ගිය සති අන්තයේ පැවැති පළාත් සභා ඡන්දයේදී මුළු රටේම අවධානය දිනාගත් ජනප්‍රියම චරිතය වූයේ දයාසිරි ජයසේකරය. එජාපය හැර පියා යළිඳු වරක් ශ්‍රීලනිපයට පැමිණ වයඹ පළාත් සභාවට තරග කළ ඔහු ඉන් ජයග්‍රහණය කළේ පළාත් සභා මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාපලාභියා බවට පත්වෙමිනි. නීතිඥයකු, ගායකයකු, නර්තන ශිල්පියකු, මෝස්තර නිරූපණ ශිල්පියකු මෙන්ම නළුවකු ලෙස විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දස්කම් දක්වන දයාසිරි ජයසේකර සිය දිවි ගමනේ විශේෂ මතක සටහන් හෙළි කළේ මෙසේය.
ලක්ෂ තුනකට වැඩි මනාප ගණනක් ලැබේවි කියලා ඔබ හිතුවද?
අපි ගණන් හැදුවේ මනාප දෙලක්ෂ අසූ දහසක් පමණ ලැබේවි කියලා. සෑම ආසනයකින් ලැබෙන මනාප උපකල්පනය කරලා තමයි අප දෙලක්ෂ අසූ දහසේ ඉලක්කයට ගියේ. නමුත් මනාප තුන් ලක්ෂයක් ලැබේවි කියලා නම් හිතුණේ නෑ.
නොසිතූ නොපැතූ මනාප ගණනක් ලැබුණාම මොනවද හිතුණේ?
ලොකු සතුටක් දැනුණා. ශ්‍රී.ල.නි.ප.ය මෙන්ම එජාපයේ සිට මා වෙනුවෙන් සහය දැක්වූ ආදරණීය ජනතාව මා ගැන ලොකු විශ්වාසයක් තබා ඇති බව මේ මනාප ගණනින් පැහැදිලි වෙනවා.
එජාපයේ ඉලක්කය වී තිබුණේ වයඹ ජය ගැනීම නොවේ. මට මඩ ගහලා මනාප ලැයිස්තුවේ තුන්වැනියට පත්කරන්න තමයි ඔවුන්ට ඕනෑ වුණේ. එජාප මන්ත්‍රීවරුන් මගේ අම්මා තාත්තා ගැනත් මඩ ප්‍රහාර එල්ල කළා. ඒ ප්‍රහාර මැද දිනාගත්තු මේ ජයග්‍රහණයට ලොකු වටිනාකමක් තිබෙනවා. විශේෂයෙන් ජනාධිපතිතුමාගේ සංවර්ධන සංග්‍රාමය ගැන විශ්වාසය තැබූ ජනතාව සන්ධානයට ලක්ෂ ගණනින් මෙවර ඡන්දය දුන්නා.
අනූහතේදී ප්‍රාදේශීය සභා ඡන්දයෙන් ඔබ ඉහළම මනාප ලැබූවත් එකල සිටි ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඔබට පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභාපතිධුරය දුන්නේ නෑ. කෙසේ නමුදු ඔබට මෙවර අනූ තුනේ දී ඇය තැබූ මනාප වාර්තාවත් බිඳ දැමීමට හැකි වීම ගැන මොකද හිතන්නේ?
වාර්තා තැබිම ගැන මගේ බලාපොරොත්තුවක් තිබුණේ නෑ.
මේ ඡන්දයෙන් පැහැදිලි වුණේ ජනමතය තියෙන්නේ කාටද කියලා. කුරුණෑගලට වඩා ගම්පහ ඡන්ද දායකයන්ගේ ගණන විශාලයි. අනූතුනේ දී රටේ තිබුණේ ඕනෑම අයෙකු පෙරමුණෙන් දැමුවොත් දිනන පසුබිමක්. නමුත් මේක අමාරු වෙලාවක්. ආණ්ඩුවටත් විවිධ චෝදනා එල්ල වෙමින් තිබුණු වේලාවක්. ඒ නිසා මේ ජයග්‍රහණය ගැන මට සියුම් ආඩම්බරයක් මෙන්ම සතුටක් තිබෙනවා.
