මේ නොදරුවට දැන් මොකක්ද අම්මේ කරන්නෙ?
තාමත් මාස එකහමාරක් වෙච්ච මේ කිරිකැටියත් ගැහැනු දරුවෙක්. මේ දරුවා මට වැඩි නෑ. ඒත් මං කොහොම මේ කිරිදරුවා හදාගන්නද?
වෙසක් තෙමඟුල වෙනුවෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය තුළ පැවැත්වුණු වැඩසටහනකට සහභාගිවීමට පැමිණ සිටි මල්කාන්ති මට හමුවූයේ ඉකුත් දිනකදීය.
දරුවන් තිදෙනකුගේ මෑණියන් වූ ඕ 41 හැවිරිදි වියේ පසුවූවාය. රෙදිපිළි පිරිසිදු කිරීමේ රැකියාවක නිරත වූ ඇය කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පැල්පත්වාසී කාන්තාවක වුවද මුල් ගම්බිම් ඇහැලියගොඩ පැත්තේ බව මට කීවාය. පළමු විවාහයෙන් වෙන් වූ මල්කාන්ති කොළඹ ආවේ සිය දරුවන් තිදෙනා ගම් පියසේ හුන් මිත්තණිය වෙත භාර කරමිනි.
මං කොළඹ ආවේ මගෙ ලොකු දුවට අවුරුදු දහයක් විතර වෙද්දී. මගේ ස්වාමිපුරුෂයා මාවත් දරුවෝ තුන්දෙනාත් අතහැරලා වෙන විවාහක් කරගත්තා. කොච්චරවත් ඒ මත්තේ නැහුණත් ඒවා තඹ සතේකට මායිම් නොකර මගේ ඇස් ඉදිරියේම වෙන දීගෙක ගිය ඒ මනුස්සයා අමතක කරන්න මං කොළඹ ආවා. තැන තැන එක එක රස්සාවල් කළ මට අනුර හම්බ වුණේ මේ අතරේ.
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේම ජීවත් වූ අනුර ෙදෙනිකව කුලී වැඩක් සිදුකර ජීවිකාව ගෙන ගිය අයෙකි. ජීවිතය ජය ගැනීමට තනිවම වෙහෙසෙන මල්කාන්ති කෙරෙහි ඔහුගේ හිත ඇදී ගියේ ඇයගේ වයසද නොතකමිනි.
මගේ මහත්තයාගේ වයස අවුරුදු 35යි. මට වඩා අවුරුදු හයක් වයසින් බාල වුණත් අනුරගේ ගති පැවතුම් හරිම යහපත්. රෑ වැටුණු වළේ දවල් වැටෙන්න මං හිතුවේ නෑ. නමුත් මගේ දරුවෝ තුන්දෙනා වෙනුවෙන් මං අනුර එක්ක ජීවත් වුණා. මේ අතරේ මගේ දුවට ගමේ ඉන්න බෑ කියලා රණ්ඩු කරගන්නවා කියලා මගේ අම්මා මට දන්වලා එව්වා. මොනවා කරන්නද මං ඒ දරුවාව කොළඹ අරගෙන ආවා.
කොළඹ රැගෙන ආ පහළොස් හැවිරිදි සුවිමාලිගේ අවශ්‍යතා තමාට හැකි පරිදි ඉටුකළ මල්කාන්ති පසුව අනෙක් දරුවන් දෙදෙනාද කොළඹ රැගෙන ආවේ ඇගේ තනිනොතනිය මකා දැමීම සඳහාමය.
මං කොළඹ ඉස්කෝලෙකට දැම්මා දුවව. මගේ බලාපොරොත්තුව වුණේ මට නොලැබිච්ච දේ මගේ දරුවාට ලබා දෙන්න. ගෑනු අපි ජීවිත කාලෙටම දුක් විඳින්න ඕන නෑනේ.
දිනක් සුමාලිගේ පංතිභාර ගුරුවරිය මල්කාන්ති වෙත පණිවුඩයක් එවා තිබුණේ හැකි ඉක්මනින් තමා හමුවන ලෙස දන්වමිනි.
ඇයි මිස් හදිස්සියක්ද?
සුමාලිගේ අම්මේ පුළුවන් තරම් ඉක්මනට මේ ළමයාට මහත්තයෙක් හොයලා දෙන්න.
ගුරුතුමියගේ වචනවල තේරුම් සොයා ගැනීමට මල්කාන්ති ගත් උත්සාහය කොතරම්දැයි කිව නොහැකි තරම් විය. තවත් ශිෂ්‍යාවන් කිහිප දෙනෙකුත් සමග තම දියණිය ඉතාමත් අශෝභන අශීලාචාර අන්දමින් පිරිමි ළමයකුට ලියූ ලිපි කිහිපයක් ගුරුවරිය මල්කාන්තිගේ අතේ තැබුවාය.
මේ වගේ ළමයි සමාජයට බරක්. අනිත් ළමයි හදාගන්නත් බෑ. ඔක්කෝටම කලින් මනමාලයෙක් හොයලා කසාදයක් කරලා දෙන්න. ඒකෙන් ප්‍රශ්න ගොඩක් විසඳෙයි.
