සිංහල දමිල අලුත් අවුරුද්දේ පිසෙන ආහාර වර්ග අතරින් සුවිශේෂී වටිනාකමක් හා ප්‍රවීණ රසයක් ඇත්තේ කිරි කජු මාළුවටය. අවුරුදු සමයට ම කජු ගස්‌වල කජු සෑදී කජු මාළුව අවුරුදු මේසයටම වඩින්නේ මහා සාඩම්බර ලීලාවෙන් අනිකුත් වෑංජනද අභිබවමිනි.
කජු මාළුව එපමණ රසවත් වූවාට, කජු ගෙඩිය පසුපස ඇති කතාව නම් එතරම් රසවත් නැත. කජු කන තරම් එය සකස් කිරීම ලේසි ද නැත. ඇත්තෙන්ම කජු රසවත් බව සැබෑ නමුදු එහි පසුපස ඇති දුක් ගැහැට නිසාමත්, එය ජය ගැනීමත් නිසා කජුවලට තවත් රස එක් වී තිබේ. (දුක්‌ඛ රසය, වේදනා රසය)
යල් මෝසම් වැස්‌ස බලාගෙන සොබා දම් දිනිතියගේ මෙහෙයුම අනුව ( උතුනියාමය) කජු ගස්, සිය ගත, මලින් සරසා ගන්නේ මැදින් (මාර්තු) මස මැද හරියේ සිටමය. එහි අවසන් ප්‍රතිඵලය බක් මහේදී (අප්‍රේල්) කජු ගස් විවිධ රතු, තැඹිලි, කහ පුහුලන් පිරි කජු පොකුරුවලින් පිරි යැමයි. මෙම සමය අප දිවයිනේ කජු සමයයි. කජු වාරයයි.
දිවයින පුරාම කජු සෑදෙන්නේ ද නැත. එය වියළි කලාපයට සුවිශේෂීය. දිස්‌ත්‍රික්‌ක වශයෙන්, පුත්තලම, මන්නාරම, වවුනයාව, යාපනය, මඩකලපුව, හම්බන්තොට, මොනරාගල මහියංගනය, අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල ආදී ප්‍රදේශවල ද කජු හට ගත්තද කජුවලට “කප්” ගසා ඇත්තේ පුත්තලම හා මන්නාරමයි. ඒ තැන්වලද වනාතවිල්ලුව, කොණ්‌ඩච්චිය වඩා ප්‍රකටය.
කජු හට ගනිද්දී පලු පැලෙන්නට, උතුරා හැදෙන්නට කජු ඵලදාව ලැබේ. සැබැවින්ම හොඳ කජු ගසක් තම බල ප්‍රදේශයයම ආක්‍රමණය කර ගෙන සිටිනා වනස්‌පතියක් මෙනි. එමෙන්ම එය කජු වාරයට තනිවම රුපියල් විසිපන් දහසකට ඉහළින් ආදායමක් උපදවා දෙන කප් රුකකි.
මැදින් මහා පුරාවටම දැඩි නියගය තිබුණහොත් ගස්‌වල හටගත් කෝටි සංඛ්‍යාත කජු මල්, නටු සමගම පිළිස්‌සී විනාශ වෙයි. එවිට කජු වගාකරුවනට හෝ අවුරුදු සමයේ කජු විකුණා මුදල් අතට ලබා ගැනීමට බලා සිටි ලොකු කුඩා ව්‍යාපාරික කාටත් එසේම කිරි කජු මාළුව අවුරුදු මේසයේ දී තලු මරමින් බුදීමට බලා සිටි අයටත් සියල්ල අහිමි වේ. එසේම කජු මල් අල්ලන සමයේදී දැඩි වැසි පැවැතුණ හොත් එවිටද කජු මල් සේදී බලාපොරොත්තු සියල්ල ද බිමට සේදී යයි. කෙසේ නමුත් හොඳට අවු – වැසි වැටී කජු ගස් පදම් වූ විට නම් කාගෙ කාගෙත් කල්ල මරේය. කඡ්ජ ලිපේය.
මෙවර නම් නියඟය තිබුණ ද මැදින් මහේ කොහෙන්දෝ කඩා පාන් වූ වැහි යල්ලක් කජු වගාකරුවනට සතුටක් ගෙන ආවේය. වියළි යැමට ඉඩ තිබූ කජු මල් කජු තරු දක්‌වා උසස් වී කජු පුහුලන් පැළැඳ අද දවසේ අභිමානවත් ලෙස කෝටි සංඛ්‍යාත ලෙසින් කජු ගස්‌වල පෙනී සිටියි. සැබැවින්ම රතු, කහ, තැඹිලි පුහුලන් පිරි කජු ගස් බෙහෙවින්ම සුන්දරය.
