වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ බිරිඳ වන ජයවන්ති ජයසේකර කලා පවුලක සාමාජිකාවකි. ප‍්‍රකට කලා ගුරු පණීභාරතගේ දියණිය වන ජයවන්තිට අප මෙම පිළිසඳරට ආරාධනා කළේ මහ ඇමැති දයාසිරිගේ දේශපාලන හා පෞද්ගලික ජීවිතය ගැන කතා කරන්නටය. දයාසිරි ජයසේකර මහතාගේ ඉකුත් දේශපාලන ව්‍යාපාරයේ නිහඬ මෙන්ම ප‍්‍රබල භූමිකාවක නිරත වූ ජයවන්ති සමග කළ සාකච්ඡාවයි මේ.
ප‍්‍රශ්නය – කොහොමද අපි සාකච්ඡාව පටන් ගන්නෙ. ළමා කාලයෙන් පටන් ගමුද?
පිළිතුර – මම පාසල් තුනක ඉගෙනුම ලැබුවා. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක, දේවි බාලිකා හා විශාඛා යන විද්‍යාලවල. විශාඛා විද්‍යාලයෙ වැඩි කාලයක් ඉගෙන ගත්තා. අක්කයි – මමයි පවුලෙ ඉන්නෙ. චන්න විජේවර්ධන මහතා විවාහ වී සිටින්නේ මගේ අක්කා උපුලි සමගයි. ඔවුන් හැමෝම දන්න අය. අපේ ගෙදර කලාගාරයක්. මම කලාවට සම්බන්ධ පවුලක කෙනෙක්. මගේ තාත්තා පණීභාරත මහතා නොදන්න කෙනෙක් නැහැ. අක්කයි මමයි දෙන්නම තාත්තගෙ ආරයට ගියා. දැන් නම් මේ ගෙදර හරිම පාළුයි. ඒත් අපි පුංචි කාලයෙ මේ නිවස පිරිලා, තාත්තගෙ ගෝලයන්ගෙන් නිතරම නිවස පිරිල තිබුණා. හරිම සුන්දරයි. බෙර ගහන, නටන පිරිසක් මැද තමයි අප දෙන්නා හැදුනෙ වැඩුනෙ
ප‍්‍රශ්නය – නැටුම් ඉගෙන ගත්තෙ තාත්තගෙන් ද?
පිළිතුර – නැන්දා චිත‍්‍රා අල්ගම, ඇයත් නැටුම් පුරුදු කළා. අපිට හුඟක් ලැබුණේ ආභාෂය. දැකල පුරුද්ද, තාත්ත නැටුම් උගන්වන හැටි අපි දිනපතාම දැක්කා. අනික තාත්ත නිසා ප‍්‍රභූවරු අපේ නිවසට නිතරම ආවා. කලාවට අමතරව ගරු කළ යුතු අයට ගරු කරන හැටි, සමාජයේ ඉන්න ඕනෑ ක‍්‍රමය, පිදිය යුත්තන්ට පිදිය යුතු ආකාරය කුඩා කාලෙ ඉඳලම අක්කයි, මමයි හැදුනෙ ඒ වගේ පරිසරයක. එක්තරා විදියකට අපේ නිවස ආශ‍්‍රමයක්. හැම තරාතිරමකම අය තාත්තට ගරු කළා. ඒ ගරුත්වය අපටත් හිමි වුණා.
ප‍්‍රශ්නය – තාත්තගෙ නැටුම් කණ්ඩායමටත් සහභාගි වුණාද?
පිළිතුර – අපි දෙන්නත් ටිකක් ලොකු වුණාම, තාත්තගෙ නැටුම් සංදර්ශන බලන්න එක්ක ගියා. පස්සේ අපි දෙන්නත් තාත්තගෙ නැටුම් කණ්ඩායමට එකතු වුණා.
ප‍්‍රශ්නය – ඉගෙන ගත්තෙත් කලාවට අදාළව ද?
