ අන්දමිනි.
“මේ සමුළුවට ලංකාවට එන චාල්ස් කුමරුට නවාතැන් ගන්න සුදුසු තැනක් බ්‍රිතාන්‍යයේ දැනුම් දීම අනුව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය මගින් සෙවීමට කටයුතු කොට තිබෙනවා. මුලින්ම ඔවුන් මෙහි පැමිණ ඒ බව සොයා ගොස් ඇත්තේ අප නොදැනුවත්වමයි. පස්සෙ එංගලන්තෙ බකිංහැම් මාලිගාවෙන් හා ක්ලැරන්ස් හවුස් එකෙන් ඇවිත් හෝටලය බලලා එයාලා සෑහීමකට පත්වෙලා අපට ඒ බව දැන්නුවා.”
ඒ අනුව මීට මාස දෙකකට පමණ පෙර මෙහි පැමිණි බකිංහැම් මාලිගාවේ නියෝජිතයෝ චාල්ස් කුමරුට සහ කැමිලා ආර්යාවට සුදුසු කාමර සොයා බලා තීරණය කර තිබේ.
චාල්ස් කුමරු වායුසමීකරණ පහසුකම් වලට අකමැති බව ඔවුන් දන්වා සිටි අතර පිරිසිදු වාතය ලැබෙන සේ කාමරය සකස් කිරීමට ඔවුන්ට උපදෙස් ලැබි ඇත. එබැවින් විදුලි පංකාද සහිත ඒ කාමරයේ ජනෙල් වලට මදුරු දැල් යොදා සකස් කිරීමට පියවර ගන්නා ලදී. කාමරයට මේසයක් හැරුණු විට වෙනත් මහේශාක්‍ය පහසුකම් කිසිවක් ඉල්ලා නොතිබිණ. ආහාරපාන සඳහා විශේෂයෙන්ම කාබනික ‍පොහොර යොදා සකස් කළ ආහාර බලා‍පොරොත්තු වන බවද දැනගන්නට ලැබි තිබේ.

චාල්ස් කුමරු හා කැමිලා ආර්යාව සමග කෝකියකු, වෛද්‍යවරයෙකු ඇතුළු ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ කීප දෙනෙකුද මෙම හෝටලයේ කාමර දහයේම නවාතැන් ගන්නා ලදී. චාල්ස් කුමරු වෙනුවෙන් හෝටලයේ ඉහළ මාලයේ ‘සවුත් ඊස්ට් සුයිට්’ සහ කැමිලා කුමරිය වෙනුවෙන් ‘සවුත් වෙස්ට් සුයිට්’ සුඛෝපභෝගී කාමර වෙන්කොට ඇත. මෙහි කැමිලා කුමරිය වෙනුවෙන් වෙන්වූ කාමරය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය භාවිතා කළ කාමරයයි.මෙම කාමරවල යහන් සඳහා වන මෙට්ට ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කොට ඇති අතර එම මෙට්ට මත පිහාටු වලින් නිමැවූ තවත් තුනී මෙට්ටයක් සහ කොට්ටද අතුරා තිබිණ.

චාල්ස් කුමරුගේ පෞද්ගලික කෝකිවරයාගේ උපදෙස් මත හෝටලයේ කාර්ය මණ්ඩලය ඔවුන් වෙනුවෙන් ආහාරපාන පිළියෙළ කිරීම සිදුකළ අතර කුමරුගේ 65වන උපන් දිනය සැමරුණේද මෙහිදීය. ඒ වෙනුවෙන් ඔහු රාජ්‍ය නායකයන් කීපදෙනෙකු සඳහා දිවා භෝජන සංග්‍රහයක්ද පවත්වා තිබිණ. මේ සියලු සත්කාරයන් සඳහා පැරඩයිස් රෝඩ් ටින්ටැජල් කලම්බුහි 32කින් යුත් කාර්ය මණ්ඩලයක් සැදී පැහැදී සිටියහ.

ඡායාරූප – සිසිර හේමකුමාර
ගැමුණු රත්නායක

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...