ඩලස් එන්න ජනතාව සතුටින් දැයි බලන්න

ලෝකයේ මිනිසුන් සතුටින්ම සිටින රටවල් 156 ක් අතරින් ශ‍්‍රි ලංකාව 137 වෙනි ස්ථානයට පත්වීම පිළිබඳව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ‘‘අසතුටින්’’ සිටින බව මාධ්‍ය හමුවකදී හෙළිදරව් වී තිබේ.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම හා රාජපක්ෂවරුන්ට සමීපව සිටින කල්ලි කණ්ඩායම් හැරුණුවිට මේ රටේ ජනතාව අසතුටෙන්, වේදනාවෙන් ජීවත්වන බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. ඉතා නිවැරැදි දේශපාලන භාවිතයක් හා සාර්ථික දේශපාලන දැක්මක්ද ඇතිව අපරාජිත ආකාරයෙන් ඉදිරියට යන්නේ යයි අද ඩලස් සිතාගෙන සිටිනවා විය හැක. අපට පෙනෙන ආකාරයට අතිශය ජරාජීර්ණවූ දේශපාලන මඩ ගොහොරුවේ කරවටක්ම ගිලී, තම ස්වාමියන්ගේ සිත් සතන් සතුටුකර අවසන් තත්පරයේදී හෝ වාසියක් ලබාගැනීමට දඟලන තවත් එක් චරිතයක් ලෙස ඩලස් හඳුන්වාදීම අසාධාරණ නොවේ යයි මට සිතේ.

සෑහෙන කාලයක් අප දන්නා ‘ඩලස්’ යථාවබෝධයෙන් හා මානුෂීය ගුණයෙන් ඉහළ තලයක සිටියත්, ඒ සියල්ල යටපත්කරගෙන ‘දේශපාලන’ අවස්ථාවාදී ‘ඩලස්’ දැන් දැන් ඉස්මතුවන බව පෙනේ. එදා 2005 ජනාධිපතිවරණයට ආසන්න දිනයකදී මහින්ද රාජපක්ෂගේ ආරාධනයෙන් මාධ්‍යවේදීන් අරලියගහ මන්දිරයේ සුහද සාදයකට හමුවීමකට පැමිණි අවස්ථාවේ එහි පැමිණ යම් යම් කරුණු කාරණා විමසමින්, මාධ්‍යවේදීන්ගේ අනාගතය පිළිබඳ සතුටුවිය හැකි ආකාරයේ අදහස් පලකල හැටි ඔහුට මතකදැයි අපි නොදනිමු.

එදා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ නි. අමාත්‍යවරයෙකුව සිට යම් යම් කරුණු රාශියක් නිසා සිත්තැවුලෙන් (සර්ව සාධාරණ දේශපාලනය දැන් ඔහුට හමුවී ඇද්දැයි නොදනිමි) විදේශගත වීම සඳහා මාදිවෙල ඔහු පදිංචිව සිටි මන්ත‍්‍රී නිවස්නයෙන් නික්ම යෑමට ආසන්නව අප හමුවූ අවස්ථාව මතකදැයි නොදනිමු. ඒ යුගයේදීම වාද්දුව ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක (බ්ලූ වෝටර් හෝටලය විය යුතුය) පැවැති පාරිසරික සම්මාන ප‍්‍රදානයකදී හිතවත් මාධ්‍යවේදීන් රැසක් මැද ඔහු පලකල අදහස් මතකදැයි මම නොදනිමි. එහිදී (ඔහුටද සම්මානයක් ලැබිණි)