පිළිතුර – තාත්තගෙන් උඩරට නැටුම් ඉගෙන ගත්තා. චිත‍්‍රා අල්ගම නැන්දාගෙන් මනිපුර නැටුම් ඉගෙන ගත්තා. මටත් වැඩිය අක්ක ඒ ක්‍ෂේත‍්‍රයේ ඉහළට ගියා. මම ඒ අතරතුර රැකියා කළා. සංචාරක මණ්ඩලයේ හා තේ මණ්ඩලයේ රැකියා කළා. ඒ අතරතුර නැටුම් කළා. ඒ අතර උපාධිය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා. උපාධිය කරන අතර ඉන්දියාවෙ ශාන්ති නිකේතනයට ඇතුළු වුණා. එහිදී මනිපුර නර්තනය හදාරා උපාධිය ලබා ගත්තා. ආපසු ඇවිත් සංචාරක මණ්ඩලයට ඇතුළු වී රැකියාවක් කළා. හිටපු ඇමැති ධර්මසිරි සේනානායක මහත්තය සංචාරක මණ්ඩලය යටතේ සංස්කෘතික මධ්‍යස්ථානයක් පිහිටුවීමට අදහස් කර තිබුණා. ඒ අදහසට අනුව මා සංචාරක මණ්ඩලයේ රැකියාව කළත් ඒ අරමුණ ඉටුවුණේ නැහැ. මට දයාසිරි මුණගැහුනෙත් එහේදි. මගේ අක්කා ලංකාවේ විශ්වවිද්‍යාලයකින් උපාධිය ගත්තා. මම ඉන්දියාවට ගියා.
ප‍්‍රශ්නය – ඔබට දයාසිරි ජයසේකර මුණ ගැසුණු ආකාරය අපට කියන්නකො?
පිළිතුර – කොළඹ විශ්වවිද්‍යාලයෙ දයාසිරි උපාධිය හැදෑරුවා. මගේ අක්ක ඒ විශ්වවිද්‍යාලයේ නැටුම් සංදර්ශනයක් කළා. ඒ සංදර්ශනයේ දී දයාසිරි සින්දු කියල තියෙනවා. ඔහු ඉතාම ලස්සනට ගායනා කරල තියෙනවා. ඒ නිසා අපේ අක්කා ඔහුට කතා කරල තියෙනවා අපේ සංගීත වැඩවලට එක් වෙන්න කියලා. ටික දවසක් ඔහු ආවා. ඒ වන විට විටින් විට අප හමුවෙලත් තිබුණා. ඔහුත් කලාවට ලැදි කෙනෙක් නිසා, විශේෂයක් වූයේ නැහැ. මම ඉන්දියාවට ගිහිල්ල උපාධිය කරල ඇවිත් සංචාරක මණ්ඩලයෙ සේවය කරන කොට, දයාසිරි ජී.එල්. පීරිස් මහත්තයගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ලෙස සේවය කරමින් සිටියා. ඇමැතිවරයගෙ ප‍්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වුණෙත් අපේ කාර්යාල ශ‍්‍රවණාගාරයේ. ප‍්‍රවෘත්ති සාකච්ඡාවලට සහභාගි වීමට ඇමැතිවරයාත් එක්ක දයාසිරිත් එනවා. අවුරුදු ගාණකට පස්සේ අපි දෙන්න නැවත මුණ ගැහුණා. ඒක තමයි හමුවීම.
ප‍්‍රශ්නය – ඔබ දෙදෙනාගෙ සම්බන්ධය ඇති වුණේ?
පිළිතුර – ඔහු මට වැඩිය අක්ක තමයි අඳුරන්නෙ. අක්ක තමයි මට ඔහු ගැන කිව්වෙ. ‘‘කලාවට ලැදි කෙනෙක්. බොහොම හොඳ ගුණ යහපත් කෙනෙක්. ඔයාට හොඳ මේ වගේ කෙනෙක්’’ කියල අක්ක කිව්වා. තාත්තත් බොහොම පැහැදීමකින් හිටියෙ. අපි බොහොම හිතවතුන් වී සිටියා. ඔහු මට කැමැතියි කියල යෝජනා කළා. ඒ යෝජනාව කළෙත් සංචාරක මණ්ඩලයෙදි. ඔහුට විරුද්ධවෙන්න හේතුවක් තිබුණෙත් නැහැ.
ප‍්‍රශ්නය – දයාසිරිගෙ පවුලෙ අය ඔබට කැමැති වුණාද?
පිළිතුර – ඔව්. අපට දෙපාර්ශ්වයෙම ආශිර්වාදය හොඳට ලැබුණා. කිසිම විරෝධයක් කාගෙන්වත් තිබුණේ නැහැ. අපේ විවාහය සිදු කෙරුණේ ගාලූ මුවදොර හෝටලයෙ. ඒක අමුතුම ආකාරයෙ මංගල උත්සවයක් වුණා. බොහොම ලස්සනට සිංහල විදියට කළා. ප‍්‍රභූවරු, කලාකරුවො, දේශපාලනඥයො සහභාගි වුණා. නැටුම් – ගැයුම් තිබුණා. හැමෝම මංගල උත්සවය රසවින්දා. ඒත් බොහොම චාම් උත්සවයක්.
