ළිඳ වටකර ටැංකි තියා රුපියලකට දිය කෙළියා

උදෑසන දහය පසුවූවා පමණි. ඉහින් කනින් දහදිය වැගිරෙන තරමට හාත්පස ගිනියම්ය. කොළඹ කොටුව, පිටකොටුව ප්‍රදේශයේ ඇවිද යනවිට දැනෙන දාහය සේම සිරුර පිලිස්සෙන තරමේ උෂ්ණය හැමදාමත් මෙහෙමමය.

හාත්පස පිරී ඇත්තේ හුස්ම ගැනීම පවා අසීරු කරන තරමේ දූලි වලාවන්ය. වාහන නළා හඬින් අවට දෙදරුම් කයි. දහස් ගණන් ජනයා ඇඟ හැපි නොහැපී තරගයක නියැළී එකිනෙකා පසුකර යයි.

“සීතල වතුර ටිකක් නාගන්න ඇත්නම්” මෙවන් විඩාබර මොහොතක අස්වැසිල්ලක් ලැබීමට ඒ සිතුවිල්ල වුව ප්‍රමාණවත්. පිටකොටුව ප්‍රදේශයේත්, මරදාන, ගුණසිංහපුර, ආමර්වීදිය දෙසට පැමිණිවිට ඕනෑතරම් සීතල දිය නා ගැනීමේ හැකියාව තිබේ.

පාන්දර හතරේ සිට රාත්‍රී නවය තෙක් මේ අවස්ථාව විවෘතය.

බාල්දි ළිං, නැතිනම් බක්කි ළිං නමින් හැඳින්වෙන මේ ව්‍යාපාරය කොළඹ වාණිජ නගරයක් ලෙස ජනාකීර්ණ වීමත් සමඟ ඇරැඹි බවට සාක්ෂි ඕනෑ තරම්ය.

1819 දී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය නිලධාරියකු වන තෝමස් ස්කිනර් වඩාත් සුවිශේෂී බ්‍රිතාන්‍ය නිලධාරියෙකි. ඔහු ලංකාවට පැමිණියේ 15 හැවිරිදි ගැටවර වියේදී ය. ලංකාවට පැමිණි මුල් දිනවල මෙහි පරිසරයට හුරුවීමට ගත් උත්සාහය පිළිබඳ ඔහු මෙසේ සඳහන් කරයි.

“මුල් පියවර වශයෙන් පාවහන් රහිතව ඇවිදීමට ඉගෙනීම යෙහෙකැයි සිතිණි. මේ පුහුණුවේ පළමු වැනි අඩිය වශයෙන් හැම උදයකම මදක් ඈතින් පිහිටි නාන තැනට පාවහන් රහිතව යෑමට පටන් ගතිමි. තියුණු තිරිවාණා ගල් කැබලි සහිත කොටුවේ කොටසක් මේ සඳහා පසු කළ යුතුය. එය මගේ පා රිදවන්නකි.”

1819 යනු වෙල්ලස්ස නිදහස් සටනින් පසු වසරක් ගෙවුණු තැනය. මේ වකවානුව වන විට බටහිර ජාතීන් වර්ණනා කරන පරිදි කොළඹ උද්‍යාන නගරයකි.

කොළඹ නගරයට පානීය ජල ව්‍යාපෘතියක් අවශ්‍ය බවට යෝජනා රැසක් ඉදිරිපත් වී ඇත්තේ ජනාකීර්ණ බව නිසාම ඇති වූ ගැටලු හේතුවෙනි.

ජල මූලාශ්‍ර බොහොමයක් අපවිත්‍ර වීමත් මුහුද ආසන්නයේ ළිං ජලය වඩාත් ලවණ ස්වභාවයකින් යුතු වීමත් නිසා පිරිසිදු පානීය ජලය නගර වැසියනට අත්‍යවශ්‍ය සාධකයක් වී ඇත.

ඒ අනුව 1886දී පමණ කොළඹ නාගරිකයිනට පානීය නළ ජලය ලැබී ඇත. ඊට අමතරව පොදු ජනතාවගේ පරිහරණයටද වීදි ආශ්‍රිතව වැසිකිළි පහසුකම් හා නළ ජල පහසුකම් ද ලබාදීමට කටයුතු කර ඇත්තේ කොළඹ නාගරික සභාව මඟිනි.