අනූහතේ දී ඇයි ඔබට ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය නොලැබුණේ?
එකල අපේ ආසන සංවිධායකවරයා වූයේ මගේ ඥාතියෙකු වන ජයසේන රාජකරුණා මන්ත්‍රීවරයා. මම වැඩිම මනාප දිනාගත් වෙලාවේ සභාපති ධුරය මට හිමි වනවා කියලා ඔහුත් ප්‍රකාශ කළා. නමුත් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් මට එරෙහිව කුමන්ත්‍රණය කරලා සභාපති ධුරය දෙන්න එපා Dayasiri1කීවා. ජනාධිපතිනිය එතැනදී සාධාරණ වුණේ නෑ. ජනමතය නොසලකා හැරලා ඇය මට සභාපති ධුරය දුන්නේ නෑ.
ඔබ එජාපය හැරපියා ආණ්ඩුවට ආවේ වයඹ මහ ඇමති ධුරය ලැබෙන බව නියත වශයෙන්ම දැනහුන් නිසාද?
ඔව්, නමුත් එය ඉතා අවදානම් ගමනක් කියලා මා දැනගෙන සිටියා. නමුත් දේශපාලන තීන්දු ගැනීමේ දී එය හරිහැටි ගත යුතුයි. මම පළාත් සභාවට ඉල්ලුවේ කණ්ඩායම් නායක හැටියට නොවේ. මහ ඇමැති අපේක්ෂකයා මම කියලා කීවේත් නෑ. ඒ නිසා මම පක්ෂය දමලා එළියට ඇවිත් ඡන්දය ඉල්ලුවේ විශාල අවදානමක් දරාගෙනයි.
මම ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරලා තමයි ඡන්දය ඉල්ලුවේ. එතුමා මට යම්කිසි වචනයක් දුන්නා. නමුත් එතුමා මාව මහ ඇමැති කරනවා කියලා මම තැන් තැන්වල කියන්න ගියේ නෑ. මම එතුමාට කීවේ මම ජනමතයෙන් පෙන්වන්නම් ඊට පස්සේ ඔබතුමා තීන්දුව ගන්න කියලා. මගේ පැත්තෙන් මම පොරොන්දුව ඉටු කරලා තියනවා. දැන් තීන්දුව තියෙන්නේ එතුමාගේ අතේ.
කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයට එරෙහිව නීති ශිෂ්‍ය සහයෝගිතා සංවිධානය බිහි කිරීමට පෙරමුණ ගන්නා කාලයේ දේශපාලනයෙන් මේ සා දුර ගමනක් යාවි කියලා ඔබ හිතුවද?
ඒ කාලයේ මම එහෙම දෙයක් ගැන හිතුවේ නෑ. එදා අප සරසවියට ගියේ භීෂණයට මුහුණ දෙමින්. සරසවියේ දේශන ශාලාවල බිත්ති පුරා තිබුණේ ලේ. ප්‍රේමදාස පාලනයට එරෙහිව තමයි අපි ශිෂ්‍ය සංවිධාන බිහි කළේ. අපේ මුල්ම රැස්වීම තිබුණේ හරිගුප්ත රෝහණධීර (මහාචාර්ය මැන්දිස් රෝහණධීරගේ පුත්) නිවසේ. දිලිත් ජයවීර තමයි අපේ ශිෂ්‍ය නායකයා. එදා අපට තිබුණේ ශිෂ්‍ය අයිතිවාසිකම් දිනාගන්න එක විතරයි. එතැනින් පටන් ගත් ගමන මෙවැනි ගමනක් වේවි කියලා නිකමටවත් හිතුණේ නෑ.