ප‍්‍රශ්නය – දයාසිරි සින්දු කියන එකට ඔබ කැමතිද?
පිළිතුර – එයාගෙ පවුලම සින්දු කියනවා. ඒ පවුලෙ දයාසිරි 7 වැනියා. බාලයා නිසා පවුලෙ හැමෝම එයාට පුදුම ආදරයක් දක්වනවා. අදටත් එහෙමයි. එයා අද ඊයෙ සින්දු කිව්වා නොවෙයි. ඉගෙන ගන්න කාලෙ ඉඳලම සින්දු කිව්වා. ඒක එයාට පිහිටපු දෙයක්.
ප‍්‍රශ්නය – මෙගා ස්ටාර් ගැන මොකද හිතන්නෙ?
පිළිතුර – මම නම් හිතන්නෙ එයා පැරදුණේ නැහැ. දිනුව කියලයි මම හිතන්නෙ. එදා මුළු ලංකාවම ඇඬුවා කියල කියන්න පුළුවන්. මගේ ජීවිතයේ ලොකු දුකක් දැනුණා. මම දයාසිරිගෙ දක්ෂකම දන්නවා. සමහර දාට පුරුදු වෙන්නෙත් නැහැ. කුරුණෑගලින් ඇවිත් ෂූට් එක කරල එනතුරු මම දන්නෙ නැති අවස්ථාත් තිබුණා. දයාසිරිට නම් පොඩි කලකිරීමක් ඇති වෙන්න ඇති. නමුත් වටේ හිටපු අය නිසා එයාට එහෙම කලකිරීමක් ආවෙ නැහැ.
ප‍්‍රශ්නය – ඔහු සංගීතය හදාරල තියෙනවද?
පිළිතුර – පාසල් යන කාලෙ සංගීතය හදාරල තිබුණා. ඒ හැර දිගට හැදෑරුවෙ නැහැ. අයියා කිත්සිරි තමයි, දිගට සංගීතය හැදෑරුවෙ. නමුත් දයාසිරි දිගට සංගීතය හැදෑරුවෙ නැහැ. දේශපාලනයේ මිහිරි අත්දැකීම් නැහැනේ. බොහෝ කටුක අවස්ථාවලට දේශපාලනයෙදි මුහුණ දුන්නත්, ඒවා ගෙදරට ගෙනැල්ලා දරුවන්ගෙ සතුට නැති කළේ නැහැ. ප‍්‍රශ්න ආවත් ගෙදරදි සින්දුවක් කියල, විහිළු තහළු කරල සැහැල්ලූවෙන් ගෙදර ගත කළා. සැහැල්ලූවෙන් ගෙදර හිටියා. ගෙදරට දේශපාලනය නැහැ. අපි බොහොම සමගියෙන් ජීවත්වෙන හතර දෙනෙක්.
ප‍්‍රශ්නය – ඔහුගෙ ගෙදර ජීවිතය කොහොමද?
පිළිතුර – බොහොම සැහැල්ලූයි. ගෙදරදි ඔහු පියෙක්. දේශපාලනය අපේ ගේ ඇතුළෙ නැහැ. ඔහු උපරිමව යුතුකම් ඉටු කරනවා. දරුවන්ට හරිම ආදරෙයි. යහපත් පියෙක්. අධ්‍යාපනය පළමු දේ කියල තමයි දරුවන්ට කියන්නෙ. තාත්තා මන්ත‍්‍රී වුණා කියලා හිතන්න එපා කියලා හැමවෙලේම දරුවන්ට කියනවා. එයා මට කියන්නේ පළමු තැන දරුවන්ට කියලයි. පුළුවන් නම් විතරක් එයාට සහාය දෙන්න කියලයි කියන්නෙ. සාමාන්‍යයෙන් කලා ජීවිත බොහොම සන්සුන්. ජීවිතයේ බොහොම ප‍්‍රශ්න මග හරවන්න, ජීවිතයට සතුට, සැනසුම ලබාගන්න කලාවෙන් පුළුවන්. දයාසිරිත් – මමත් කලා පවුලක්. අපි බොහොම සංවේදී පුද්ගලයො. ඒ සංවේදීකම ඉවසීම, එඩිතරකම, දක්ෂකම ඒ හැම දෙයක්ම වගේ සැමියාට තියෙනවා. අපි සතුටෙන් ඉන්නත් ඒ සංවේදී බව හේතුවක්. අපි එකිනෙකා යටපත් කරගන්නෙ නැහැ.