නළ ජල පහසුකම් ලැබී මේ වන විට වසර 118කි. කොම්පඤ්ඤවීදිය, කිරුළපන, බොරැල්ල, කුප්පියාවත්ත, මරදාන, මාළිගාවත්ත, වනාතමුල්ල, මාළිගාකන්ද, අලුත්කඩේ, පිටකොටුව මසංගස් හන්දිය, කොස්ගස් හන්දිය, කොච්චිකඩේ, කොටහේන, මෝදර වැනි ප්‍රදේශවල තිබූ කොළඹ නගර සභාවට වරිපනම් පවා ගෙවා ඇති ළිං ප්‍රමාණය සියයකටත් වැඩිය. මේ ළිං අතරින් අද ඉතිරිව ඇති ළිං සංඛ්‍යාව දහයකට දොළහකට වැඩි නොවේ.

ආමර්වීදියෙන් දකුණට හැරී ඉදිරියට පැමිණි විට සංඝමිත්තා මාවත හමුවෙයි. ජනාකීර්ණ වීදියේ කෙළවර තිබූ ළිඳ මාසයකට පමණ පෙර වසා දමා තිබිණි.

ප්‍රදේශයේ සෑම නිවසකටම මෙන් පානීය නළ ජලය ඇති හෙයින් මෙම ප්‍රදේශයේ බාල්දි ළිං ප්‍රයෝජනයට ගන්නේ නගරයට පිටින් පැමිණෙන්නන් විසිනි. නගරයේ සාප්පුවල මෙන්ම කර්මාන්ත ශාලාවල සේවය කරන බොහෝ පිරිස් එදිනෙදා සේවය නිමවා මෙම ළිංවලින් දිය නා ගැනීමට පැමිණෙති.

ඇතැමෙක් මෙම පටු වීදි ආශ්‍රිතව නවාතැන්ගෙන සිටියද කෑම මෙන්ම නෑම සඳහා කුලියක් නොගෙවයි. එවැනි අය සිය ජල අවශ්‍යතා පිරිමසාගන්නේද මෙබඳු ළිං වලිනි. මෙම ළිං ආශ්‍රිතව ගොඩනැඟී ඇති අපූරු උප සංස්කෘතියක් ද වේ.අප ඊළඟට පැමිණියේ කිංස්ලි සිනමාහල අසලින් ඇති පටු මාවත ඔස්සේයි.

කිංස්ලිගේ වත්තේ පිහිටි නාන ළිඳ අප බොහෝ විට දුර පළාත්වල දැක ඇති වගා ළිඳකින් තරමේ වන ළිඳකි. ඒ අසල කුඩා ටැංකි 10ක් පමණ විය. අඩි 20 පමණ ගැඹුරු ළිඳකි. එහි ඉතා පැහැදිලි ජලය දැකගත හැකියි.

මෝටරය ක්‍රියාත්මක කළ විට ටැංකි සියල්ල සැණින් පිරී ඉතිරෙයි. සබන්, දත් බෙහෙත්, රේසර් ආදිය එහිදී මිලදී ගත හැකියි. වතුර ටැංකියක වත්මන් මිල රුපියල් 40කි. ළි‍ඳෙහි කටයුතු භාරව සිටින්නා මුසාමිල්ය.

“මම තමයි මේක බලා ගන්නෙ. මේක අයිති නෝනා කෙනකුට. චූටි අක්කා කිව්වම කවුරුත් එයාව දන්නවා. ඉස්සර මේක කළේ එයාගේ තාත්තා. නගර සභාවටත් ඒ අය කුලියක් ගෙවනවා. ඉස්සර මේ ළිඳ අයිතිවෙලා තිබිලා තියෙන්නේ දෙමළ කට්ටියකට. ‘83’ කලබල කාලෙදි ඒ අය මේක විකුණලා ගිහිල්ලා.

ඒ කාලේ වතුර බක්කියක් ශත දෙකයිලු. දැනට අවුරුදු දහයකට විතර කලින් වතුර බක්කියක් දීලා තියෙන්නේ රුපියල් 5කට. දැන් ගාන 40යි. පසුගිය කාලේ අපි උණු වතුරත් දුන්නා. ලොකු හීටරයක් තිබුණා. ඒ දවස්වල ලෙඩ්ඩු එහෙමත් මෙතනට අරගෙන එනවා.