සුන්දර කතාවේ අසුන්දර බව පටන් ගන්නේ ද මෙතැන් සිටය. කජු පුහුලන් ඉදී බිමට වැටෙන නිසා මුළු කජු ගස් යට මුළු යායම හොඳින් උදලු ගා රොඩු ඉවත් කොට ශුද්ධ පවිත්‍ර කළ යුතු වෙයි. ඊළඟට කජු වැටෙන විට ඒවා සොරුන්ගෙන් බේරා ගැනීමට දිවා මෙන්ම රාත්‍රි කාලයේද, ගස් යට රැකවල් කළ යුතුය. වැටුණ කජු පුහුලන් කඩා කජු ගෙඩිය (ඇටය) වෙනම එක්‌කාසු කිරීමට පිරිස් කුලියට ගත යුතුය. ඉන්පසු මේවා වෙළඳුන්ට විකිණිය යුතුය. වෙළෙඳ පොළේ මිල උච්ඡාවචනය පරිදි අතට ලැබෙන මුදල වෙනස් වෙයි.
කජු සමයට කජු එකතු කරන්නේ කජු තලන්නෝ, කජු මද සකසන්නේ බිහිවෙති. කජුවලට වෙළෙඳ පොළේ ද, විදෙස්‌වල ද ඇති දැඩි ඉල්ලුම නිසාම කජු ගෙඩියට සුවිශේෂී සැලකිල්ලක් හා හොඳ මිලක් තිබේ. කැවිලි නිෂ්පාදනයට කේක් වර්ග සඳහා ද වෑංජන පිසීමට කජුවලට දැඩි ඉල්ලුමක් රට අභ්‍යන්තරයේ ද පවතී.
කජු සරුවට වැවෙන පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ වනාතවිල්ලුවට පසුගිය දිනයක ගියේ දිව රස පිනන කජු මදය පසුපස ඇති වෙහෙස මහන්සිය ඔබටත් කියා පෑමටය.
එක යායට වැටුණු කජු ගස් දහස් ගණන් අතරේ එම ප්‍රදේශයේ වෙසෙන අයගේ ජීවන කතා පුවත ද අපූරුවට ලියෑවී ඇත්තේය. වනාතවිල්ලුව නම් කජු බිම් තීරුව තුළ හමු වූ බොහෝ ගොවීන් පැවැසූවේ පසුගිය කජු වාර කීපයක් “ගැස්‌සුණු” (අසාර්ථක) නමුත් මෙවර නම් වරදක් නොමැති බවය. එබැවින්ම දෝ දෙර පවුලේ ලොකු කුඩා සැම මෙවර කජු කෙරුවාව සඳහා එක ලෙස සැදී පැහැදී සූදානම් වී සිටින්නේ මුළු අවුරුද්ද පුරාම ඔවුනට යම් මුදලක් අතට ලබා ගැනීමට හැකි වන්නේ මෙම කජු වාරයේ දී පමණක් වන නිසාවෙනි. ඔවුහු ගස් යට උදලු ගාතී. ශුද්ධ පවිත්‍ර කරති. දිවා රෑ ගස් සුරකිති. වැටෙන වැටෙන කජු ඇටයක්, ඇටයක් පාසා එක්‌කාසු කරති. කජු ඇට එකතු කරන්නෝ ගමින්, ගමට ගෙන් ගෙට පාපැදි යතුරු පැදිවල පෙට්‌ටි බැඳගෙන බට්‌ටා ලොරි වල පෙට්‌ටි පුරවා ගෙන පැමිණෙති. කිරන තරාදිවලින් කිලෝ ගණනට කජු කිරති. එවේලේම මුදල් දෙති. තවමත් කජු වාරය මුල නිසා ගෙඩි කජු කිලෝව රුපියල් 320/- ට අලෙවි වෙයි. දින කීපයට පසු එය 300/- දක්‌වා පල්ලම් බසී. එය අවම වශයෙන් රු 270/- 250/- දක්‌වා තවත් පහළ ඇද වැටෙන්නට ඉඩ ඇති බව ගම්මු පවසති. නැවැත තවත් මාස 5-6 කින් කජු වල මිල ඉහළ යන තුරු කජු නිවෙස්‌වල ගොඩ ගසා හෝ ගබඩා කර තබා ගැනීමට ඔවුනගේ දුප්පත් කම ඉඩ නොදෙයි. එසේ කළ හැකි වන්නේ යමක් කමක් කර ගත හැකි අයවළුන් කීප දෙනකුට පමණි. එසේ හෙයින් ලද දෙයින්, ලද අවස්‌ථාවෙන් සැනසුම ලබා ගැනීමට ඔවුනට සිදු වී තිබේ. නැතිනම් ඊට පුරුදු වී සිටිති.