ප‍්‍රශ්නය – සැමියකු වශයෙන් ඔහු කොහොමද ජීවත්වන්නේ?
පිළිතුර – ඔහු බොහොම නිහතමානියි. දැන් වගේමයි. වෙනසක් වූයේ නැහැ. ඒ වගේම හරිම ප‍්‍රියජනකයි. කලාවට ගෞරව කරනවා. ජනතාව අතර හිටියෙ. අපේ තාත්තාටත්, අක්කටත් දයාසිරි බොහොම තදින් අල්ලල තිබුණේ.
ප‍්‍රශ්නය – විවාහයට දයාසිරිගෙ පාර්ශ්වයෙන් විරෝධයක් තිබුණද?
පිළිතුර – ඔහුගේ මව ගුරුවරියක්. එකම අක්කයි. දයාසිරි මම ගැන එයාගෙ අම්මට කියල තියෙනවා. අම්ම කියල තියෙන්නෙ, ‘‘ඔයා කැමති නම් අපිත් කැමතියි කියලයි. මාව දැන හඳුනගත්තට පස්සෙ ඔවුන් එක හිතින්ම අපට ආශිර්වාද කළා. ඒ පවුලත් හොඳ පරිසරයක හිටි පවුලක්. ඒ පවුලම කලාවට ලැදියි. හොඳ සිංහල බෞද්ධ පවුලක්. පවුලටම සින්දු කියන්න පුළුවන්. අපේ පවුල් පසුබිමත් ගැළපුනා.
ප‍්‍රශ්නය – ඔබ විවාහයට පෙර දයාසිරි කොපමණ කාලයක් ඇසුරු කළාද?
පිළිතුර – අපි අවුරුදු දෙකක් ඇසුරු කළා. අපේ අදහස් ගැළපෙන බව තේරුම් ගත්තා.
ප‍්‍රශ්නය – විවාහයෙන් පසු පදිංචි වූයේ කොහේද?
පිළිතුර – අපේ ගෙදරම නතර වුණා. දයාසිරිගෙ දේශපාලන ජීවිතයත් එක්ක සති අන්තයේ කුරුණෑගල යන්න වුණා. අපි මෙහේ නැවතුණා. දේශපාලනය නිසා ඔහුට නිතරම අපි එක්ක ඉන්න අමාරුයි. දරුවන් දෙන්නා ලැබුනට පස්සෙ මට දයාසිරි තරම් නිරතුරුවම කුරුණෑගල යන්න බැරි වුණා. මට මගේ අම්මයි, නැන්දයි දෙන්නම මෙහේ ඉන්නවා. දයාසිරි ට ගෙදර කටයුතුවලට නිරන්තරයෙන්ම සම්බන්ධ වෙන්න අසීරු වුණා. මමයි දරුවො දෙන්නයි මගේ ගෙදර ඉන්න එක ආරක්‍ෂිතයි කියල එයාට හිතෙන්න ඇති.
ප‍්‍රශ්නය – ඔබ සමග විවාහ වන විටත් දයාසිරි දේශපාලනයට පිවිසිල හිටියද?
පිළිතුර – විවාහ වන විටත් ඔහු දේශපාලන කටයුතුවල හිටියා. ප‍්‍රාදේශීය සභාවේ. නමුත් මට දේශපාලනය ගැන ඒ තරම් හැඟීමක් තිබුණේ නැහැ. මම ආදරය කළේ ඒ පුද්ගලයටයි. ඔහුගේ දේශපාලන ජීවිතයට හෝ ප‍්‍රසිද්ධියට නොවෙයි.
ප‍්‍රශ්නය – දයාසිරි දේශපාලනය කරනවට ඔබේ විරෝධයක් තිබුණේ නැද්ද?
පිළිතුර – ඇත්තටම මට දේශපාලනය ගැන හැඟීමක් නැහැ. මට තේරුණෙත් නැහැ. ඒ දවස්වල ලොකුවට උදව් කළෙත් නැහැ. එයා දේශපාලන වැඩ කරගෙන ගියා. දරුවො දෙන්න නිසා මට ඉඩකඩක් තිබුණෙත් නැහැ. ඡන්දය කාලෙට දරුවො දෙන්නත් එක්ක ගිහිල්ල කුරණෑගල එයාලගෙ ගමේ ගෙදර හිටියා. ඒත් මම රැස්වීම්වලට එහෙම ගියේ නැහැ. මට ඒකෙ පුරුද්දක් තිබුණෙත් නැහැ. වේදිකාවලට නගින්න කියල එයා කිව්වෙත් නැහැ. දේශපාලනය ගැන මට අවබෝධයක් නැති බව එයා දැනගෙන හිටියා.