කරන්ට් බිල වැඩි නිසා උණුවතුර දෙන එක නතර වුණා. දවසට රුපියල් හාරපන්දාහක ආදායමක් තියෙනවා. මේ පැත්තේ සෙනඟ දැන් ටික ටික අඩුවෙලා. ඒත් ගුණසිංහපුර පැත්තේ ළිංවලට නම් රෑ, දවල් කියලා වෙනසක් නෑ…”

මුසම්මිල්ගේ හෝඩුවාවත් සමඟ අප පැමිණියේ ගුණසිංහපුර බාල්දි ළිං ඇති ඉසව්වටයි. කොළඹ මැනිං මාර්කට් හි නාට්ටාමි සේවකයන් මෙන්ම දුර පළාත්වලින් දිනපතා කොළඹ නගරයට එළවළු, පලතුරු ආදිය පටවාගෙන එන වෙ‍ෙළඳුන් හා ලොරි රියැදුරන් මෙන්ම ඈත පළාත්වල සිට මගී ප්‍රවාහනය කරන බස් රථ රියැදුරන් හා සහායකයින් බොහෝ දෙනෙක් සිය ජල අවශ්‍යතා ඉටු කරගන්නේ ගුණසිංහපුර බාල්දි ළිංවලිනි. අප මුලින්ම ගියේ ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා පවා කුඩා වියේදී නාන ලදැයි පැවසෙන සුචරිත ගොඩනැගිල්ල අසල ඇති බාල්දි ළිඳ සොයාගෙනයි.

පිටතට පෙනෙන්නේ නිවසක් ලෙස වුවද ඉදිරිපස ගේට්ටුවෙන් ඇතුළු වූ විට ළිඳ මෙන්ම ඒ වටා ඇති ටැංකි සියල්ල දැකගත හැකියි. පිවිසෙන තැන ඉහළින්ම හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ ඡායාරූපයක් එල්ලා තිබේ. ගොඩනැගිල්ල වටා තාප්පවලින් වට වී පැවතියද මැද මිදුලක් සහිත නිවෙසක් මෙන් ළිඳ ඇති තැන වහලය ආවරණය කර නැත. ආසන්නයේ වැසිකිළි මෙන්ම ඇඳුම් මාරුකර ගැනීම සඳහා ද ආවරණය වූ ස්ථාන ඇත.

ගුණසිංහපුර ගුරුසාමිවත්ත ආසන්නයේ ඇති බාල්දි ළිං ප්‍රමාණය පහකි. ඉතා ළංව පැවතියද මේ ග්‍රීෂ්ම කාලය වුවද වතුර අඩුවක් නැති බව ආසන්නයේ පදිංචිවූවන් පවසයි. ගුණසිංහපුර, ලංගම මෙන්ම පෞද්ගලික බස් නැවතුම්පළ හා මැනිං මාර්කට් එක ආසන්නයේ පැවතීම නිසාම මේ බාල්දි ළිංවලට ඉස්පාසුවක් නැත.

හිමිකරුවන්ට හොඳ ආදායමක් ද ලැබේ. යාපනය, මුතූර්, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, මැදවච්චිය, මොනරාගල ආදී ඈත ප්‍රදේශවල සිට පැය 7ක 8ක කාලයක් පැමිණෙන බස් රථ රියැදුරන් මෙන්ම සහායකයන් සිය විඩා නිවාගන්නේ මේ සීතල ළිං දියෙනි.

උදෑසන හතරට පමණ විවෘත වන ළිංවල කටයුතු ඇරැඹීමට ප්‍රථම ළිං හිමියෝ හඳුන්කූරක් පත්තුකර තම ආගම සිහිකිරීමට අමතක නොකරති. පාන්දරින්ම නාන අයට කොළකැඳ, කෝපි, තේ දීම සඳහා තවත් පිරිසක් සූදානම්ව සිටින්නේ උදේ රැයින්මයි.

කොම්පඤ්ඤවීදියේ බාල්දි ළිං පිහිටා ඇත්තේ වෑකන්ද ජුම්මා මස්ජිද් මුස්ලිම් පල්ලිය ඉදිරිපිටයි. ටැංකි 20කින් පමණ සමන්විත මේ බාල්දි ළිඳ අයත් වන්නේත් ජුම්මා මස්ජිද් පල්ලියටයි.

