2014 වසරේදී එන්.සී.සී. පිල ශූරතාව දිනාගත් අන්තර් ක්‍රීඩා සමාජ තෙදින ක්‍රිකට් තරගාවලියේ මෙවර තරගාවලිය ජනවාරි 9 දින ආරම්භ කිරීමට සැලසුම් කර තිබිණි. එහෙත් පසුගිය 8 වැනි දින ජනාධිපතිවරණය පැවැත්වීම නිසා එම තරගාවලිය කල්දමන ලදී.
එහෙත් එම තරගය (ජනවාරි මස 16 වැනි දින) එනම් අද දින ඇරඹේ. මෙම තරගාවලියේ පළමු වටය පෙබරවාරි 29 දිනෙන් අවසන් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය ක්‍රීඩා සමාජ කණ්ඩායම් 14 ක් කාණ්ඩ දෙකක් යටතේ තරගවදී.
පසුගිය වසරේ හඳුන්වා දුන් ක්‍රමය මෙවර ද තරගාවලියට එක් කොට ඇත. ඒ අනුව ලීග් තරගාවලියේ ඒ ඒ කාණ්ඩයන්හි පළමු ස්ථාන 4 හිමි කර ගන්නා කණ්ඩායම් 4ක් බැගින් සුපිරි 8 වටයේ සිව්දින තරග ලෙස ලීග් ක්‍රමයට පැවැත්වේ.
ඒ අනුව සුපිරි 8 වටයට සුදුසුකම් ලබන සෑම කණ්ඩායමකටම අනෙක් කාණ්ඩයේ පළමු ස්ථාන 4 රැඳී සිටින කණ්ඩායම් 4 සමගින් තරග 4කට මුහුණදීමට සිදුවේ. ඒ අනුව තරගාවලියේ ශූරයින් තෝරා ගනු ලැබේ.
ඒ ඒ කාණ්ඩයන්හි පළමු වටයේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයන්හි රැඳී සිටින කණ්ඩායම් 3 බැගින් කණ්ඩායම් 6 අතර පළඟ ශූරතාව සඳහා තෙදින ලීග් තරග වටයක් ක්‍රියාත්මක කරනු ලැබේ. පළඟ ශූරතා තරගාවලිය මාර්තු මස 22 වැනි දිනෙන් අවසන් වීමට නියමිතව ඇත. සුපිරි 8 තරග වටය මාර්තු මස 29 වැනි දිනෙන් අවසන්වීමට නියමිතව ඇත.
මේ දිනවල ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිල නවසීලන්ත සහ ලෝක කුසලාන තරග සංචාරය සඳහා එක්ව ඇති බැවින් එම සංචාරයට එක්ව සිටින ක්‍රීඩකයින්ගේ සේවය ඒ ඒ ක්‍රීඩා සමාජවලට අහිමිවී ඇත.
එස්.එස්.සී. පිල තිළිණ කණ්ඩම්බි මෙහෙයවනු ලබන අතර, උදාර ජයසුන්දර රාගම ක්‍රිකට් සමාජ පිල මෙහෙයවනු ලැබේ. යුද හමුදා ක්‍රීඩා සමාජ පිල අසේල ගුණරත්න විසින් මෙහෙයවනු ලබන අතර, ටැමිල් යූනියන් පිලට චානක වෙලගෙදර නායකත්වය සපයයි. හසන්ත ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුතුව සී.සී.සී. පිල තරග බිමට එක්වන අතර, උපුල් ඉන්ද්‍රසිරිගේ නායකත්වයෙන් සැරසන්ස් ක්‍රීඩා සමාජය තරග වදියි. මිලින්ද සිරිවර්ධන බදුරලිය ක්‍රීඩා සමාජ පිල මෙහෙයවයි.
උපුල් තරංග එන්.සී.සී. පිල මෙහෙයවන අතර, ඩිල්රුවන් පෙරේරා කෝල්ට්ස් පිල මෙහෙයවයි. අශාන් ප්‍රියංජන් වරාය අධිකාරිය පිල මෙහෙයවනු ලබන අතර, සුරාජ් රන්දිව් බ්ලූම්ෆීල්ඩ් පිල මෙහෙයවයි. දිල්හාර ලොකුහෙට්ටිගේ මුවර්ස් පිල මෙහෙයවනු ලබන අතර, අචිර එරංග ගුවන් හමුදා ක්‍රීඩා සමාජ පිලට නායකත්වය ලබාදෙයි. සහන් විජේරත්න චිලව් මේරියන්ස් පිල මෙහෙයවයි. ‘ඒ’කාණ්ඩය ලෙස එන්.සී.සී., කෝල්ට්ස් ක්‍රිකට් සමාජය, රාගම ක්‍රිකට් සමාජය, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය, බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය, බදුරලිය ක්‍රිකට් සමාජය තරග වදින අතර ‘බි’ කාණ්ඩය ලෙස එස්.එස්.සී., වරාය අධිකාරිය, මුවර්ස් ක්‍රීඩා සමාජය, සී.සී.සී., චිලව් මේරියන්ස් ක්‍රිකට් සමාජය, යුද හමුදා ක්‍රීඩා සමාජය, තරග වදී. තරග සැලැස්ම ජනවාරි 16 සිට 18 දක්වා පවත්වන අතර පළමුවෙන් ම තරග වදිනුයේ ගුවන් හමුදාව සහ කෝල්ටිස් යන පිල් දෙකේ සාමාජිකයින් ය. ඔවුන්ගේ තරගය කටුනායක ගුවන් හමුදා පිටියේදී පැවැත්වේ. එන්.සී.සී සහ බදුරලිය අතර තරගය එන්.සී.සී පිටියේදී පැවැත්වේ. බ්ලූම්ෆීල්ඩ් සහ රාගම අතර තරගය බ්ලූම්ෆීල්ඩ් පිටියේදී පැවැත්වේ. මුවර්ස් පිටියේදි මුවර්ස් සහ සැරසන්ස් තරග වදී. යුද හමුදාව සහ එස්.එස්.සී කටුනායකදී තරග කරයි. සී.සී.සී සහ වරාය අධිකාරිය සී.සී.සි පිටියේදී තරග වැදීමට නියමිතය.