ප‍්‍රශ්නය – ඔබට දේශපාලනය ගැන හැඟීමක් නොවූ නිසා, ඔහුත් දේශපාලනයෙන් ඉවත් කර ගන්න හිතුවෙ නැද්ද?
පිළිතුර – මම දේශපාලනයට අකමැති වෙලා හිටිය කියල ගොඩක් අය කියල තිබුණා. ඇත්තටම අකමැති නෙමෙයි. ඇත්තටම මට හිතුණේ අපි හැමදාම පවුලක් වශයෙන් ඉන්නයි. ඒක හැම කාන්තාවකගෙම බලාපොරොත්තුව. මටත් එහෙමයි. ඒත් දේශපාලනය දයාසිරිගෙ ජීවිතය. එයා ජනතාවට ආදරෙයි. ඔහු දේශපාලන ගමනක් යන්න බලාපොරොත්තුව හිටියා. ඒ හැඟීම් මම තේරුම් ගත්තා. ඒකට තවත් හේතුවක් තිබුණා. මගේ කලා කටයුතු නතර කරන්න කියල කිසිම දවසක මට කියල නැහැ. ඔහු මාව දිරිමත් කළා. මම ඒකට අදටත් ගරු කරනවා. මට ඔහු හම්බ වෙන්න තියෙන කාලය අඩුවෙන එකට මගේ අකමැත්තක් තිබුණා. කාර්යාලයක වැඩ කරනවා වගේ උදේට එකට යන්න, හවසට ගෙදර එන්න ඒ වගේ ජීවිතයක් අපට නැහැ. ඒත් මම ඒ වගේ ජීවිතයකට ආසයි. ඒක මගේ ගැහැණුකම.
ප‍්‍රශ්නය – දේශපාලනයත් එක්ක ඔහු පවුලෙන් ඈත් වෙන බවද ඔබ මේ කියන්නෙ?
පිළිතුර – නැහැ. එයා දරුවන්ට පුදුමාකාරව ආදරෙයි. නිවාඩු කාලයට දරුවො දෙන්නයි මායි සංචාරයේ එක්ක යනවා. දරුවන්ට නිතර කතා කරනවා. දුක සැප හොයනවා. මොන ප‍්‍රශ්න තිබුණත් ඒක නම් අමතක කළේ නැහැ. මට ඔහුගේ දේශපාලන ජීවිතය පුරුදු වුණා. දේශපාලනයෙන් ඔහු ටික ටික උඩට ආවා. දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කළා. ගමේ ගියාම මට ඒ තත්ත්වය හොඳට තේරුණා.
ප‍්‍රශ්නය – මෙවර ඔබ ඔහුට කිසිම සහයක් දුන්නෙත් නැද්ද?
පිළිතුර – රැස්වීම්වලට නොගියට බොහොම නිහඬව පළාතේ කලා පවුල් හමුවුණා. ඔවුන් එක්ක කතාබහ කළා. මුළු පළාතෙම ඒ වගේ ඇවිද්දා. දැන් දරුවො ටිකක් ලොකු නිසා, මට පහසුවෙන් නිහඬව ඔහුගේ ඡුන්ද ව්‍යාපාරවලට සහභාගි වෙන්න පුළුවන් වුණා. මිනිස්සු අතරට ගියාම තමයි ජනතාව කොයිතරම් දයාසිරිට ආදරේද කියන එක තේරුම් ගියේ. පාසල් නිවාඩුව නිසා මට හොඳට ඡන්ද ව්‍යාපාරයේ යෙදී සිටින්න පුළුවන් වුණා. පළාතේ හැම ගමකම පාහේ මම ඇවිද්දා. ඒ වාගේ කලා පවුල් හමු වුණා. ඔවුන්ටත් හරිම සතුටුයි.
ප‍්‍රශ්නය – ඔබ ඡන්ද ව්‍යාපාරයෙ හිටිය කියල මේ ඇහුවමයි?
