“තෙල් මිල වැඩි වෙන්නේ නෑ – හිඟයකුත් නෑ ” පාඨලී සහතික වෙයි

“පසුගිය සතියේ ඉතාම සංවිධානාත්මක ආකාරයට ප්‍රචාර කිහිපයක් පැතිර ගියා, ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් ප්‍රකාශ කළ බවට. ඉන් පළමු වැන්න තමයි ඉන්ධන මිල වැඩිවනවා කියලා වගකීම් විරහිත ප්‍රකාශය. ඉන්ධන හිඟයක් ඇතිවනවා කියලා පතුරපු කාරණය තමයි දෙවැන්න. මේකට ප්‍රතිචාර දක්වමින් අපේ අමාත්‍යාශයෙන් පරිබාහිර පුද්ගලයින් ප්‍රචාරයය කළා තෙල් මිල වැඩිවෙන්න දෙන්නේ නැහැ කියලා. ඒ වගේම තෙල් සංස්ථාවේ වංචා නිසා පාඩුවෙලා විකුණන්න යනවා කියලා තවත් ප්‍රචාර පතුරුවාහැරියා. නමුත් අපි ඉතා වගකීමෙන් කියනවා තෙල් මිල වැඩි කරන්නේ නැහැ. ඒ වගේ ම තෙල් හිඟයක් ඇතිවෙන්නෙත් නැහැ කියලා. ඒ බව පතුරුවා හරින්නන් කරන්නේ මහජනතාව අතර සහ වෙළඳපොල තුළ බියක් ඇති තරනවා. මේක මහා අපරාධයක්. ඒ නිසා මම මාධ්‍යට පැහැදිළිව කියනවා තෙල් මිලේ කිසිම වැඩිවීමක් සිදුවෙන්නේ නැහැ. හිඟයක් ඇතිකරන්නෙත් නැහැ. මේ අවස්ථාවේ මාධ්‍ය ඉතා වගකීමෙන් හසුරුවන්න කියා මා ඉල්ලා සිටිනවා”යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළකළේ, ඉන්ධන මිල ඉහළයාම සහ ඉන්ධන හිඟයක් පිළිබඳව පසුගියදා පැතිරගිය අසත්‍ය ප්‍රචාරයන් පිළිබඳව අද (11)දින, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රණවක මහතා,

“තෙල් සංස්ථා පනතේ 66 වගන්තිය යටතේ විදුලිබල අමාත්‍යවරයා වශයෙන් තෙල් මිල වැඩිකරන්න හෝ අඩු කරන්න බලය තියෙන්නේ මට පමණයි. ඒ නිසා අතන මෙතන අයට බැහැ තෙල් මිල නියම කරන්න. අපි එවැනි තීරණයක් අරගෙන නැහැ. වෙන අයට එවැනි වීර කතා කියන්නත් අයිතියක් නැහැ. මෛත්‍රී පාලනයක් යටතේ අපි ජනතාවට ලබාදුන් ඉන්ධන සහනය ලබාදුන්නා. ඒක නැවත වෙනස් කරන්නේ නැහැ.

තෙල් සංස්ථාව පාඩුයි විකුණනවා කියන්නෙත් අමූලික බොරුවක්. පසුගිය මාස 03 ඇතුලත රු බිලියන 17 ක ලාභයක් වාර්ථා කරලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදී පාඩු ලබන්නෙත් නැහැ. තෙල් සංස්ථාව දූෂිතයි කියන කතාව අපි පිළිගන්නේ නැහැ. පසුගිය මාස 03 ඇතු‍ලත අපි බොහොම පිරිසිඳු පාලනයක් ගෙනගියා. කලින් සිදුවු දූෂණ පිළිබඳ අපි වාර්ථාවන් අරගෙන, ඒවා විමර්ෂණයට ලක් කරලා තිබෙනවා. ඒ නිසා ඛණිජ තෙල් සංස්ථාව මේ වනවිට දූෂිතයි කියන එක අසත්‍යයක්. ඒ වගේම ඛණිජ තෙල් ගෙනයන නලවල ප්‍රථිසංස්කරණ කටයුතු පවා අපි දේශීය ඉංජිනේරු ඥානය යටතේ සිදුකරනවා. ඒ තුළින් විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කරගන්න හැකි වෙලා තියෙනවා.

තෙල් සංස්ථාව පසුගිය දින 100 ඇතුළත ඉතාමත් පිරිසිඳු පාලනයක් ගෙනගියා. කිසිඳු වංචාවක්, දූෂණයක් සිදුවෙලා නැහැ. ඉදිරියටත් එසේ පවත්වාගෙන යනවා. පසුගිය අපේ රටේ ආර්ථිකයට යම් ජීවයක්, උත්තේජනයක් ලැබුණානම් ඒ තෙල් මිල අඩුකිරීමෙන් පමණයි.ඇතමුන් ඛණිජ තෙල් මිල ඉහළ දැමීම හා එයට ඉඩ නොදීම ගැන කතා ප්‍රචාරය කළත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය “මෛත්‍රී පාලනයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කළ රුපියල් බිලියන 40 ක ඉන්ධන මිල සහනයක් ලබාදීම වෙනුවට, පසුගිය ජනවාරි 26 දා සිට රුපියල් බිලියන 80 ක ඉන්ධන සහනයක් විදුලිබල හා බශක්ති අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සමස්ත ආණ්ඩුව ජනතාවට ලබාදුන්නා. මේ තුළින් එක් පවුලකට රු. 15,000ක මුදලක් ඉතිරි කරදෙන්න අපට හැකිවුණා. ඒ නිසා අපි ආඩම්බර වෙනවා මේ විදුලිබල අමාත්‍යාංශයෙන් ආර්ථිකයට ලොකුම උත්තේජනයක් ලබාදීමට හැකිවීම පිළිබඳව. අපේ ප්‍රථම ඉලක්කය බලශක්තියෙන් ස්වයංපෝෂිත රටක් ගොඩනැගීම. ඒ නිසා තෙල් මිල වැඩිකිරීම, තෙල් හිඟයක් ඇතිවීම වැනි අපරාධකාරි වාර්ථා පළකිරීමෙන් වලකින්න කියලා අපි මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා”යැයි පැවසීය.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...