ඔබගේ විශ්වවිද්‍යාල ගුරුවරයාත් දේශපාලන ගුරුවරයාත් මහාචාර්ය ජී.එල්. පීරිස්ද?
එතුමා මට නීතිය ඉගැන්වූවා. නමුත් මගේ දේශපාලන ගුරුවරයා කියන හැඳින්වීමට වඩා මම එතුමා හඳුන්වන්නේ මගේ දේශපාලන දිවියට විශාල බලපෑමක් කළ බොහෝ සම්භාවනීය චරිතයක් ලෙසයි. පසුකාලීනව මම ජී.එල්.පීරිස් මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් හා පෞද්ගලික ලේකම්වරයා ලෙස වසර දොළහක් පමණ කටයුතු කළා. ඒ කාලය තුළදී මම දේශපාලන කටයුතු පමණක් නොවේ අමාත්‍යංශයක පාලනය, රාජ්‍ය තාන්ත්‍රික කටයුතු, රාජ්‍ය පරිපාලනය ඇතුළු බොහෝ ක්‍ෂේත්‍ර ඉගෙන ගත්තා. ඒ ලබාගත් දැනුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ කාලයේ මට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වුණා. එතුමාගෙන් ලැබූ දැනුම අද මෙන්ම හෙටත් මට බොහෝ වටිනවා.
මහාචාර්ය ජී.එල්. පීරිස් ද ඔබ දේශපාලනයට හඳුන්වා දුන්නේ?
නෑ එතුමා නොවේ මා දේශපාලනයට ගෙනාවේ. මම අසූව දශකයේ සිටම ශ්‍රී .ල.නි.ප. දේශපාලනය කළා. අසූනවයේ හෙට්ටිපොළ ශ්‍රී.ල.නි.ප. තරුණ ශාඛාවේ සභාපතිවරයා වුණේ මමයි. ඊට හේතු වූයේ අපේ පවුල් පසුබිම. අපේ අම්මාත් තාත්තාත් ශ්‍රී.ල.නි.පයේ ප්‍රබල ආධාරකරුවන්. අම්මා ශ්‍රීලනිපයට කොතරම් සහය දක්වූවාදැයි කිවහොත් හැත්තෑහතේ ඡන්දයෙන් එජාපය බලයට පත් වූ වෙලාවේ ගුරුවරියක ලෙස සේවය කරමින් හුන් ඇය දුෂ්කර ගමක පාසලකට මාරු කළා. මම අනූහතේ දී පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවට ඡන්දය ඉල්ලුවෙත් මේ දේශපාලන පසුබිම නිසයි.
ප්‍රාදේශීය සභාවට ඡන්දය ඉල්ලනකොට ඔබට වයස කීයද?
විසිඅටයි
දැන් වයස?
හතළිස් හතරයි.
උපන් දිනය
එක්දහස් නමසිය හැට නමයේ ජුනි මස දොළොස්වැනිදා.
ඉපදුණේ?
කුලියාපිටිය රෝහලේ.
අම්මාගේ නම?
ඩබ්ලිව්.ඩී.ඒ. සිරියාවතී. ඇය ගුරුවරියක් ලෙස කටයුතු කළා.
පියාගේ නම?
වින්සන් ජයසේකර. ඔහු හෙට්ටිපොළ නගරයේ ව්‍යාපාරිකයෙක්.
පවුලේ සහෝදර සහෝදරියන් ගණන?
මා සමග හත්දෙනයි. මම පවුලේ බඩපිස්සා. මට සහෝදරයන් පස් දෙනකු හා එක් සහෝදරියක සිටිනවා.
ඉස්කෝලේ ගියේ?
ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ හෙට්ටිපොළ කනිටු විදුහලින්. ඊට පස්සේ ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වෙලා මීගමුව හරිස්චන්ද්‍ර මධ්‍ය මහා විදුහලට ගියා. මීගමුවෙන් මම නැවත වරක් නාරම්මල මයුරපාද විදුහලට ආවා.