කෙසේ වුවද දේශපාලනයෙන් ඉහළයෑමේ නොතිත් ආශාව ඉටුනොවූ නිසා හෝ, ඔහුට සතුටුවිය හැකි ආකාරයෙන් ‘චන්ද්‍රිකාගේ’ සැලකිලි නොලැබුණ නිසා හෝ ඔහු විදේශගතවූ බව එදා නොපෙනුනත් දැන් අපට එසේ පෙනේ. චන්ද්‍රිකාගේ යුගයේ ඔහුගේ පෙරගමන්කරුවා වූ එස්. බී. චන්ද්‍රිකාත්, පක්ෂයත්, ආණ්ඩුවත් විනාශකර කරණම් ගැසූ බව දැන් රටම දනී. ඩලස් දිගටම හිටියා නම් ඔහුද ඒ ගොඩේමය. රටත්, පක්ෂයත්, දේශපාලනයත් වෙනුවෙන් පුංචිම දෙයක් කළාද? සිය අධ්‍යාපන කටයුතු හා පෞද්ගලික ජයග‍්‍රහණයන් සඳහා කැපවීම් කළා දැයි දන්නේ ඔහුම පමණි. කෙසේ වුවද ‘චන්ද්‍රිකාට’ එරෙහිව කඳවුරු බිඳින්නට ‘ඩලස්ට’ අවශ්‍යවන්නට ඇත. එදා ‘ඩලස්’ ආශා නොකළ දේශපාලන චරිතයක් වූ ‘මහින්ද රාජපක්ෂ’ හා අවසාන යුගයේ හෝ සම්බන්ධවීම ඔහුට වාසනාව හා සතුට ගෙනදුන්නාට සැක නැත.

2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති පුටුවේ වාඩිකරවන්නට අනේකවිධ බාධා මැද වෙහෙස මහන්සි වූ අයවත් අද ඉන්නේ සතුටින් දැයි සොයා බැලීම ඔබගේ වගකීමකි. පසුගියදා නවනීදන් පිල්ලේ මෙහි පැමිණි අවස්ථාවේ ‘මඟුල් යෝජනා’ හා විවිධ ප‍්‍රකාශ කරමින් ඇයට කළ අවමානයන් වෙනුවෙන් ‘සමාව’ ඉල්ලීමට තරම් නම්‍යශීලී වූ ඔබ, වැරදි බව දැන දැනත් ආණ්ඩුවේ කුණු සේදීමට ඉදිරිපත් වන ඔබ, ඉහත අප සඳහන් කළ කරුණ පිළිබඳව සොයා බැලීමට සුදුස්සාය. අනෙක් අතට ක‍්‍රමවේදය යකාට ගියත් අද ශ‍්‍රී. ල. නි. පයේ භාණ්ඩාගාරික වරයාද ඔබය. නුදුරේදීම ලේකම් තනතුරටද යාමට හැකිවනු ඇත.

එදා වසර 17 ක එජාප යුගයේදී (කෙටි කාලයක් ඔබද මාධ්‍යවේදියෙකුව සිටි හෙයින්) කුමන බාධක ඉදිරියේ වුවද මාධ්‍යවේදීන් නොබියව ගිය ගමන ගැන ඔබට දැනුම්වත්කමක් තිබිය යුතුමය. විවිධ ක‍්‍රියාකාරීන්, විවිධ මහජන ක‍්‍රියාකාරකම් ඔස්සේ ජනතාව පෙළ ගස්වන්නට ගිය අයුරුත්, අද ‘මාධ්‍ය ආයතන’වල අයිතිය සාක්කුවේ දාගෙන තෝරාගත් මාධ්‍යවේදීන්ට දොළපිදේනි දෙමින් ඔවුන්ට ‘ස්වයංවාරණ’වල යෙදීමට අවස්ථාව සලසමින් මාධ්‍යවේදීන් 50කට අධික පිරිසකට රට අතහැර යාමට සලස්වමින් ගෙනයන ‘මාධ්‍ය නිදහස’ ගැන අපට සතුටුවිය හැකිද?

