හුඟ දෙනෙක් දරුවෙක් උපදින්න කල්තියාම ඕන කරන ඇඳුම් ආයිත්තම්,බඩුමුට්ටු ගෙදර ගිහින් තියා ගන්නවා. ඒත්, අපේ දෝණි උපන් දවසේ නම් සමහර දේවල් ගත්තේ එදා දවසෙම තමයි. පොඩි දරුවන්ගේ දේවල් තෝරන්න මට තියෙන දැනුම ගැන දන්න හින්දම රෝහලේ ඇඳේ ඉඳන්ම බිරිඳ මට කිව්වේ ‘රෝස පාටින්ම හැම එකම අරන් එන්න’ කියලයි. ඒත් හැම තැනම වගේ තිබුණේ නිල්පාට. මම රෝස පාටම හොයන කොට කඩවල මුදලාලිලා ඇහුවේ ‘දුවෙක් නේද ඉපදිලා තියෙන්නේ’ කියලයි. මම ටිකක් පුදුමෙන් වුණත් ඔව් කිව්වා. නිල්පාට ගන්නේ පුතෙක් ඉපදුණාම කියලත් මට දැනගන් ලැබුණේ මේ සාප්පු සවාරිය අතරේදීමයි. කොහොම හරි හතර වටේම ඇවිදලා රෝස පාටින්ම හැම දෙයක්ම හොයා ගන්න පුළුවන් වුණා. මම ඊට පස්සේ දන්න කියන අයගෙන් ඇහුවේ මොකද දුවලට රෝස පාටයි, පුතාලාට නිල් පාටයි ගන්නේ කියලා. ඒත් කවුරුවත් ඒකට හරි උත්තරේ නම් දැනගෙන හිටියේ නැහැ. අනෙක කඩවල මුදලාලිලාට ඒවා හොයන්න වෙලාවකුත් නැහැනේ. ඒවා හොයලා වැඩකුත් නැහැ. දුව ඉපදිලා අවුරුදු කීපයකට පස්සේ පුතා උපන්න වෙලාවේ කාගෙන්වත් අහන්නේ නැතිව නිල්පාටින්ම හැම දේම හොයාගන්න තරම් මට දැනුමක් තිබුණේ එදා දුව උපන් දවසේ ලබා ගත්තු දැනුම් සම්භාරය හින්දයි. පුතා ඉපදිලාත් අවුරුදු කීපයක් ගියාට පස්සේ මට හදිසියේම මේ ගැහැනු පිරිමි පාට ප්‍රශ්නය ඔළුවට ආවා. ඉතින් මට හිතුණ මම වගේම වැඩක් ඇතිව හෝ නැතිව මේ ප්‍රශ්නය ගැන කල්පනා කරන අය තවත් ඇති නේද කියලා. අන්න ඒ වාගේ අයට වැදගත් වෙයි කියලා හිතලයි මේ ලිපිය ලියන්නේ.
මේ ගැන විස්තර හොයන කොට මට පොඩි සතුටකුත් දැනුණා. ඒ ලෝකේ හතර කොනේම මේකට උත්තර හොයන අය එමට ඉන්න බව දැකපු හින්දයි. සමහරු කියන්නේ මේක සංස්කෘතියෙන් අපට උරුම වු දෙයක් කියලයි. ඇතැම් අය හිතනවා මේකේ ජීව විද්‍යාත්මක සම්බන්ධයකුත් ඇති කියලා. මේ ගැන බොහෝ දෙනෙක් විවිධ පර්යේෂණ පවත්වලත් තියෙනවා. මේ අය අතුරින් එක් කෙනෙක් තමයි ජේ පවොලෙට්ටි. ඇමරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් සරසවියේ ඉතිහාසඥයකු වන ජෝ දශක ගණනාවක් තිස්සේ කළ පර්යේෂණවලට අනුව පවසන්නේ 1950 දශක වන තුරු ගැහැනු පිරිමි විදියට වර්ණ බෙදා ගැනීමක් දකින්නට නොලැබුණු බවයි. ඒ අනුව අපේ වැඩිහිටි පරපුර ඉපදුණු කාලේ මෙහෙම නිල්පාට රෝස පාට බෙදීමක් තිබුණේ නැහැ කියලා තමයි හිතන්න තියෙන්නේ. ඔහු පවසන්නේ පිරිමි දරුවන් සඳහා නිල් පාටත් ගැහැනු දරුවන් සඳහා රෝස පාටත් වෙන් කර ගැනීම මිනිසුන් අතර ප්‍රචලිත වුණේ විසිවැනි සියවසේ දී බවයි. නමුත් ගැහැනු පිරිමි විදියට පාට බෙදාගත්තු කතාව නම් ඈත අතීතයේ ඉඳන්ම මිනිසුන් අතර පැවතුණා. 1918 වර්ෂයේ පළවූ සඟරාවක බිලිඳු ඇඳුම් නිෂ්පාදකයෙක් මේ ගැන අදහස් දක්වා තිබුණා. ඔහුට අනුව මුල්ම කාලේ මේ වර්ණ දෙක ගැහැනු පිරිමි වශයෙන් යොදාගෙන තියෙන්නේ එකිනෙක මාරු කරලා. ඒ කියන්නේ බිලිඳුන් වෙනුවෙන් රෝස පාටත්, බිලිඳියන් වෙනුවෙන් නිල් පාටත් විදිහටයි. මෙයට හේතුව තමයි රෝස කියන්නේ ශක්තිය හඟවන වර්ණයක් වීමත්, නිල් කියන්නේ සුකොමල ගණයට වැටෙන වර්ණයක් වීමත් නිසයි. මේ නිසා බිලිඳුන් වෙනුවෙන් රෝසපාටත්. බිලිඳියන් වෙනුවෙන් නිල්පාටත් යොදා ගැනුණා.