ගුරුවරිය කීවාක් මෙන් කියන්නටත් බැරි තරමට සුවිමාලි අසංවරව සිටියාය.
මං ජීවත් වෙන්න පුදුම දුකක් විඳිනවා. දරුවෝ තුන්දෙනා හදාගන්න ඒ අය ඉස්කෝලේ යවන්න. මහත්තයා උදව් කළත් මේ දරුවෝ තුන්දෙනාගේ වගකීම මගේ පිට පැවරිලා කියලයි මං හිතුවේ. කොච්චර දුප්පත් වුණත් මගේ අම්මා මාව සාමාන්‍ය පෙළ දක්වා ඉස්කෝලේ යැව්වා. ඒ මගේ අම්මා.
මං එදා ඉස්කෝලේ ඉඳලා ගෙදර ඇවිත් දුවට හොඳටම ගැහුවා. අනේ නෝනා ඒ ළමයා හරිම මුරණ්ඩුයි. මං කියන කිසි දෙයක් අහන්නේ නෑ. ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා යාළුවොත් එක්ක එක එක ගෙවල් ගානේ නරක ආශ්‍රයට වැටිලා හිටියා. මං කොච්චර අවවාද කළත් ඒවා ගැන තුට්ටුවකට මායිම් කළේ නෑ. ඔය අතරේ දවසක් මගේ මහත්තයා වේලපහ ගෙදර ආපු දවසක දුවගේ හොර වැඩක් අහුවෙලා. අපිට තිබුණු එකම කාමරේ එයා අහල පහළ පිරිමි ළමයෙක් එක්ක ඉඳලා. ඒකට මගේ මහත්තයා දුවට තදින්ම අවවාද කරලා.
එදා සිදුවීමට අහුවෙච්ච පිරිමි ළමයාගේ පවුලේ අය අපිත් එක්ත තරහයි අන්තිමට වෙච්ච දේ
මල්කාන්ති හඬන්නට වූවාය. ඇයගේ ජීවිත කතාව ඇයගේම වචනවලින් මා ඔබට කීවෙමි. මෙහි ඉතිරිය කෙතරම් දුක්ඛදායකද යන්න ඇයටම කියන්නට අවසර දෙමි.
එක දවසක් වැඩ ඇරිලා මං ගෙදර ඇවිත් ටී වී එක බලන්න ඉඳගත්තා. මහන්සියි හොඳටම. ඒ නිසා මහත්තයා කිව්වා රෑට කඩෙන් කමු කියලා. එයා කෑම ගේන්න හන්දියට ගියා. දුව නිදාගන්න ගිහින් හිටියේ. දොරට කවුද තට්ටු කරපු නිසා එයා ගිහිල්ලා බැලුවා. අම්මේ පොලිස් මාමාලා ඇවිල්ලා කියලා එයා කිව්වා.
මහත්තයා කෝ?
කඩේට ගියා මහත්තයෝ ඇයි?
කෝල් එකක් දාලා ගෙන්වන්න දැන්මම.
පොලිස් නිලදරුවන්ගේ අණින් වහාම ක්‍රියාත්මක වූ මල්කාන්ති තම සැමියාට වහාම නිවසට එන ලෙස ඇමතුමක් දුන්නාය.
මං මුකුත්ම දන්නෙ නෑ මිස්. එදා රෑ මගේ දුවවයි මහත්තයි පොලිසියට අරගෙන ගියා ප්‍රකාශයක් ගන්න කියලා. පහුවදා උදේ තමයි මං දන්නේ දරුවාට බබෙක් ලැබෙන්න ඉන්නවා ඒකට මගේ මහත්තයා සම්බන්ධයි කියලා. ඒක කිව්වේ පොලිසියේ මහත්තුරු.
අම්මා කෙනෙකු නෑසිය යුතු කතාවක් ඇසූ ඈ හඬමින් දොඩමින් පොලිසියෙන් අධිකරණයටත්, ඉන් පසු තම ස්වාමියා බැලීමට බන්ධනාගාරයටත් ගියාය.
දුවව පරිවාසෙට දැම්මා. කාලයක් ගිහිල්ලා මහත්තයාට ඇප දුන්නා. එයා මගේ ඔළුවේ අත තියලා දිවුරුවා එයා ඒ වගේ පාපයක් කළේ නෑ කියලා. ඇත්තටම මට එයා විශ්වාසයි. මොකද මගේ දරුවෝ තුන්දෙනාටම හැබෑ තාත්තෙක් වුණේ ඒ මනුස්සයා. සමහර වෙලාවට මුරණ්ඩු වැඩි මේ දරුවාට අවවාද අනුශාසනා පවා කරනවා මං අහගෙන ඉඳලා තියෙනවා. මට ඒක හිතන්නවත් සැක කරන්නවත් කාරණා නෑ. මේ වගේ සිද්ධියක් ගැන පොලිසියට පැමිණිලි කරලා තියෙන්නේ අපිත් එක්ක තරහා කට්ටිය. ඒ අයගේ පුතෙක් එක්ක තමයි දුවගෙ නොමනා හැසිරීමක් තිබුණෙත්. ඒත් වෙන්න ඕන හැමදේම වුණා.