කලක් ඔබේද හිතවත් අපද අසුරු කළ එස්. බී. අද උසස් අධ්‍යාපනයට ක‍්‍රමයෙන් සිදුකරන විකාශය ගැන සතුටුවන්නේ කවුද? ජේ. වී. පියට, පෙරටුගාමීන්ට වරද පටවමින් තහංචි දමමින් උසාවි නියෝග ගනිමින් ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් අත්අඩංගුවට ගනිමින් ‘සමස්ත අධ්‍යාපනය’ පෞද්ගලීකකරණයට හොඳ ප‍්‍රවේශයක් ලබාදෙන ක‍්‍රමවේදය ගැන ඔබට සතුටුවිය හැකිද? අධ්‍යාපන ඇමැති ‘බන්ධුල’ සමස්ත අධ්‍යාපනය විනාශ නොකරන්නේද? අද බහුතරයක් විදුහල්වල දෙමාපියන් උද්ඝෝෂණ, විරෝධතා පවත්වන්නේ ‘අධ්‍යාපනය’ ගැන සතුටින්ද?

අද සෞඛ්‍ය අංශය යන්නේ කොයිබටද? අමාත්‍යවරයා නිලධාරීන්ගේ සෙල්ලම් බඩුවක්වී නැත්තේද? ආණ්ඩුවේ රෝහලෙන් බෙහෙත් ලියාගෙන ‘ෆාමසියෙන්’ බෙහෙත් මිලට ගැනීමට ජනතාවට සිදුවී නැද්ද? ඉහළ පන්නයේ රෝහල් ‘ධනවතුන්ට’ සීමාවී ඇතැයි නොදන්නේ කවුද? අපේ ‘සෞඛ්‍ය’ සේවාව ගැන අපට සතුටු විය හැකිද?

ඔබද මදක් අධීක්ෂණය කළ ‘මහින්ද චින්තනයේ’ මතට තිත ගැන ඔබට සතුටුද? ඉබාගතේ සිටි ජාවාරම්කාරයන් හොර අරක්කු, ස්ප‍්‍රීත්තු ගෙනැවිත් රටපුරා මත්පැන්හල් ඇතිකර කෝටි ප‍්‍රකෝටිපතියන් වීම ගැන ඔබට සතුටුද? ආදායම් බදු පවා නොගෙවමින් ‘ජනතාව’ ‘තිතට මත්’ කරන මේ දූෂිත, වංචනිකයන් ජනාධිපතිවරයා හා රාජපක්ෂවරු කීප පොළක්ම දැලේ දාගෙන සුරාවෙන් රට අංක 01ට ගෙනැවිත් ඇති බව ඔබට නොපෙනේද?

පසුගියදා ආසියාවේ ලොකුම මත්කුඩු තොගය ලංකාවේදී අසුවීම ඔබට ගෙනදෙන්නේ සතුටක්ද? ලංකාවේම හොර අරක්කු කාරයාගේ මාකොළ නිවස විවෘත කිරීමටත්, පසුගියදා නාඋලදී හාල්මෝල විවෘත කිරීමටත් ‘අපේ නායකයා’ යෑම ඔබ අනුමත කරනවාද? ඒ ගැන සතුටුද? මේ සමගම පාර්ලිමේන්තුවේ වාඩිවී සිටීම ඔබට ගෙනදෙන්නේ සතුටක්ද?

දැන් හොර රහසේ වක‍්‍රාකාරයෙන් ‘කැසිනෝ ජාවාරම්’ කාරයන්ට රටම විවෘතකර දෙන ආණ්ඩුව ගැන අපට සතුටු විය හැකිද? එදා ‘ජෝසීම්ලාට’ එරෙහි වූ අපට අද ‘පැකර්ලාට’ පක්ෂවිය හැකිද? රටක් සංවර්ධනයවීම කාගේත් සතුටට කාරණයක් වන නමුත් අද කෙරෙන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ගැන හිතට එකඟව ඔබට එකඟවිය හැකිද? සතුටු විය හැකිද?

ජනතාව අද බඩුමිල හා ඈදුණු ප‍්‍රශ්න නිසා ආර්ථික ප‍්‍රශ්නවලට මුහුණපා ‘අසතුටට’ පත්ව ඇති බව ඔබ පිළිනොගන්නේද? ඔබ එදා නවනීදන් පිල්ලේට කීවාක් මෙන් අපට අද කීමට සිදුව ඇත්තේ ‘ඩලස්’ එන්න ජනතාව සතුටෙන්දැයි බලන්න’ කියායි.

