කැසිනෝ වගේම ගණිකා වෘත්තියත් නීතිගත කරනවා

මං මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති වුණා නම් පදවි ප්‍රාප්තිය ලබපු ගමන් කරන්නේ අවංක පිරිසක් මගේ වටේ එකතු කරගන්න එක. නැත්නම් බෑනේ. බොරුකාරයෝ ටිකක් වටකරගෙන කොහොමද මේ වගේ ගමනක් යන්නෙ? හැබැයි ඉතින් ජනාධිපති වුණත් මං සුනිල් පෙරේරාම තමයි. ඇඳුමේ ඉඳන් වෙනස් කරන ඒවා මං ළඟ නෑ දිගටම අඳින්නෙ කලිසම.

සමහර විට බහුතරයක් සිංහල බෞද්ධයන් අතරේ ප්‍රතික්ෂේප වෙයි. හැබැයි මං අඳින විදිය ඒක වෙනස් කරන්නෙ නෑ. මොකද සුදු ඇන්දා කියල විශේෂයෙන් ශ්‍රී ලාංකික වෙන්නෙත් නෑ. කලිසම ඇන්දා කියලා ශ්‍රී ලාංකිකකම නැතිවෙන්නෙත් නෑ. මට පුරුදු ඇඳුමට මිනිස්සු අකැමැති නම් මං පරාද වෙයි. එච්චරයි. මේක නම් කරන එක කරනවාමයි.

ඊළඟට ගන්න ක්‍රියා මාර්ගය නිසා සමහර විට මං සම්පූර්ණයෙන්ම අපකීර්තියට පත්වෙන්න පුළුවන්. මං කියන්නෙ හැමදේම දිනා ගත යුත්තෙ ආදරය හරහා. වෛරයෙන් නෙවෙයි. ආදරය හරහා සියලු ජන කොට්ඨාසවලට සම තැන හිමිවිය යුතුයි. ඒ වෙනුවෙන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්නවා. බෞද්ධාගම ගත්තොත් බුදුහාමුදුරුවෝ කිසිම දවසක මමත්වය අගය කළේ නෑ. ආගම හරහා වෛර ඇතිවෙලා තියෙන්නේ මමත්වය නිසා. තමන්ගේ දේ උඩින් තියාගන්න දඟලන නිසා. කිසිම ආගමකට මම නම් විශේෂ තැනක් දෙන්නෙ නෑ.

මොකද ඒකට හේතුව තමයි ආගම් ව්‍යවස්ථාවේ නැති රටවල් තමයි ඉදිරියට ගිහින් තියෙන්නේ. පාකිස්ථානය, පිලිපීනය, මියන්මාරය වගේ හැම රටක්ම ආපස්සට තමයි යන්නෙ. ඕස්ට්‍රේලියාව අරගෙන බලන්න ව්‍යවස්ථාවෙ ආගම් කිසි දෙයක් නෑ. ස්විට්සර්ලන්තයේ නෑ. නවසීලන්තයේ නෑ. කොටින්ම ඉතාලියේ ස්කෝලවල කතෝලික ආගම උගන්නන්නෙ නෑ. ආගම හරහා නෙවෙයි රටක් රාජ්‍යයක් හදන්න ඕන හීනය හරහා. ආගම ගාවගත්ත ගමන් දේශපාලනයට කොහොමත් අංජබජල් වෙනවා. තමාට නීති ගරුක සමාජයක් බිහිකරන්න පුළුවන් නම් ඉබේම ආගම නිර්මාණය වෙලා. හැබැයි ඒ නීතිගරුක සමාජය ඇතිවෙනකොට ඒක ඇති විය යුත්තේ උඩින්. උඩ ඉඳන් පහළට මිසක් පහළ ඉඳන් උඩට නෙවෙයි.