පිළිතුර – මම පළාතේ කලා පවුල් හමු වුණා. කාන්තාවො හමු වුණා. ඉතාම දුෂ්කරම ප‍්‍රදේශවලට මම ගියා. මගේ තාත්තාට ගරු කරන්න මිනිස්සු හිටියා. මම බොහොම සාමාන්‍ය විදියට ගියේ. මිනිස්සුන්ගෙන් තේ කෝප්පයක් බීල, ගේ ඇතුළට ගිහිල්ල කතාබහ කළාම, ඒ අය පුදුම විදියට සතුටු වුණා. ඒ දුෂ්කර ගම්මානවල මිනිස්සු පුදුමාකාර සෙනෙහසක් දැක්වූවා. මටත් පුදුමාකාර සතුටක්. හරිම ලෙන්ගතුයි.
ප‍්‍රශ්නය – දයාසිරිගෙ පවුලෙ අය ඡන්දයට උදව් කළාද?
පිළිතුර – අපොයි ඔව්. පුදුමාකාර විදියට උදව් කළා. දයාසිරිගෙ අක්ක මට මගේම අක්ක වගේ. තවත් පැත්තකට මට මව් කෙනෙක් වගෙයි. එයාගෙ අයියල දෙන්නෙක් රට. අනිත් හැමෝම නිහඬව උදව් කළා. මම ගම්වලට ගියේ දයාසිරිගෙ අක්කත් එක්ක, දිවාභ? නැතුව අපි ගම්වලට ගියා. එයාගෙ අක්ක මට පුදුමාකාර ශක්තියක් වුණා. අනික ඒගොල්ලන්ගෙ පවුල පුදුමාකාර බැඳීමක් තියෙන පවුලක්. ගමේ පවුල් එක්ක ඉන්න පවුලක්. ඒක දයාසිරිට ආශිර්වාදයක් වුණා.
ප‍්‍රශ්නය – ඔබේ සොයුරිය උපුලි හා මස්සිනා චන්න, දයාසිරිගෙ ඡන්ද වැඩවලට උදව් කළාද?
පිළිතුර – ඒ දෙන්නා හා ඔහුගේ පන්තිවල ළමයි අපට හරියට උදව් කළා. දේශපාලනය කතා කළේ නැහැ. කලාව ඉදිරියට ගෙනයන හැටි කතා කළා. පළාතේ කලායතනවලට ගියා.
ප‍්‍රශ්නය – පළාතේ කලා කටයුතු දියුණු කිරීමට කිසියම් වැඩපිළිවෙළක් සැලසුම් කළාද?
පිළිතුර – ඔව්. චන්න – උපුලි දෙන්නගෙ ප‍්‍රධානත්වයෙන් වැඩමුළු තියන්න සැලසුම් කළා. සති අන්තයෙ කුරුණෑගල ගිහිල්ල සම්ප‍්‍රදායික කලාවට දියුණුවක් දෙන්න සැලසුම් කළා. සාම්ප‍්‍රදායික කලාව ආරක්ෂා කරන්න අපි කිසියම් දෙයක් කරන්න තීරණය කළා.
ප‍්‍රශ්නය – ඔබ මුදල් අය කරල වැඩමුළු තියනවද?
පිළිතුර – නැහැ. නොමිලේ පවත්වන්නේ.
ප‍්‍රශ්නය – ඔබ දයාසිරි මහ ඇමතිවරයගෙ පුද්ගලික ලේකම් වේවි කියා මට හිතෙනවා?
පිළිතුර – අපොයි නැහැ. මම දේශපාලන තනතුරුවලට යන්නෙ නැහැ. මේ ඉන්න විදිය හොඳටම ඇති. ඒවට සුදුසු අය පත්කර ගනීවි. නමුත් දයාසිරිගෙ දේශපාලන ජීවිතයට උදව්වක් හැටියට වයඹ පළාතේ සාම්ප‍්‍රදායික කලාව වෙනුවෙන් යමක් මගෙන් කෙරේවි
ප‍්‍රශ්නය – ඔබේ සැමියා විටින් විට දේශපාලන පක්ෂය මාරු කළා. ඔබ එයට කැමැති වුණාද?