ජනතාවට ප‍්‍රායෝගීකව නොදැනෙන සංවර්ධනය කුමක්ද? කාපට් පාරවල්, ගුවන් තොටුපොළ, වරාය, මහා සම්මන්ත‍්‍රණ ශාලා, නෙළුම් පොකුණු, කුළුණු නොව ජනතාවට අවශ්‍ය ආර්ථික සංවර්ධනයයි. දැන් උතුරට කෝටි ගණන් වියදම් කළත් දෙමළ ජනතාව ටී. එන්. ඒ. සමග යන්නේ මන්ද? හමුදා අධිපත්‍යය තවමත් උතුරෙන් ඉවත්වී නැත. පශ්චාත් යුද කාලයෙන් පසු සිදුවූ සිදුවීම් ගැන උතුරේ ජනතාව සිටින්නේ දුකෙනි. මියගිය ප‍්‍රමාණය කොතෙක්ද? වැන්දඹුවන් 80,000 න් පමණය. අත, පය ඇති නැති ජනතාව කොපමණද? මියගිය අයව අතුරුදන් අයට සාධාරණය ඉටුවන්නේ කවදාද? වැනි ප‍්‍රශ්න නිසා උතුරේ වැඩියෙන්ම ‘සතුටුවිය’ නොහැක. වසර 30 ක් පැවැති යුද්ධය අවසන්වීම නිසා කිසියම් ප‍්‍රමාණයකට සතුටුවිය හැකි නමුදු ‘යුද ජයම’ දඩමීමා කරගනිමින් රටම ‘හමුදාකරණයට’ ලක්කිරීම ගැන සතුටු විය හැකිද? අද කොටි ප‍්‍රබලයන්ට විවිධ තනතුරු දී සුරතල් කිරීම සාධාරණද? කොටි ත‍්‍රස්තවාදය මැඩපැවැත්වූවා කියන්නේ ප‍්‍රභාකරන් හා කිහිපදෙනෙකු ඝාතනය කිරීමටද? දැන් ආණ්ඩුව සමග සිටින ‘කොටි සමග’ යන ගමන ගැන සතුටුවිය හැකිද? වයස මාස 05 සිට අවුරුදු 95 ආච්චි දක්වා දූෂණය කෙරෙන බාල අපචාර වැඩි රටක ජීවත්වීම සතුටට හේතුවක්ද? දිනපතා රටේ සිදුවන ‘ඝාතන’ සංඛ්‍යාව ගැන සතුටුවිය හැක්කේ කාටද? රටේ ඉඩම් හා සම්පත් ‘විකුණන්නේ නෑ’ කියමින් විදේශ ආයෝජකයන්ට නොදෙන්නේද? ‘මතට තිත’ කියා මේ වසරට බාර් ලයිසන් 55 ක් දී නැත්ද? ප‍්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා වූ මහජන නියෝජිතයන්ගේ ක‍්‍රියාකලාපය රටේ ජනතාවට සතුටට හේතුවක්ද? ‘කෝප්’ වාර්තාවට අනුවත් අපට පියවි ඇසට පෙනෙන ආකාරයටත් එජාපයේ හොර රැලක් දමාගෙන රාජ්‍ය ආයතන, සංස්ථා, දෙපාර්තමේන්තු විනාශ නොකරන්නේද? රාජ්‍ය මාධ්‍ය ආයතනවලට දා ඇත්තේ ‘මහින්ද රාජපක්ෂ’ රජ කරවීමට දායක වූ අයද? යූ. ඇන්. පියේ හොරුන්ද?