උසස් අධ්‍යාපනය ලැබුවේ?
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන්. අනූවේදී තමයි මම විශ්වවිද්‍යාලයට ගියේ. නීති උපාධිය සමත්වෙලා නීති විද්‍යාලයට ගිහින් එහි අවසාන විභාගය සමත්වෙලා නීතිඥයකු හැටියට දිවුරුම් දුන්නා.
නීතිඥයන්ට වඩා කුරුණෑගල ප්‍රසිද්ධ වී ඇත්තේ හමුදාවේ සිටින වැඩිම පිරිසකගේ උපන් බිම ලෙසයි. ඒ පසුබිම නිසා හමුදාවට යන්න හිතුණේ නැද්ද?
විශ්වවිද්‍යාලයට තේරුණේ නැතිනම් මගේ ගමන නතර වෙන්න තිබුණේ හමුදාවෙන්. මම පාසලේ ශිෂ්‍යභට කණ්ඩායමේ සැරයන්වරයා ලෙස කටයුතු කළා. හර්මන් ලුස් කුසලාන තරගයේ දී මා හොඳම අණදෙන්නා ලෙසත් සම්මාන ලැබුවා. මේ නිසා මම නාවික හමුදාවට අයැදුම්කරලා ඉන් තේරී තිබුණා. නමුත් හමුදාවෙන් ලියුම එන්න කලින් සරසවියෙන් ලියුම ආපු නිසා මා විශ්වවිද්‍යාල අධ්‍යාපනය තෝරා ගත්තා.
ඔබට බිරිය (ජයවන්ති) මුණ ගැසුණේ කොහොමද?
ඒකත් අහඹු සිද්ධියක්. විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ඉගෙනුම ලැබූවත් මා ඒ කාලයේ සිටම සංගීත වැඩකටයුතුවල නිරත වී සිටියා. අප විවිධ ප්‍රසංග පැවැත්වුවා. දිනක් අපට නර්තනය ඉගැන්වීමට සරසවියට උපුලි අක්කා (ප්‍රවීණ නර්තන ශිල්පී පණිභාරතගේ දියණිය හා චන්න විජේවර්ධනගේ බිරිය) ආව. පසු දිනක ඇය සමග තවත් තරුණියක් ආවා. ඇය තමයි උපුලි අක්කාගේ සොයුරිය වන ජයවන්ති. එදා තමයි මට ජයවන්ති මුලින්ම හඳුනා ගන්න ලැබුණේ.
ඔබ විවාහ වූයේ?
එක් දහස් නමසිය අනූ අටේ.
දරුවන්?
දෙදෙනකු සිටිනවා. පුතා කවීන් ජිත්සුඛ. ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ඉගෙන ගන්නවා. දුව ගිහන්සි අනර්කලි ඉගෙනුම ලබන්නේ කොළඹ කාන්තා විදුහලේ.
ඔබ දේශපාලනය කරනවාට බිරිය කැමතිද?
ඔව්. මා සමග ඇය විවාහ වන විටත් මම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්.
නීතිඥයා, ගායකයා, නර්තන ශිල්පියා, මෝස්තර නිරූපන ශිල්පියා, දේශපාලනඥයා යන ඔබගේ චරිත අතරින් බිරිය කැමති කුමන චරිතයටද?
බිරිය කැමැති එකට වඩා මම කැමැති දේනේ මම කරන්න ඕනේ.
ඔබ කැමැති කුමකටද?
මම ඉදිරියට ගියේ දේශපාලනයෙන්. දේශපාලනය තමයි මගේ අනාගත ගමන.
අනූහතේ ප්‍රාදේශීය සභා ඡන්දය මෙන්ම අනූඅටේ පැවැති ශ්‍රීලනිප තරුණ සම්මේලනයේ නිලවරණයෙන් ඔබ කැපී පෙනෙන චරිතයක් වුණා.
