-ඕනෑම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අට වසරක් පුරා අවසන් මහා තරගයේ ස්‌ථානයක් වෙන්කර ගෙන සිටි ශ්‍රී ලංකාව ඊයේ (18 දා) පැවැති පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකානුවන් හමුවේ කඩුලු 09 නොසිතූ පරාජයක් ලබමින් 2015 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවෙන ලදී.
එම පීඩනය හොඳින් දන්නා ශ්‍රී ලංකා කණ්‌ඩායමට හිටි හැටියේ වැදුණු අකුණු සැරයක් මෙන් සියලු දෙනා ලකුණු 133 කට දැවී යන ලදී. ලකුණු 300 කට වැඩි ඉලක්‌කයක් හිස මත තබා ගනිමින් කාසියේ වාසිය සමග පළමුව පිති ප්‍රහාරය දියත් කිරීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කළද ශ්‍රී ලංකා පිතිකරුවන් මෙවර ලෝක කුසලානයේ නීරසම ක්‍රීඩා විලාශය පෙන්වමින් පන්දුවාර 37.2 කදී ඉනිම නිමා කර ගත්තේය. ශ්‍රී ලංකාවේ බිහිවූ සුපිරිම පිතිකරු යුගලට ලෝක කුසලාන ජයග්‍රහණයකින් සමුගැනීම සරසවන්නට බලා සිටි ශ්‍රී ලංකා නායකයා ඇතුළු පිරිසට ඊයේ අත්වූ පරාජයත් තම දැවැන්තයන් දෙදෙනාගේ සමුගැනීමේ වේදනාවත් එක පිට එක දරා ගැනීමට සිදුවිය.
පන්දුවාර පනහ ලෝක කුසලාන අවසන් මහා තරග දෙකකට සහ විස්‌සයි විස්‌ස ලෝක කුසලාන අවසන් මහා තරග තුනකට ක්‍රීඩා කළ මහේල සහ සංගක්‌කාර ඊයේ එක්‌දින ජාත්‍යන්තර පිටියට සමුදුන්නේ පරාජයෙන් දෙනෙත් රතු කරගෙන සිටි ශ්‍රී ලාංකීය ක්‍රීඩාලෝලීන්ට අත් ඔසවා ආචාර කරමිනි. මැතිව්ස් ප්‍රමුඛ සියලු සගයන් සංගක්‌කාර සහ මහේලව සිප වැළඳ ගනිමින් ඔවුන්ට සමුදුන්නේ සමුගෙන නොයන් කියන්නාක් මෙනි. දකුණු අප්‍රිකානු සියලුම ක්‍රීඩකයන් සංගක්‌කාරව සහ මහේලව වැළඳ ගනිමින් ඔවුන්ගේ අනාගතයට සුභාෂිංසන එකතු කළේය. ලෝක වාර්තා ගොන්නක් සතුකර ගෙන සිටින සංගක්‌කාර පළමුවෙන්ම ක්‍රීඩාංගණයෙන් පිටව යන තෙක් ජයග්‍රාහී දකුණු අප්‍රිකානු කණ්‌ඩායමේ ක්‌යින්ටන්ද කුක් සහ ඩුප්ලෙසිස් අත්පොළොසන් නගමින් පිටිය මැද නතරව සිටියේ පිදිය යුත්තන් පිදීම මහත්මා ගුණයක් ලෙස හුවා දක්‌වමිනි. පීඩනයට ඔරොත්තු නොදෙන කණ්‌ඩායමක් ලෙසින් අවධානයට ලක්‌ව සිටි දකුණු අප්‍රිකානුවන් අලුත් සැලසුමක් සමගින් ශ්‍රී ලංකාව දැඩි ප්‍රපාතයකට ඊයේ තල්ලු කර දැමුවේය. ”අපි පීඩනයේදී හොඳින් ක්‍රීඩා කරන්නෙ නැහැ කියන එකක් නැහැ. අවශ්‍ය වන්නේ ඕනෑම තරගයකදී හොඳින් ක්‍රීඩා කිරීම පමණයි” යනුවෙන් දකුණු අප්‍රිකානු නායක ඒබී ඩිවිලියර්ස් පැවසුවාක් මෙන් ඔහුගේ සගයන් කිසිදු පීඩනයකින් තොරව ශ්‍රී ලංකා පිතිකරුවන්ව දැඩි ග්‍රහණයකට හසුකර දැමුවේය. ශ්‍රී ලංකා පසුපෙළ පිතිකරුවන් දුරකථන අංකයක් මෙන් ලකුණු ලබා ගැනීම හේතුවෙන් දකුණු අප්‍රිකානුවන්ට හිමිවූ පහසු ඉලක්‌කය පන්දුවාර 32 ක් සහ කඩුලු 9 ක් ඉතිරිව තිබියදී ලබා ගනිමින් අවසන් පූර්ව තරග වරම් ලබා ගත්තේය. ඒ අනූව නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන් සමග දකුණු අප්‍රිකාව ලබන 26 වැනිදා අවසන් පූර්ව සටනට ඕක්‌ලන්ඩ් හිදී සහභාගි වේ. ”අපි සතුටු වෙනවා කාසියේ වාසිය පැරදිල පළමුව පන්දු යවන්නට ලැබීම ගැන.” යනුවෙන් ඩිවිලියර්ස් තරගයෙන් අනතුරුව පැවසීය.
රංගන හේරත්ව ඊයේ උදෑසන සංචිතයෙන් ඉවත් කර දැමූ ශ්‍රී ලංකා තේරීම් කමිටුව ඒ වෙනුවට තරිදු කෞෂාල් කණ්‌ඩායමට එක් කරමින් ඔහුව තරගයට යෙදෙව්වේය. එහෙත් ශ්‍රී ලංකා සියලු පන්දු යවන්නන් අභිබවා ලකුණු 26 කට කඩුලු 4 ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම විනාශ කිරීමේ පෙරමුණ ගත් ඉම්රාන් තහීර් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.