පල්ලියට යනවිට පිරිසිදුවී යාම ඉස්ලාම් භක්තිකයින් ඉටුකරන පිළිවෙතකි. අතීතයේ මේ ළිඳ පල්ලියට යන ඉස්ලාම් බැතිමතුන් සඳහාම වෙන්ව පැවති බව පවසන්නේ බාල්දි ළිඳ භාරව සිටින මොහොමඩ් මුහාජිඩීන් ය.

ළිඳ අඩි විස්සක පමණ ගැඹුරකින් යුතුය. මෝටරය ක්‍රියාත්මක කළවිට අඟල් පහක පමණ වන විශාල නළය දිගේ වතුර පැමිණ අඟල් හතරක පමණ දිග පළලකින් යුතු කානුව දිගේ ගලායයි. කානුව දිගේ ගලායන වතුර ටැංකිවලට ලැබෙන්නේ කානුවත් ටැංකියත් අතර ඇති සිදුරෙනි.

අප එහි යනවිටද හවස් වරුවේ වැඩ අවසන් කර නෑමට පැමිණි පිරිස් සිය කටයුතු අරඹා තිබුණි. කෙසෙල්වත්ත ප්‍රදේශයේ ඇති ටැංකි ළිංවලට වඩා වෑකන්ද පාරේ ටැංකි තරමක විශාලය.

ටැංකිවල පතු‍ල අහස් නිලෙන් වර්ණ ගන්වා ඇත්තේ පිහිනුම් තටාකයක මෙනි. ඇතැම් කෙනකු බාල්දියෙන් නායි. ටැංකියේ ගිලී දියබුං ගසන අයද මෙහිදී දැකගත හැකි ය. ටැංකි ළිං වලින් ඕනෑ තරම් නාගත හැකිය. නමුත් අය කරන්නේ රුපියල් 20ක මුදලකි.

කොම්පඤ්ඤවීදිය අවට කඩසාප්පුවල සේවය කරන අය මෙන්ම ව්‍යාපාර හිමියෝද වෙනසක් නැතිව උදෑසන සිට රාත්‍රී දහය පමණ වනතුරුත් මෙහි නෑමට පැමිණෙන බව මුහාජිඩීන් පවසයි. වීදි වැසියන් වැඩි දෙනෙක් මෙි ළිං හදුන් වන්නේ බාල්දිය නමිනි.

කොම්පඤ්ඤවීදිය කෝවිල ආසන්නයේ ඇති බාල්දි ළිඳ කොළඹ ඇති අනෙකුත් ළිං අතරින් විශේෂ වන්නේ ‘කුඹුකේ බාල්දිය’ නැතිනම් කුඹුකේ ළිඳ නිසාය.

ළිඳ ආසන්නයේ ඇති කුඹුක් ගස කොළඹ නගරයේ විපර්යාසයකි. අවුරුදු දෙසීයක තරම් කාලයක සිට හඳුනන්නෙකු බව හැඟෙන්නේ වර්ග අඩි දහයක පමණ ප්‍රදේශයක පැතිරී ගසෙහි විශාල කඳත්, ඉන් විරාජමානවන වනස්පතී ස්වරූපයත් නිසාය.

බාල්දි ළිං ආශ්‍රිතව අතීතයේ තවත් බොහෝ දේ සිදුවී තිබේ. එකල නා ගැනීමට මෙන්ම රෙදි සෝදා ගැනීමටත් මේ ළිං කරා බොහෝ අය පැමිණ තිබේ. ඒ අයගේ රෙදි සෝදා දීමට මෙන්ම ඒවා වේලා මැද දීමට ද ඒ අසල පිරිස් සූදානම්ව සිට ඇත.

බාල්දි ළි‍ඳෙන් නා ගැනීමට පැමිණෙන්නෝ වතුර මලෙන් නෑමට බැරි හෝ අකමැති අයයි. ඒ සඳහා ළිඳ වටා ඇති ටැංකිවලට වතුර පුරවා නෑමට අවස්ථාව සලසා තිබේ.

මේ ළිං ආශ්‍රිතව නෑමට පුරුදු වූ නගරයේ චන්ඩින් බොහෝවිට ඔවුන් දිනපතා නාන ටැංකිය වෙන්කර තබාගත් බවටද කරුණු අනාවරණය වෙයි. හිටපු පාතාල සාමාජිකයකු වූ චොප්පේ නැමැත්තා ඝාතනය කර තිබුණේද මෙබඳු ළිඳක් අසලදීයි.

බුද්ධිකා බ්‍රාහ්මණගේ

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...