බොහෝ පිරිසක් එකතුවෙලා තීරණය කළේ මාව තරුණ සම්මේලනයේ ලේකම් ධුරයට පත්කර ගනිමු කියලා. නමුත් මගේ නම යෝජනා කරපු ගමන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය චන්දිම වීරක්කොඩි මැතිතුමාගේ නම යෝජනා කළා. මේ නිසා තමයි ඡන්දයකට යාමට සිද්ධ වුණේ.
ඡන්දයේදී ජනාධිපතිනිය සහය දක්වූයේ චන්දිම වීරක්කොඩිටයි.
නමුත් මට ඡන්ද හැත්තෑ පහක් ලැබුණා. එතුමාට ලැබුණේ ඡන්ද එකොළහයි.
ඔහු තවමත් ඔබේ මිතුරෙක්ද?
එතුමා මගේ ළඟම යහළුවෙක්. මම ඉතා ගරුකරන චරිතයක්. ඔහු මගේ ඡන්ද ව්‍යාපාරයටත් බොහෝ උපකාර කළා.
ඇයි ඔබ අනූනවය වයඹ පළාත් සභා ඡන්දයට තරග නොකළේ.
අපේක්ෂක ලැයිස්තුවේ මගේ නම තිබුණා. නමුත් අවසානයේ දී මගේ නම කැපුණා. ඒක ඉහළින් ආ නියෝගයක් මෙන්ම දිස්ත්‍රික්කය ඇතුළේ තිබූ කැපිලි කෙටිලි නිසා වූ දෙයක්.
ඔබ ශ්‍රීලනිපය හැරපියා එජාපයට ගියේ ජී.එල්. පීරිස් පක්ෂ මාරු කළ නිසාද?
ඒකත් එක හේතුවක් වුණා. නමුත් චන්ද්‍රිකාගේ ක්‍රියා කලාපය තමයි ඊට ප්‍රධාන හේතුව වුණේ. මම ඒ වෙලාවේ පක්ෂය දාලා යනවා කියලා තීන්දුවක් ගෙන තිබුණේ නෑ. එකල ජනාධිපති මන්දිරයේ පැවැති රැස්වීමකදී ජනාධිපතිනිය නරක විදියට මට බණින්න පටන් ගත්තා. මේ බැණීමෙන් පසු මම කල්පනා කළා පක්ෂ නායකයා මට බැණලා මාව විශ්වාස නෑ කියලා කියනවා නම් ඇය සමග දේශපාලනය කරන්නේ කොහොමද කියලා. මේ රැස්වීමෙන් පසු මා එස්. බි. දිසානායක මහතාගේ නිවසට ගියා. ජී.එල්. පීරිස් මහතාත් ආවා. එතැනදී තමයි අප එජාපයට යාමට අවසාන තීන්දුව ගත්තේ.
ඔබ එප්පාවල පොස්පේට් සමාගමේ සභාපති ධුරය දැරූ බව රටේ එතරම් ප්‍රසිද්ධ නැති කතාවක්?
එම ධුරයට පෙර මා ඛනිජ වැලි සංස්ථාවේ සභාපති ධුරයත් දැරුවා. මා එප්පාවල පොස්පේට් සමාගමේ සභාපති ධුරය දැරූ කාලය එහි ස්වර්ණමය යුගයක් වුණා. අනාගතයක් නැතිව තිබූ ආයතනයකට නැවත පණ දීමට මට හැකියාව ලැබුණු එක ගැන අදටත් දැනෙන්නේ පුදුමාකාර සතුටක්. මගේ පරිපාලනයෙන් තමයි “HERP” පොහොර වර්ගය හැදුවේ. එකල සාමාන්‍යාධිකාරී වූ හේමලාල් පනාගොඩ හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දිනාලංකාර යන මහත්වරුන් එම පොහොර වර්ගය හඳුන්වා දීමට මට උපකාර කළා. ගොවීන් අතර “HERP” පොහොර වර්ගය අතිශයෙන් ජනප්‍රිය වුණා.