පසුගියදා තමන්ට 18 වෙනි සංශෝධනය අනුමතකර දුන් අගවිනිසුරුට එරෙහිව ‘දෝෂාභියෝගය’ ගෙනා ආකාරය සාධාරණද? රැයකින් නඩු වාර්තා පිටපත් 1,200 ක් තරම් ලියා දුන් තීන්දුව යුක්ති සහගතද? හිටපු හමුදාපතිවරයා ඇස්, මස්, ලේ දන්දී ජීවිත පරිත්‍යාගයෙන් දිනාදුන් යුද්ධය වෙනුවෙන් විශ‍්‍රාම වැටුපවත් නොදී තිරිසන් ආකාරයට සැලකීම සතුටට හේතුවක්ද? උදේට කෑවොත් දවල්ට කන්නේ කෙසේදැයි ජනතාවට කල්පනා කිරීමට සිදුවී නැත්ද?

අද රාජපක්ෂ පරම්පරාවේ සිට සියලූම දේශපාලනඥයන් පාහේ ක‍්‍රියාත්මක කරන ‘ඥාති සංග‍්‍රහය’ සාධාරණද? කොමිස්, අල්ලස්, දූෂණ රට දිනෙන් දින ගිලගන්නේ අපට සතුටුවිය හැකි ආකාරයටද? ලොකුවට පම්පෝරි ගසන ‘රැකියාදීම’ ගැන බලනවිට අද රැකියා ලැබූ අය සිටින්නේ සතුටෙන්ද? ආර්ථික උද්ධමනයේ හැටියට සියලූම සේවකයන්ට ලැබෙන ‘වැටුප’ ප‍්‍රමාණවත්ද? පී. බී. ලා හා කබ්රාල්ලා කියන ආකාරයේ සංවර්ධනයක් තිබේද? එසේනම් ඒ ජනතාව නොදැනෙන්නේ මන්ද? විදේශ රැකියාවලට යන ශ‍්‍රමික පිරිසට සාධාරණය ඉටුවේද? අද ආර්ථික අහේනිය නිසාම ‘ගණිකා වෘත්තියට’ අදෘෂ්‍යමානව කොතෙක් පෙලඹී සිටීද?

උප්පැන්න පිටපතේ සිට මරණ සහතිකය දක්වාත් වැලිකැටයේ සිට සියලු භාණ්ඩ දක්වාත් සිය ගුණයෙන් මිල ඉහළ ගොස් තිබියදී ජනතාවට කුමන සතුටක්ද?

ඩලස් ඇමැතිතුමනි, වදාගත් දරුවන් ඇළදොළට දමන්නේ සතුටටද? වී හා අනෙක් නිපැයුම් අලෙවි කරගත නොහැකිව මිනිසුන් පාරට බහින්නේත් සතුටටද?

එදා 2005 දී ජනාධිපතිවරයා පත්වූ පසු අරලියගහ මන්දිරියේ වීදුරු කුට්ටියකට වී සිටි ඔබ ඡන්දයක් හෝ නොඉල්ලා අමාත්‍යධුරයක් හා තව තවත් වරප‍්‍රසාද ලැබ ‘ආණ්ඩුවේ මඟ පෙන්වන දාර්ශනිකයෙකු’ වී සිටීම ගැන ඔබ නම් සතුටට පත්වී සිටිනවා ඇත. ප‍්‍රදීපාටත් සතුටුවිය හැක. අද කෝටිපතියන් වී සිටින එදා පාපැදියක් නොතිබූ දේශපාලනඥයන්ටද සතුටුවීමට හේතු එමට ඇත. යූ. ඇන්. පියේ සිට හොඳම හොරුන්ට වංචනිකයන්ට ස්ත‍්‍රී දූෂකයන්ටද සතුටුවීමට කරුණු එමටය.