සැමට සමානාත්මතාව
මම ජනාධිපති නම් මට කවුරුත් එකයි. හැමෝටම සමානව සැලකුවම ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නෑ. දෙමළ කොට්ඨාසයට අදටත් බෑනේ ජනාධිපති වෙන්න. මුස්ලිම් මනුස්සයෙක්ට බෑ. ඒ වගේ චේන්ජස් ගෙනැල්ලා පෙන්නන්න ඕන. ඉතාම ජනප්‍රිය පුද්ගලයා දෙමළ මනුස්සයෙක් නම් එයා තමයි ජනාධිපති වෙන්න ඕන. පිටරටවල අනන්තවත් එහෙම තියෙන්නෙ. ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති වුණේ. බුදුන් වහන්සේට මෙච්චර ගරු කරනවා මිනිස්සු. බුදුන් වහන්සේ සිංහල නෙවෙයිනේ.

මං ජනාධිපති නම් මේ රටේ උතුර කියලා අමුතු ප්‍රදේශයක් නෑ. දෙමළ කියලා වෙනම ජන කොට්ඨාසයක් නෑ. දැන් තියෙන්නේ බයනේ. හෙට සිංහල මිනිස්සු අඩුවෙයිද, මුස්ලිම් මිනිස්සු වැඩි වෙයිද? බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ මෙහෙමයි. අතීතය බලන්න එපා ඇතිවන්නේ දුකකි. අනාගතය බලන්න එපා ඇතිවන්නේ බියකි. ඒ නිසා වර්තමානය හොඳින් විඳින්න. මං මගේ රාජ්‍ය කාලය තුළ අන්න ඒ දර්ශනය ආදර්ශයට ගනීවි.

රටට පින ඇති කරන්න වෙනවාරටක් දියුණු වෙලා මිනිසුන්ට රැකියා ලැබුණට පස්සේ තමයි රටක් සංවර්ධනය වෙන්නෙ. ඒකනේ මේ රට අතඇරලා බෝට්ටුවලින් යන්න හදන්නෙ. ඒකට හේතුව රටට පින නැති වීම. රටට පිනක් නැතිවුණාම දරුවෝ ඒ රටේ ජීවත් වෙන්න කැමැති නෑ. දරුවෝ බලන්නේ කොහොම හරි පිටරටකට පැනගන්නෙ කොහොමද කියලා. ගීතයෙන් නම් කියලා තියෙන්නේ නිවන් දකිනතුරු මේ සංසාරේ මේ රටේම ඉපදෙන්න ඕන කියලා. ඉපදුණු එකේ දැන් ඉඳපන්කෝ. වෙන ආත්මෙක තියා දැන් ළමයි මේ ලැබුණ ආත්මෙවත් කැමැති නෑනේ ඉන්න. ඒ මොකද ජීවත්වීම දුෂ්කරයි. ඒකයි මං කියන්නේ පිටරටවලින් ආයෝජකයෝ එන්න ඕන.

දැන් අරන් බලන්න කැසිනෝ වගේ දෙයක්. අද සිංගප්පූරුවෙත් තියෙනවා. කිසි නරකක් වෙලා නෑ. ඒවා හරියට පිළිවෙළට සම්පාදනය කරලා නීතිගත කරනවා නම් කිසි වරදක් නෑ. සිංගප්පූරුවේ කැසිනෝ තිබුණට එහෙ මිනිසුන්ට යන්න බෑ කැසිනෝවලට. යනවා නම් ඩොලර් සීයක් ගෙවන්න ඕන. නෝනා කතා කරලා කිව්වොත් මගේ මහත්තයා කැසිනෝ ගහනවා කරදරයි කියලා එයාට යන්න බෑ. කැසිනෝවලට වඩා නරක දේවල් අද මෙහේ සිද්ධ වෙනවානේ. කැසිනෝ නෙවෙයි ගණිකා වෘත්තිය වුණත් නීතිගත කළාට කමක් නෑ. බැංකොක් සීයට අසූවක් බෞද්ධ, තනිකරම තියෙන්නේ ගණිකා වෘත්තිය. අපිට වෙලා තියෙන්නේ බෞද්ධකම හිතට අරගෙන මේක ලොකු ලැජ්ජාවක් කරගෙන. හැබැයි නීතිගත නොකළට හැම තැනම තියෙනවා.