මේ වර්ණ දෙක සමාජයේ ස්ථාපිත කරන්න නොයෙක් විදියේ උත්සාහයක් ගැනුණා. 1927 දී ටයිම් සඟරාවේ මේ ගැන කරපු මත විමසුමක ප්‍රතිඵල පළ කරලා තිබුණා. ලෝකයේ ප්‍රධාන පෙළේ නගරවල ජනතාවගෙන් මේ වර්ණ දෙක බිලිිඳුන් හා බිලිිඳියන් වෙනුවෙන් යොදා ගන්නේ කෙසේදැයි අසා තිබුණා. බහුතරයක් දුන් පිළිතුරුවලට අනුව අපට දැන ගන්න ලැබෙන්නේ බිලිඳුන් වෙනුවෙන් රෝස පාටත් බිලිිඳියන් වෙනුවෙන් නිල්පාටත් භාවිත කෙරුණු බවයි. අඩුම තරමේ දෙවන ලෝක යුද්ධය ආරම්භ වෙන සමය වන විටදීවත් වර්තමානයේ අප මේ වර්ණ භාවිත කරන විදිහ පැවැතුණේ නැහැ.
ලිංග භේදය අනුව වර්ණ භාවිතය සමාජයේ ස්ථාපිත කරන්න වැඩිපුරම මහන්සි වුණේ බිලිඳු භාණ්ඩ නිෂ්පාදකයන්. තමන්ගේ ලාබය වැඩි කර ගැනීමේ අරමුණින් ඔවුන් මෙවැනි රැල්ලක් ඇති කරන්නට උත්සාහයක් ගත්තා.
අද අප බිලිඳුන් හා බිලිඳියන් වෙනුවෙන් භාවිත කරන වර්ණ සඳහා ප්‍රබල බලපෑමක් ඇති වූයේ ප්‍රංශ මෝස්තර සංස්කෘතිය බව පවොලෙට්ටි පවසනවා. ඔවුන් තමන්ගේ මෝස්තර ප්‍රදර්ශනවලදී බිලිඳුන් වෙනුවෙන් නිල් පැහැයත් බිලිඳියන් වෙනුවෙන් රෝස පැහැයත් භාවිත කළා. විසිවැනි සියවසේ මෝස්තර නිමැවුම්කරු ලෙස ලෝකයේ වැජඹුණේ ප්‍රංශයයි. මේ වැජඹීම කොතෙක්ද කීවොත් එතෙක් බිලිඳුන් හා බිලිඳියන් වෙනුවෙන් භාවිත වූ වර්ණද ලොව පුරා එකවර වෙනසකට බඳුන් වුණා.
ඉතාලියේ ටියුරින් සරසවියේ සමාජ විද්‍යාඥයකු වන මාර්කෝ ඩිල් ගයිඩිස්ට අනුව නම් 1880 තරම් ඈත කාලයේ සිටම බිලිඳුන් වෙනුවෙන් නිල් පැහැයත් බිලිඳියන් වෙනුවෙන් රෝස පැහැයත් භාවිත වී තිබෙනවා. ඔහු පවසන්නේ අඩුම තරමින් දහනවවැනි සියවසේ සිටම රෝස කියන්නේ ස්ත්‍රී වර්ණයක් බව ලෝකයේ පිළිගැනුණු දෙයක් බවයි. නමුත් ජීව විද්‍යාත්මකව ගතහොත් වයසින් වැඩුණු පසු සියලු පිරිමින් නිල් පැහැයටත්, සියලු ගැහැනුන් රෝස පැහැයටත් කැමති බව පෙනෙන්නේ නැහැ. මෙම වර්ණ දෙක හැර වර්ණාවලියේ විවිධ වර්ණවලට ඔවුන් තුළ කැමැත්ත ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ. පවොලෙට්ටි නම් මේ අදහස සමග එකඟවන්නේ නැහැ.
කෙසේ වෙතත් බිලිඳුන් වෙනුවෙන් නිල් පැහයත් බිලිඳියන් වෙනුවෙන් රෝස පැහැයත් භාවිත කරන්නේ ඇයිද යන්න දැන් ඔබත් මමත් දන්නවා. මට මෙන්ම ඔබටත් බිලිඳු දියණියක් හෝ බිලිඳු පුතකු වෙනුවෙන් ඇඳුම් ආයිත්තම්, බඩු භාණ්ඩ තෝරන්නට සිදු වුවහොත් දැන් ඒ සඳහා මේ වර්ණම තෝරාගන්නට පුළුවන්. ඒ වර්ණම තෝරන්නට ඕනෑ වන්නේ ඇයිදැයි කිසිවකුගෙන් අසන්නට වුවමනා වන්නේද නැහැ.
නිරංජන් චාමින්ද කරුණාතිලක
– Lakbima-