පසුගියදා අමාත්‍ය රාජිත ප‍්‍රකාශ කළේ රටේ ජනතාව ආර්ථික ප‍්‍රශ්නවලින් හෙම්බත්වී ඇති බවය. රටේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ බොහෝ ඇමැතිවරුන්ටද අද ප‍්‍රශ්නයකි. අද විවිධ ජනතා ප‍්‍රශ්න විසඳීමට ආණ්ඩුව සමත් නොවීම නිසා දිනෙන් දින මහ මඟ අවුරා උද්ඝෝෂණවල නියැලෙති. ඒ ඔවුන් සතුටෙන් සිටින නිසා නොවේ. එදා ‘‘අප පාදයාත‍්‍රා, ජනඝෝෂා, බියෙන් අත්මිදෙමු’’ වැනි ජනතා ව්‍යාපාරවල නියැලුනේ එකල පැවැති තත්වයන්ට අනුකූලවය. අද සිදුවන දේවල්වල හැටියට කළ යුතු විරෝධතා මොන මට්ටමේ දැයි අපට නොහැගේ. හෙට දවසේ උතුරේ – දකුණේ ‘‘සොයා දියව් මට සරණක්’’ වැනි (එදා ප‍්‍රදීපා ගැයූ) නිර්මාණද බිහිවනු ඇත. ඔබම වරක් ප‍්‍රකාශකළ පරිදි තරුණ විප්ලව දෙකකට මුහුණදුන් අපේ රටේ අද තරුණ ප‍්‍රශ්න දෙස බලන ආකාරයට තවත් නැගිටීමක් අත ළඟය. ඔබට ඒ නොපෙනේද? ඩලස් මහතාණෙනි. ඔබද සත්‍ය දනී. යුක්තිය කුමක්දැයි පෙනේ. පවුලක් වටා ඒකාධිපති පාලනයක් ගොඩනැගෙන සැටිද නොපෙනෙනවා නොවේ. එහෙත් සැබෑලෙස ඊට විරුද්ධවී යළි රට යාමටද නොහැක. කට වරද්දාගෙන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමටද යානොහැක. අප සත්‍ය වශයෙන්ම සිටිය යුත්තේ 156 තැනටත් වඩා පහළිනි. කොටින්ම ශ‍්‍රී. ල. නි. ප.යේ වරප‍්‍රසාද අහිමිවූ මන්ත‍්‍රීවරු හෝ ‘සතුටින්’ සිටින්නේ දැයි සොයාබලන්න. එහෙන් දීර්ඝකාලයක් එ. ජා. පයෙන් බැටකා මේ ආණ්ඩුව ගෙන ඒමට දහදුක්විඳි මිනිසුන්ටත්, බලාපොරොත්තු ගොන්නක් තබාගෙන ආණ්ඩුවට ඡන්දය දුන් අයටත්, ඇති ‘සතුට’ කුමක්ද? එදා යොවුන් පාර්ලිමේන්තුව ඇමතීමට නවනීදන් පිල්ලේ කැඳවාගෙන යාම ගැන අපද සතුටුවන මුත්, එදා ඔබ ගිය මගෙන් ඈත්වී සෙමින් තමාගේ අනන්‍යතාව වෙනුවෙන් තමා වෙනුවෙන්ම මංපෙත් විවරකර ගැනීම ගැන කනගාටුවෙමු.

අද රටට අත්වී ඇති සැබෑ තත්වය ඔබ දනී. ජනතාව විඳින දුක, වේදනාව ඔබ දනී. ජාත්‍යන්තරයේ අප සිටින සැබෑ ඉසව්ව ඔබ දනී. ආණ්ඩුවේ ‘‘අසමත් බව’’ මෙන්ම නොහැකියාවද ඔබ දනී. එසේ නම් ඔබ මේ ‘සතුටුවන්නේ’ කා වෙනුනේද? අපට ‘සතුට’ ඇතැයි ඔබ නිගමනය කරන්නේ කෙසේද?

එහෙයින් ඩලස් ඇමැතිතුමණි. නායකයන්ගේ සිත් පහන් කිරීමට චාටුකතා නොකියා ඔබ වැටී ඇති ‘නරාවළෙන්’ ගොඩවිත් රටේ ජානතාව ඉන්නේ ‘සතුටෙන්’ දැයි බලනලෙස ඉල්ලා සිටීමට කැමැත්තෙමි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...