ඩී. ඇස්‌. සේනානායක 129 වෙනි ගුණ සමරුම නැවත එන්න වෛරය, ක්‍රෝධය පළිගැනීම් කිසිවක්‌ නැහැ- කරු ජයසූරිය

ජනතාව දිනවීම මිස පුටු රත්කරන සමගියකින් පළක්‌ නැහැ
සජිත් ප්‍රේමදාස

එක්‌සත් ජාතික පක්‍ෂයේ බෙදී වෙන්වී සිටින පිරිස සමගි කරවීමට තමන්ගේ කාලය, ශ්‍රමය හා ධනය වැය කරමින් දින ගණන්, සැතපුම් ගණන් සංචාරය කොට පක්‍ෂය ශක්‌තිමත් කිරීමට මහා සංඝරත්නය දරන අවංක උත්සාහය අගය කරනවා

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු, එප්පාවල රත්න බී. ඒකනායක සහ තඹුත්තේගම සී. ඇම්. ආරියපාල

අතීතයේදී තම පක්‍ෂය හැර ගිය සියලු දෙනාට පක්‍ෂය ශක්‌තිමත් කිරීම සඳහා එක්‌වීමට නැවත අවස්‌ථාව තිබෙන බවත් පළිගැනීම, වෛර කිරීම, ක්‍රෝධ කිරීම හා ඊර්ෂ්‍යා කිරීමේ අදහසින් කිසිවෙකුත් පක්‍ෂයෙන් එළියට දැමීමට බලාපොරොත්තු නොවන බවත් එක්‌සත් ජාතික පක්‍ෂයේ ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී දේශබන්දු කරු ජයසූරිය මහතා පැවැසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය දිවංගත ඩී. ඇස්‌. සේනානායක මහතාගේ 129 වෙනි ජන්ම දින ගුණ සමරු උත්සවයට සහභාගිවෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

එප්පාවල ඩී. ඇස්‌. සේනානායක ගුණසමරු උත්සව කමිටුව විසින් සංවිධානය කළ එම උත්සවය පෙරේදා (20 දා) එප්පාවල ශ්‍රී ඛෙත්තාරාම විහාරස්‌ථානයේදී පැවැත්විණි.

එක්‌සත් ජාතික පක්‍ෂයේ බෙදී වෙන්වී සිටින පිරිස සමගි කරවීමට තමන්ගේ කාලය, ශ්‍රමය හා ධනය වැය කරමින් දින ගණන්, සැතපුම් ගණන් සංචාරය කොට පක්‍ෂය ශක්‌තිමත් කිරීමට මහා සංඝරත්නය දරන අවංක උත්සාහය අගය කරන බවත් කරු ජයසුරිය මහතා පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද කීය.

රට අගාධයට යන විට රටේ ප්‍රශ්න ඇති වන විට ඉන් රට මුදා ගැනීමට මහා සංඝරත්නය ඉදිරිපත්වීම අපට මහා ශක්‌තියක්‌. වර්තමානයේ එක්‌සත් ජාතික පක්‍ෂයේ බෙදී වෙන්වී සිටින පිරිස්‌ සමගි කරවීමට ගරුතර මහා සංඝරත්නය අවංක උත්සාහයක නිරත වී සිටිනවා.

මේ වන විට මහා සංඝරත්නය එක්‌සත් ජාතික පක්‍ෂයට යෝජනාවලියක්‌ ඉදිරිපත් කර තිබෙනවා. එම යෝජනා ඉතාම කාලීන යෝජනා කියා මා සිතනවා. මා ඒ ගැන කතා කරන්නෙ නෑ. මේ ගැන කතා කිරීමට ගොස්‌ යම් වචනයක්‌ වැරදුණොත් අවුල්වේවි කියල සිතූ නිසා මා ඒ ගැන වැඩිය කතා කරන්නෙ නෑ. උන්වහන්සේලා පිළිබඳ අප තුළ විශාල විශ්වාසයක්‌ තිබෙනවා. මගේ බලාපොරොත්තුව හා ප්‍රාර්ථනාව උන්වහන්සේලා දරන මේ අවංක උත්සාහය පළ දරන්න කියලා.