මේ වනවිට සුවිමාලි ගැලවීමේ හමුදා භාරයේ සිටින්නීය. තවමත් දහසය හැවිරිදි වියේ පසුවන ඕ මින් මාස එකහමාරකට කලින් මවක් වූවාය.
එයාට හිතන්න තිබුණා අම්මා කොච්චර දුක් විඳිනවාද එයාලා වෙනුවෙන් කියල. මගේ අනිත් පොඩි දරුවෝ දෙන්නට තේරුණත් මේ දරුවා ඒක තේරුම් ගත්තද මිස්? අනේ මං අද කියන්න බැරි තරමට බරකින් ඉන්නේ මේ දරුවා නිසා. මං කෑම එක අතට ගත්තත් මේ දරුවා මතක් වෙනවා. මොන දේ වුණත් ඒ දරුවා මගේ කුසින් වදපු දරුවා. අද මහ ගෑනියෙක් වෙලා තාත්තෙක් නැති දරුවෙක් එක්ක තනිවෙලා.
එයා දැන්වත් එයාගේ වරද පිළිගන්නවාද?
ඔව් මිස්. දැන්නම් කියනවා ඒ දරුවා කාටහරි හදාගන්න දෙමු කියලා. එයා කියනවා මං රස්සාවක් කරලා හම්බකරලා අම්මා කියන දෙයක් අහගෙන ඉන්නවා කියලා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය නිතීපති උපදෙස් සඳහා යොමුකළ යුතුව තිබෙන අතර එය තාමත් සිදු වී නැති බව අධිකරණයේදී කරුණු දක්වා තිබිණි. නීතියට අනුව නම් කාන්තාවකට තම කුසින් වැදූ දරුවකු වෙනත් පාර්ශ්වයකට හදා ගැනීම සඳහා භාරදිය හැක්කේ එම කාන්තාවට වයස අවුරුදු 18 ක් සම්පූර්ණ වූ පසුව පමණි. මේ මව තවමත් දහසය වියේ පසුවන බාලවයස්කාරියක වීම නිසා නීතිපතිවරයාගෙන්ම ඒ සඳහා උපදෙස් ලැබිය යුතු වෙයි.
මවකට තම ලෙයින් උපන් දරුවකු පිළිබඳව ඇත්තේ වචනවලින් කිව නොහැකි දාරක සෙනෙහසකි. එය මවක් වූ ඕනෑම කාන්තාවකට පොදු වූ ධර්මතාවකි. මල්කාන්තිට මෙන්ම සුවිමාලිටද ඒ දහම එක පරිදි වෙයි.
ජෝඩුවක් ඉන්නවා මේ දරුපැටියා භාරගන්න. මං මගේ දරුවාගේ අනාගතේ ගැන හිතලා මේ කිරිකැටියා දන්දෙන්න හිතුවා. ඒත් අනේ මගේ අසරණ දුව. එයත් අම්මා කෙනෙක්. මං විඳින වේදනාව මොනම අම්මා කෙනෙකුටවත් අත්විඳින්න වෙන්න එපා. තාමත් ඉස්කෝලේ යන්න ඕන වයසක ඉන්න එයා ළමයෙකුට කිරි දෙනවා. ජීවිතේ ගැන මොනවද එයා දන්නේ.? මේ වැරැද්ද වුණේ කොතැනින්ද කියලා මං තාමත් හොයනවා. ඒ වුණත් ඒ වැරැද්ද ආපහු හදාගන්න මට බෑනේ
මල්කාන්ති වැනි අම්මලා අද මෙන්ම හෙට දිනයේද විසඳිය නොහැකි මේ ප්‍රශ්න මාලාවට පිළිතුරු සොයමින් අතරමං වනු ඇත. සුවිමාලිලාගේ ජීවිතය අනාගතයේදී කෙබඳු ආකාරයෙන් විසඳේවිද? ප්‍රශ්න වැලක් වූ මොවුන්ගේ ජීවිතවලට සහන් එළියක් කවදා නම් වැටෙනු ඇද්ද?
මෙම නඩුව තවමත් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ විභාග වෙමින් පවතින එකක්. මේ කතාන්දරය වනාහී එම නඩුවට කිසිදු අදාළත්වයක් නැත්තක්. කවුරුන් වැරදිකරුවන්ද නිවැරදිකරුවන්ද යන්න නීතිය විසින් ඉදිරියේදී විසඳනු ඇත. එහෙත් මේ කථාව තුළ ඇති අන්තර්ගත කතාවේ ගැහැනියක් තුළ ගැබ්වී ඇති ශෝකාන්තය පමණක් මම ඔබට කීවෙමි.
(නම් ගම් මනඃකල්පිතයි)
නිමන්ති රණසිංහ