ඉන්දීය සුපිරි පිතිකරු ලැයිස්තුවේ වේගයෙන් ඉදිරියට ආ විරාට් කෝලි ඒ වේගවත් ගමනින්ම ලෝකයේ ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේද ඉදිරියට පැමිණෙමින් සිටිනා බව කියැවෙනවා.
කෝලි ගැන මේ ආරංචිය පැතිර යන්නේ ඔහු සුප්‍රකට ක්‍රීඩා භාණ්ඩ වෙළෙඳ සමාගමක් වන අඩිඩාස් සමාගම සමග ඉන්දීය රුපියල් කෝටි 10 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 25 ක් පමණ) මුදලකට කොන්ත්‍රාත්තුවක් අත්සන් කළ බව දැනගන්නට තිබෙන නිසයි. ඔහු මේ කොන්ත්‍රාත්තුව අත්සන් කර ඇත්තේ වසර තුනක කාලයකට බවයි කියැවෙන්නේ. ඒ වගේම අඩිඩාස් සමාගම සමග අත්සන් කළ ගිවිසුමත් සමග තවත් වෙළෙඳ සමාගම් 13ක් සමග ගිවිසුම්ලට එළැඹීමටත් කෝලිට අවස්ථාවක් ලැබිලා. ඒ නිසා අඩිඩාස් ගිවිසුමෙන් කෝලිට ලැබිමට නියමිත ඉන්දීය රුපියල් කෝටි 10 තවත් සැලකිය යුතු මුදලක් එකතු වීමට නියමිත බව කියැවෙනවා. මේ නිසා ඉන්දියාවේ ධනවත්ම ක්‍රීඩකයින් අතර පෙරමුණේ සිටින මහේන්ද්‍ර සිං දෝනි පවා ඉක්ම යන්නට කෝලිට ලැබෙන මේ ආදායම ඕනෑවටත් වඩා වැඩි බව අමුතුවෙන් කිව යුතු නැහැ. දැන් දෝනිගේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 31.5 ක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 3.15ක්) මේ ආදායම ඉක්මවා යන්නට තරම් ආදායමක් ලැබේ නම් කෝලිට ලැබෙන ආදායම කෙතරම් වේදැයි අනුමාන කළ හැකියි. ලෝකයේම ක්‍රිකට් ක්‍රීඩකයන් ලබන ආදායම අතින් ගත් විට ඉදිරියෙන්ම සිටින කෙවින් පීටර්සන්ගේ ආදායමට ළං වීමට කෝලිට ලැබිමට නියමිත මේ වාර්ෂික ආදායම ප්‍රමාණවත් නැතත් මේ ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ පළමු තැන සිටින සචින් තෙන්ඩුල්කාර්වත් දහසය වැනි තැන සිටින දෝනිවත් අබිභවා යාම කෝලිට එතරම් අපහසු නැති බව කියැවෙනවා.
දැනට විරාට් කෝලි ලබන ආදායම කියැවෙන්නේ ඩොලර් මිලියන 71 ක් ලෙසයි. (ශ්‍රී ලංකා රුපියල් මිලියන 710 ක්) එයින් ඩොලර් මිලියන 3.1ක් (රුපියල් මිලියන 310ක්) ඔහු උපයන්නේ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසයි. ඉතිරිය Nike Pepsico සහ Toyotaවෙළෙඳ දැන්වීම්වලට දායක වීමෙන් උපයන බව සඳහන්. මේ වනවිට එක්දින තරග 113 කට ක්‍රීඩා කර ඇති කෝලි දායක වී ඇති ටෙස්ට් තරග ගණන නම් 18 ක් පමණයි. වේගවත් සේම ප්‍රවේගකාරී පිති හරඹය නිසාත් තුන් ඉරියව්වෙන්ම දක්වන දක්ෂකම නිසාත් කෝලිට ඉන්දීය පිලේ නායකත්වයද ලැබෙනු ඇතැයි කියැවෙනවා.
නෙලුෂා සිල්වා
rivira.lk