අද මේ රටේ සීග්‍ර වශයෙන් විනාශ වී යන සංස්‌කෘතිය හා ප්‍රජාතන්ත්‍රවාදය අපි ආරක්‍ෂා කළ යුතුයි. ඇට මස්‌ ලේවලින් හැදුණු මිනිසුන් අපි තුළ අඩුපාඩු තිබිය හැකියි. එක්‌සත් ජාතික පක්‍ෂය තුළ සෑම කෙනෙකුටම ඉඩක්‌ තියෙනවා. අතීතයේදී අපෙන් වෙන්වී ගිය අයට නැවත අප සමග එක්‌වී ශක්‌තිමත් වීමට අවස්‌ථාව තිබෙනවා.

ජන සුවය හා සසුනට අරුණ නිර්මාතෘ හම්බන්තොට දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා –

මේ රටට නිදහස ලබා නොදී රට තුළ බෙදීම් ඇති කර අධිරාජ්‍යවාදී බලවේග තවදුරටත් අපගේ රට ග්‍රහණයට නතුකර ගන්නට ක්‍රියාකරණ විට වාද භේද පැත්තක දමා නිදහස දිනා ගැනීමේ සමගිය උදාකිරීමට ඩී. ඇස්‌. සේනානායක මැතිතුමා තම ශක්‌තිය පෞරුෂත්වය විදහා දක්‌වා රටටම නායකත්වය ලබා දුන්නා.

එතුමා ආරම්භ කළ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය අදටත් වලංගුයි. එය විනාශ කිරීමට අප කටයුතු කරන්නට හොඳ නෑ. ඩී. ඇස්‌. සේනානායක මැතිතුමාට කරන ලොකුම උපහාරය වන්නේ අපේ රජයක්‌ පිහිටුවා ගොවි විශ්‍රාම වැටුප නැවතවරක්‌ ලබාදීමයි.

එක්‌සත් ජාතික පක්‍ෂයේ අප සියලු දෙනාගේම යුතුකමක්‌ වෙනව රට දිනවන පොදු ජනතාව දිනවන සමගියක්‌ මේ රටේ ඇති කිරීම. පුටු රත්කරන සමගියකින් අපට වැඩක්‌ නෑ.

මව්බිම ජනතා පක්‍ෂයේ නායක ආචාර්ය හේමකුමාර නානායක්‌කාර මහතා –

මේ ආණ්‌ඩුව කරන ජනතාව රවටන මන්තර අපි කියන්නෙ නෑ. ඩී. ඇස්‌. සේනානායක මැතිතුමා ස්‌මරණය කරමින් යළිත් වරක්‌ මේ රටේ කෘෂිකාර්මික පුනරුදය යෝධ ව්‍යාපාරයේ වගකීම දැරීමට තමුන්නාන්සේලාට මේ රට භාර ගෙන කටයුතු කිරීමට චිත්ත ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

මෙම අවස්‌ථාවට ජාතික භික්‍ෂු පෙරමුණේ අනුශාසක ශ්‍රී ලංකා රාමඤaඤ මහා නිකායේ අනුනාහිමි පූජ්‍ය ගිරාඹේ ආනන්ද සහ එප්පාවල පොස්‌පේට්‌ නිධිය සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු සහ එප්පාවල ඛෙත්තාරාම විහාරාධිපති පූජ්‍ය මහාමාන්කඩවල පියරතන යන නාහිමිවරුන් ද අනුරාධපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනී චන්ද්‍රdනි බණ්‌ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී. හැරිසන් පාලිත රංගේ බණ්‌ඩාර යන මහත්ම මහත්මීහුද උතුරු මැද පළාත් සභා මන්ත්‍රීවරුන් වන අනිල් රත්නායක, ඩී. ඇම්. අමරතුංග, අරුණ බුද්ධික ගුණසේකර, රෝහණ බංඩාර, එම්. සහීදු හා ප්‍රසන්න මහින්දරත්න යන මහත්වරුන් සහ එක්‌සත් ජාතික පක්‍ෂයේ පැරැණි සාමාජිකයෝa විශාල පිරිසක්‌ද සහභාගී වූහ.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...