පිළිතුර – දයාසිරි මුලින්ම හිටියෙ සන්ධානයෙ. මහාචාර්ය පීරිස් මහත්තය එජාපයට ගිය නිසා, ඔහුගේ ලේකම් හැටියට දයාසිරිටත් යන්න වුණා. එයාගෙ මුල මේ පක්ෂය. දයාසිරි දේශපාලනය ගැන ගෙදර කතා කළේ නැහැ. ලොකු තීරණ ගන්න විට පමණක් මට කිව්වා. දේශපාලන වශයෙන් මට දැනුම, අවබෝධය අඩුයි. ඒ නිසා එයාට උපදෙස් දෙන්න, හොඳ නරක පෙන්නන්න මට පුළුවන්කමක් තිබුණේ නැහැ. එයා හොඳ බුද්ධිමත් කෙනෙක්. නිවැරැුදි තීරණ ගන්නා බව මම දන්නවා. හොඳට හිතල බලල තීරණවලට එන්නෙ. මම උපදෙස් දෙන්න අවශ්‍ය නැහැ. හොඳ හෝ නරක මම දකින දේ කිව්වා. නමුත් තීන්දු ගන්න කොට එයාගෙ තීරණයට පළමු තැන දුන්නා.
ප‍්‍රශ්නය – ඔහු රජයට එකතුවන්න ගත්ත තීරණය ඔබ අනුමත කළාද?
පිළිතුර – ඔහු ලොකු කලකිරීමෙන් හිටියා. දයාසිරි නිකම් ඉන්න කැමැති නැහැ. හරිම කාර්යශීලියි. නිදිමැරුව කියල දවල් වෙනකම් නිදාගන්නෙ නැහැ. මොනවහරි වැඩක යෙදිල ඉන්නම තමයි එයාට අවශ්‍ය. අලස නැහැ. මිනිස්සුන්ට සේවයක් කරන්න බැහැ කියලයි හිතුවෙ. ප‍්‍රශ්න විසඳගන්න උත්සාහ කළා. ඒත් කැපිලි කෙටිලි ඉවරයක් නැති ප‍්‍රශ්න. ඒ නිසා අන්තිම මොහොත වනතුරුත් ඉවසාගෙන හිටියා. බැරිම තැන තමයි ගියේ.
ප‍්‍රශ්නය – රජයට යන එක ඔබත් අනුමත කළාද?
පිළිතුර – ඔව්. මමත් අනුමත කළා. මටත් තේරුණා එයා ඉන්නෙ කලකිරීමෙන් කියලා. අනික එයාට රටට වැඩක් කරන්න පුළුවන්. ඒකට අවස්ථාව ලබාගන්න පුළුවන්කම තිබියදී, නිකම්ම එකතැන පල් වෙන එකේ තේරුමක් නැහැ කියල මටත් හිතුණා. කවදා ගොඩ එන්න පුළුවන්ද කියල හිතාගන්නත් බැරි තැනක හිටියෙ. දක්‍ෂකම් තියාගෙන පසුබාලා ඉන්න එකේ තේරුමක් නැහැනේ.
ප‍්‍රශ්නය – ඡන්ද කාලෙ ප‍්‍රශ්න තිබුණද?
පිළිතුර – නැතුවා නොවෙයි. දේශපාලනයේදී ඔහු අවංක වැඩියි. හැමෝම එක්ක විවෘතයි. ඒක එයාගෙ චරිතය. ඒ අවංකකම ආයුධයක් කරගත් අයත් නැතිවා නොවෙයි. හැමෝම විශ්වාස කරනවා.
ප‍්‍රශ්නය – ඔබට බියක් දැනුනෙ නැද්ද?
පිළිතුර – බය හිතුණා. ඒ බය නිසා මම අපි අදහන දෙවියන් – බුදුන් දිනපතාම සිහි කළා. බෝධි පූජා කළා. පිංකම් කළා. එයාගෙ ආරක්‍ෂාවට පිහිට පැතුවා. මුලදි මම හරියට බය වුණා. සමහරු දුරකථනයෙන් තර්ජනය කළා. ටිකෙන් ටික මම ඒවට පුරුදු වුණා. පුද පූජා තියලා නිතරම ඔහුගේ ආරක්‍ෂාව ඉල්ලූවා. මමත්, පවුලෙ අයත් පරිස්සමින් ඉන්න කියල කිව්වට ඔහු කියන්නෙ ‘‘බය වෙන්න එපා. මට හතුරො නැහැ’’ කියලයි. ඔහුගෙ හිත ශක්තිමත්. එයා ඈතක හිටියත් මම නිතර සොයනවා. අපි කාටවත් වරදක් කරල නැහැ. බුද්ධාගමට අනුව ජීවත් වෙනවා. අපි පිරිත් යාත‍්‍රාවක් කළා. ඒක ගමේ තරුණ පිරිසගෙ අදහසක්. කොළඹගම හාමුදුරුවන්ගෙ උපදෙස් ලැබුණා. එයාගෙ පවුලෙ අය, යාළුවො එකතු වෙලා පිරිත් යාත‍්‍රාව ආසන දාහතරෙම කළා. දයාසිරිත් ඒකට කැමති වුණා. බොහොම නිහඬව ඒ පුණ්‍යකර්මය කළා. දයාසිරි වෙනුවෙන් මම මස් මාළු කෑම පවා නතර කළා. එයාට ඒව කරන්න අමාරුයි. මම ඒ වෙනුවෙන් කැප වුණා.
