ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගෙන් ලිංගික අල්ලස් අරං නෑ- උත්සහ කරලා විතරයි

ක්‍රිකට්‌ ක්‍රීඩිකාවන්ගෙන් ලිංගික අල්ලස්‌ ලබා ගැනීමට තැත් කිරීම සම්බන්ධ චෝදනා සනාථ වී ඇතැයි කියන පුද්ගලයන් කවුරුන්ද යන්න හඳුනාගෙන තිබෙන නමුත්, ඔවුන්ට එරෙහිව නීති මාර්ගයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවයක්‌ නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සඳහන් කර සිටියි.

ලිංගික අල්ලස්‌ පිළිබඳව පවත්වන ලද පරීක්‍ෂණයේ වාර්තාව ක්‍රීඩා අමාත්‍යවරයා හරහා ක්‍රිකට්‌ ආයතනයට ලැබී තිබුණ ද එහි වැරදිකරුවන් බවට පත් නිලධාරීන් සියලුදෙනාට එරෙහිව ලිංගික අඩන්තේට්‌ටම් ශාරීරික වශයෙන් සිදු කොට ඇති බවට කිසිදු සාක්‍ෂියක්‌ නොමැති වීම මත නීති මාර්ගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවක්‌ නොමැති බවද එම නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වෙතත් අල්ලස්‌ ලබා ගැනීමට තැත් කිරීම මෙන්ම එවැනි ආකාරයේ කටයුතු කිරීමක්‌ සනාථ වී තිබෙන අවස්‌ථාවකත් ඔවුන්ට එරෙහිව නීති ක්‍රියාමාර්ගයක්‌ ගැනීමේ අවශ්‍යතාවයක්‌ නොමැති බව ක්‍රිකට්‌ ආයතනය සඳහන් කර සිටීම තරමක්‌ හාස්‍ය මුසු සිදුවීමක්‌ බව මේ පිළිබඳ දැනුමැති පිරිස්‌ සඳහන් කර සිටිති.

ත්‍රිපුද්ගල කමිටු පරීක්‍ෂණ වාර්තාවට පෙර මේ පිළිබඳව පරික්‍ෂණයක්‌ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් පත් කරන ලද මිනෝලි ජිනදාස මෙනවියගේ වාර්තාවට අනුවද ක්‍රිඩිකාවන්ට ලිංගික වශයෙන් අල්ලස්‌ ලබා ගැනීමට තැත් කිරීම පිළිබඳව කරුණු ඇතුළත් වී තිබෙන බවද එම වාර්තා වේ වැඩිදුරටත් සඳහන් වේ.

එමෙන්ම අදාළ සිද්ධියට කළමනාකරුවකු ඇතුලු තවත් දෙදෙනකු සම්බන්ධ බව එම නිවේදනයේ සඳහන් වන නමුත් ඔවුන් කවුරුන්ද යන්න හෙළි නොකිරීමට ක්‍රිකට්‌ ආයතනය වග බලාගෙන තිබේ. ක්‍රිකට්‌ ආයතනය පවසන අන්දමට කණ්‌ඩායම් පුහුණුකරු වන ජීවන්ත කුලතුංග මෙන්ම තේරීම් කමිටු නිලධාරීන් ලෙස සේවය කරන ලද උවයිස්‌ කර්ලයින් සහ වරුණ වරාගොඩ යන මහත්වරුන් අදාළ සිදුවීමට කිසිසේත්ම සම්බන්ධ නොවන පිරිස්‌ වන බැවින් ඔවුන්ගේ සේවය දිගින් දිගටම කාන්තා ක්‍රිකට්‌ ක්‍රීඩාවට ලබා ගන්නා බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

කරුණු වාර්තාවන අන්දමට ක්‍රීඩිකාවන්ගෙන් ලිංගික අල්ලස්‌ ලබා ගැනීමට තැත් කිරීම සම්බන්ධ පිරිස්‌ අතරට කාන්තා ක්‍රිකට්‌ සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවීම සඳහා පත් කරන ලද නිලධාරිණියකට විරුද්ධව අදාළ පරීක්‍ෂණයේදී ක්‍රීඩිකාවන් සාක්‍ෂි ලබා දී තිබුණත් ක්‍රිකට්‌ ආයතන නිකුත් කරන ලද නිවේදනයේ ඒ පිළිබඳව කිසිවක්‌ සඳහන් නොවීමද විශේෂත්වයක්‌ වී තිබේ.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...