දේශපාලනේට කලාකාරයො නෑ කලාව වුණත් පිරිහිලා තියෙන්නෙ ඇයි. කලාව වුණත් මිනිස්සු මිලදී ගත යුතු දෙයක්. ඒකෙ වටිනාකම වුණත් නැතිවෙන්නෙ මිනිස්සු නිකං බලන නිසා. රත්තරන් වුණත් පාරදිගේ ඇවිදගෙන යනකොට නිකං හම්බවුණොත් ඒකෙ වටිනාකමක් නෑ. මං ජනාධිපති වුණා නම් කලාවට නියම මාර්කට් එකක් හදලා දෙනවා. කලාකරුවෝ මගේ දේශපාලන ව්‍යාපාරයට නම් බැරි වෙලාවත් ගාවගන්නෙ නෑ. හැබැයි කලාකාරයට ලැබිය යුතු නිසි ගෞරවය ලබා දෙනවා.

මට වරදක් කළා නම් එල්ලනවා නම් හිතෙන්නේ දැන් යන විදියට මරණ දඬුවමවත් ගේන්න වෙනවා. නීතියට තියෙන බය නැති වෙලා තියෙන්නේ. ඒකත් දේශපාලනීකරණය වීම නිසා. ඕන දෙයක් කරලා බේරෙන්න පුළුවන් කියලා හිතන කොට්ඨාසයක් ඉන්නවා. ඒකයි වරදේ බැඳීමට බයක් නෑ. මරණ දඬුවම ගෙනැල්ලා ඉස්සෙල්ලාම එල්ලන කෙනා පවුලේ කෙනෙක් වුණත් මං නම් ඒක කරනවාමයි. පිටරටවල අගමැතිගේ නෝනා කියලා නෑ වරදක් කළොත්.

සහෝදරයෙක් වුණත් සුදුසු නැත්නම් එපා. කිසිම කෙනෙක් මගේ පාලනයට සම්බන්ධ කරගන්නෙ නෑ එයා සුදුසු නැත්නම්. සුදුසු නම් සහෝදරයෙක් වුණත් තෝරා පත් කරගැනීමේ වරදක් නෑ. පුතා එන්න ඕන කිව්වොත් පුතාගේ ඡන්ද ව්‍යාපාරය කරගෙන පුතා එන්න ඕන. තාත්තා ජනාධිපති කියලා පුතාට එන්න බෑ. පුතා ඒ ක්‍රියාවලිය හරහා මහජනතාවගේ ප්‍රසාදය දිනාගෙන ඒ විදියට එන්න ඕන. මගේ පුතාට සංගීත කණ්ඩායමක් තිබුණේ නෑ කියලා මගේ කණ්ඩායමට බලෙන් දැම්මොත් මොකද වෙන්නේ. ‘ජිප්සීස්’ කඩා වැටෙනවානේ. හැබැයි මං ජනාධිපති වුණත් මගේ දරුවෝ එක්කෙනෙක්වත් දේශපාලනයට එන්න කැමැති වෙයි කියලා මං හිතන්නෙ නෑ.
පුතා පිස්සු නැටුවොත් පුතා පිස්සු නටන්න ගත්තොත් රටේ නීතියෙන් අනෙක් පුරවැසියන්ට ලැබෙන දඬුවමම ලැබිය යුතුය.

මට කොහොමටත් විශාල මුදලක් දැනට අවශ්‍ය නැහැ. ඒ මුදලම ඇති ජනාධිපති වුණාමත්. ජනාධිපති කියලා විශාල මුදලක් මොකටද? ආරක්ෂාවට වුණත් එච්චර විශාල මුදලක් ඕන වෙන එකක් නෑ. මිනිස්සු ආදරය කරන ජනාධිපතිවරයෙක් විදියට මට කිසි හානියක් වෙන එකක් නෑ කියලා මං විශ්වාස කරනවා.


සුභාෂිණී ගුණරත්න

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...