ප‍්‍රශ්නය – එක්සත් ජාතික පක්ෂයෙන් යන බව ඔබට කීවාද?
පිළිතුර – ඔව්. මට කිව්වා. කීප වතාවක් රජයෙන් ඔහුට ආරාධනා තිබුණා. නමුත් ජනතාවට කරන අසාධාරණයක් කියලයි හිතුවෙ. අන්තිම මොහොත වනතුරුම තීරණය කළේ නැහැ. අන්තිම දවසෙ යන්න තීරණය කළා. මමත් හරිම කැමැති වුණා.
ප‍්‍රශ්නය – දේශපාලනය වදයක්ද?
පිළිතුර – දයාසිරි දක්ෂයි. උගත්. දේශපාලනය එයාගෙ ඇෙඟ්ම තියෙනවා. කාන්තාවක් වශයෙන් මමත් කැමතියි සැමිය එක්ක ගමන් බිමන් යන්න. ඒත් මම දයාසිරි නිසා ඒවා කැප කළා. ඔහුගෙ හැකියාව ආසාව වළක්වන එක වැරැදියි කියලයි මට හිතුනෙ.
ප‍්‍රශ්නය – ඔහු මහ ඇමති වුණාම ඔබට මොකද හිතුනේ?
පිළිතුර – විශාල කැප කිරීමක් කරල ඔහු වැඩිම මනාප ගත්තා. පාන්දර 5.00ටත් රැස්වීම්වල කතා කළා. පැයක් නිදා ගත්තෙ නැහැ. අපි කුරුණෑගල හිටියත් සමහරවිට දින ගණනාවක් ඔහු දැක්කෙවත් නැහැ. දැන් තවත් ඔහු අපෙන් ඈත් වේවි. ඒත් ඔහුට ශක්තිය ධෛර්යය දෙනවා. නිදහසේ පළාතට වැඩ කරන්න ඉඩ දෙන්න ඕනෑ. මම ගම්වල ඇවිද්ද නිසා, ජනතාවගෙ ප‍්‍රශ්න මට තේරෙනවා. රටක් ඔහුට ආදරය කරද්දි, මම ඒක උදුරගන්න එක වැරැදියි.
ප‍්‍රශ්නය – ඔබට ඔහු සම්බන්ධයෙන් තිබෙන ගැටළු මොනවාද?
පිළිතුර – එකක් ආරක්ෂාව, දෙවැන්න ඔහුගේ අවංකකම වැරැදියට ගනීවිද කියන එක.
ප‍්‍රශ්නය – ඔබ ඉදිරියට කටයුතු කරන්නෙ කොහොමද? ඔබ මහ ඇමැති බිරිඳ?
පිළිතුර – ඔහු මට කියල තියෙන්නෙ අංක එක දරුවො. වෙලාවක් තියෙනවා නම් මට උදව් කරන්න කියලයි. පන්ති කරගන්න නැටුම් කරන්න කියලයි කිව්වෙ. මම දින 5ම දරුවො නිසා කොළඹ ඉන්න ඕනෑ. සති අන්තයේ කුරුණෑගල ගිහිල්ල කලා වැඩ කරනවා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මම මනිපුරි නර්තනය පිළිබඳ බාහිර කථිකාචාර්යවරියක්. ඊට අමතරව නැටුම් පන්ති කරනවා. ඒවා දිගටම කරනවා. ඉස්සර දයාසිරි කොළඹ හිටියා. දැන් අපේ රටාව වෙනස් වුණා. අපි ඒ වෙනසට හැඩ ගැහෙනවා. ජනතාවට සේවය කිරීමට දයාසිරිට ඇති බලාපොරොත්තුවට මමත් උපරිම සහාය දෙනවා. උපරිම ආශිර්වාදය කරනවා.
– දයාසීලි ලියනගේ / ලංකාදීප පුවත්පතිනි.