තවත් කීප දෙනෙක් මේ කජු වාරයේ දී කජු එක්‌කාසු කරමින් කජු තළා කජු මද සකස් කොට විකිණීමට සූදානම් වී සිටිති. සුජීවා මෙසේ කජු මද සකස් කරන්නියකි. ඇගේ කජු සැකසුම් වැඩ පොළේ කාන්තාවෝ 10-15 ක කජු තළයි. එය ඉතා දුෂ්කර කටයුත්තකි. වර්තමානයේදී නවතම, කජු තළන (මැෂින්) යන්ත්‍ර තිබුණාට මේ කතුන් තවමත් සාම්ප්‍රදයානුකූල පරිද්දෙන්ම කජු වියළා පොලු කෑල්ලෙන් තළා පිහි තුඩින් කුරුවිට ඉවත් කර කජු මද බේරති. කැඩෙන කජු කොටස් ද වෙනමම එක්‌කාසු කරති. කජු කිරිවලින් අත් වණ වීම වළක්‌වා ගැනීමට, ග්ලවුස් හා රෙදි කැබැලි, සෙලෝපේන් බෑග් භාවිත කරති. සැබැවින්ම ඔවුන් කජු තළන දර්ශනය ඇස ගැටෙන විට සිහිපත් වන්නේ, කජු රස සෙවීමට කොපමණ කට්‌ටක් කන්නට ඕනෑද යන්නයි. කජු තළන්නේ, මද ගනින්නේ ගෙඩි ගණනටය. ඔවුන් මහන්සි වී වැඩ කළොත් දිනකට රුපියල් 400-600 අතර මුදලක් සොයා ගැනීමට හැකි වෙයි.
සුජීවා පවසන්නේ, කජු මද කිලෝවක් තැළීමට හොඳින් වියළුණු කජු ගෙඩි කිලෝ පහක් වැය වන බවයි. මේ දිනවල කජු ගෙඩි කිලෝවක් රුපියල් 320 වුවොත් කජු මද කිලෝවකට රුපියල් එක්‌දහස් හයසීයක (1600/-) මිලක් කජු තළන ස්‌ථානයේදීම ලැබේ. ඊට තළන ගාස්‌තු ලාභ ප්‍රවාහන ආදී දේ එක්‌කාසු වූ විට මද කජු කිලෝවක් රු. 1900 – 2000/- කට නොදුන්නොත් පාඩු බව ඇය කියයි. ඇය වැනි ග්‍රාම්‍ය කජු මද නිෂ්පාදකයින්ගෙන් කජු මද මිල දී ගන්නා තවත් ව්‍යාපාරිකයෝ කජු මද කිලෝවක් රුපියල් 3000/- වැනි මුදලක් දක්‌වා එය අලෙවි කරති. කජු කිරි අතේ තවරා ගෙන තුවාල, වණ සාදා වෙළෙඳ පොළට ඉදිරිපත් කරන, සුජීවලා, නන්දාවතී ලා යමුනලා, ප්‍රේමලා, මේබල්ලාට සොච්චම් මුදලක් ලැබෙත් දී, තවත් අතර මැදි පිරිසක් කජු කිරි නොගාගෙන රුපියල් දහස් ගණනක් උපයා ගනිති. ගමේ හැදුණු කජු ගෙඩියේ සාරය නගරයේ වෙළෙන්දාට ය.
මේ සමග අපතේ යන කජු ලෙලි හා කජු පුහුලන්වලට තවමත් හරි හමන් වෙළෙඳ අගයක් ලැබී නැත. රජය මීට වඩා මේ කර්මාන්තයට දිරි දිය යුතුව තිබේ. කජු සහනාධාර දැන් අඩු කර තිබේ. කජු ගස්‌වලට වැළඳෙන හෙලෝපෙල්ටීස් (දලු, කොළ, කඳ, කුණු වී මැරීමේ) රෝගයට අවශ්‍ය රසායනික බෙහෙත් සහන මිල යටතේ ලබා දිය යුතුය. කජු මද සඳහා ජපානය හා යුරෝපීය රටවල පවත්නා සැපිරිය නොහැකි අධික ඉල්ලුම සපුරා ලීමට රජය හා පුද්ගලික අංශ තවත් මැදිහත් විය යුතුය. ඒ සඳහා ග්‍රාමීය කර්මාන්තකරුවන් සූදානම් කළ යුතුය. උපදෙස් ලබා දී බැංකු සහන, ණය මුදල් ලබා දිය යුතුය. මේ වන විටත් ඉන්දියාව බංග්ලාදේශ, තායිවාන රටවල් නව තාක්‍ෂණ විධි ඔස්‌සේ මේ කජු කර්මාන්තය තුළින් ආදායම් සරු කර ගැනීමට සූදානම් වෙමින් සිටිති. අප රටේද ඉදිරි සංචාරක ව්‍යාපාර ඉල්ක්‌කය හමුවේ කජු මදයට යහපත් කල දසාවක් හිමි වනු ඇති. ආසන්නව පවතින කල්පිටිය සංචාරක කලාපයකට ආසන්න වනාතවිල්ලුවෙන් කජු විකුණා ගම්මුන්ගේ අත මිට සරු කර ගත හැකි වනු ඇත.
වළ කජු යනු අවුරුදු සමයේ එළියට එන (දැනට සැඟවුණු) ක්‍රීඩාවකි. වළ කජු ක්‍රීඩාවද දැන් වළ පල්ලට යමින් තිබේ. අපගේ කජු ගසටද, කර්මාන්තයටද ඉදිරියේදී සැලකිල්ලක්, අවධානයක්, සංවර්ධනයක් නොකළොත් නම් එයටද නුදුරු කලකින්ම සිදු වන්නේ, වළ පල්ලට යන්නටය. නැතිනම් “වළ කඡ්ජ” ගසන්නටය.
ටෙරන්ස් වනිගසිංහ