ගල් කථාවෙන් උපුල් ඇනගනියි

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයට පත්කර මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ගල්ගසා මරණකම් බලන් ඉන්න බවට ප්‍රකාශ කළේ යැයි කියන දකුණු පළාත් සභා අමාත්‍ය දෙනගම විතානගේ රෝහනප්‍රිය උපුල් සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය ඊයේ (04) නියෝග කළාය.

අදාළ නියෝගය ආගමන විගමන පාලකවරයාට නිකුත් කළ මහේස්ත්‍රාත්තුමිය සැකකරුගේ ප්‍රකාශය ඇතුළත් සංස්කරණය නොකල දර්ශන රහස් පොලිසියට බාරදෙන ලෙසට ජාතික රූපවාහිනිය ඇතුළු මෙරට රූපවාහිනි නාලිකා ප්‍රධානීන්ට නියෝග කළාය.

ඩී. වී. උපුල් මහතාගේ ප්‍රකාශය මුද්‍රිත මාධ්‍යවල පළකල මාධ්‍යවේදීන්ට රහස් පොලිසියට ප්‍රකාශයක් ලබාදෙන ලෙසට දැනුම් දෙන්නැයි පුවත්පත් කතුවරුන්ට නියෝග කළාය. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. කේ. ඩබ්ලිව්. එම්. ආර්. සෙනවිරත්න මහතා කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කළ කරුණු සලකා බැලීමෙන් පසුව මේ තහනම් නියෝගය නිකුත් කළාය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස ස්ථානාධිපතිවරයා පැමිණිලිකරමින් සඳහන් කර ඇත්තේ ඩී. වී. උපුල් යන අය “මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ලැයිස්තුවක් අරගෙන මහින්ද මහතා අගමැති කරලා අපේ අය කූඩුවට දාන ඔය අය ගෙනල්ලා ගල්ගහලා මරණකම් බලා ඉන්නවා’ යනුවෙන් ප්‍රකාශයක් කරන බවත්, එම ප්‍රකාශය අන්තර්ජාලයේ හා මාධ්‍යවල විකාශය වන බව දුටු බවත්ය.

අදාළ ප්‍රකාශය හේතුවෙන් තම නිලධාරින් රාජකාරී කිරීමට පසුබට වන බවත්, එම පවුල්වල සාමාජිකයින් තැති ගැන්මෙන් සිටින බවත් ඔහු සඳහන් කර ඇත.

අදාළ ප්‍රකාශය ශිරන්ති රාජපක්ෂ මහත්මියට ප්‍රකාශයක් ලබාදීමට නියමිතව තිබූ පසුගිය 01 දින සිදුකර ඇති බවට මාධ්‍යවල පල වී ඇති අතර එම ප්‍රකාශය කළේ කුමන ස්ථානයකදී ද යන්න අනාවරණය වී නැති බව රහස් පොලිසිය කරුණු ඉදිරිපත් කර ඇත.

පසුගිය 01 දින කොල්ලුපිටිය කාලිවිල පාරේ ජනතා නියෝජිතයින් ඇතුළු සිවිල් පිරිසක් රැස්ව සිටි බවට කොරතුරු අනාවරණය වන බවද කරුණු ඉදිරිපත් කර ඇත.

ඩී. වී. උපුල් මීට පෙර අපරාධවලට සම්බන්ධවූවකු බවත් පාතාල සාමාජිකයින් ළඟින් ඇසුරු කරන බවට පෞද්ගලික තොරතුරුවලින් අනාවරණය වී ඇති බවත් රහස් පොලිසිය කරුණු ඉදිරිපත් කර ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝගය මත විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, මෙය ලංකා දණ්ඩ නීති සංග්‍රහය හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් බවත් කරුණු ඉදිරිපත් කළේය.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...