පාර්ලිමේන්තුවට මුල් වරට තේරී පත්වූ දෙදහස් හතරේ සිට මේ දක්වා ඔබගේ ජනප්‍රියත්වය බලා සිටියදීම ඉහළ යමින් තිබෙනවා. එ.ජා.ප.යේ දිගටම සිටියා නම් රනිල් හා සජිත්ගෙන් පසු ඔබට පක්ෂ නායකයා වීමට අවස්ථාවක් තිබුණා නේද?
කට්ටිය එහෙම කියනවා. එජාප පාක්ෂිකයන්ගේත් බලාපොරොත්තුවක් තිබුණා මම කවදා හරි පක්ෂ නායකයා වේවි කියලා. නමුත් එජාපයේ ඊට ඉඩක් තිබුණේ නෑ. නායකයා හා ඔහු වටා සිටින කණ්ඩායමේ බලය නිසා දක්ෂයකුට ඉහළට එන්න ඉඩ ලැබෙන්නේ නෑ. දැන් තිබෙන තත්ත්වය අනුව නම් රනිල් ඉවත් වුණත් එ.ජා.ප.යට ගොඩ ඒමට අවස්ථාවක් නෑ. තවත් අවුරුදු පහළොවකින්වත් එ.ජා.ප.ය බලයට පත්වන්නේ නෑ.
අනාගතයේදී ලැබිමට නියමිතව තිබූ එ.ජා.ප. නායකත්වය අහිමි වීම ගැන කවදා හරි ඔබට පසුතැවීමට සිද්ධ වේවිද?
මම පසුතැවෙන්නේ නෑ. මොකද මම පක්ෂයට සමුදුන්නේ ස්ථිර තීන්දුවක් ගැනීමෙන් පසුවයි. මම සමුගත්තේ ඉතා ගෞරවනීය විදියට.
ඔබ රටේ ජනප්‍රිය චරිතයක්. විශේෂයෙන්ම තරුණියන් ඇතුළු කාන්තාවන් අතර. ඒ කාරණාව ගෙදරට බලපාන්නේ කොහොමද?
කිසිම බලපෑමක් නෑ. මට රට පුරාම රසික රසිකාවියන් බොහෝ දෙනකු සිටිනවා ගීත ගායනාව නිසා. ඔවුන් මට ආදරය කරනවා. මම ජීවත්වන්නේ ඔවුන්ට ගෞරවයක් වන ලෙසයි. මම කාන්තාවන් සමග ආශ්‍රය කරන්නේ බොහොම පරිස්සමට.
ඔබ ඉදිරි මහා මැතිවරණයට තරග කරනවාද?
නෑ. මගේ බලාපොරොත්තුව වන්නේ ඉදිරි අවුරුදු පහේම මහ ඇමැති ධුරය දරමින් ඊළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමාට කුරුණෑගලෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් දිනා දීමට කැපවීමයි.
ශ්‍රී.ල.නි.ප. තුළ ඔබ කොතරම් දුර යාමට බලාපොරොත්තු වෙනවාද?
ඒක ඉතින් ජනාධිපතිතුමාගේ අතේ තමයි තියෙන්නේ. එතුමාගේ නායකත්වය යටතේ අපට ලොකු ගමනක් යන්න පුළුවන් වේවි.
ශ්‍රී.ල.නි.ප. ය කියන්නේ මගේ පරණ පක්ෂය. මගේ දේශපාලනයේ තිඹිරිගෙය. ශල.නි.ප.යට ලොකු සේවාවක් ඉටු කිරීමට මට පුළුවන් වේවි.
ජාතික නායකයකු වූ ඔබ දැන් ප්‍රාදේශීය නායකයකු බවට පත්වීම ගැන මොකද හිතන්නේ?
ප්‍රාදේශීය වශයෙන් ජනප්‍රියත්වයට පත් දක්ෂ නායකයන්ට රටට ලොකු සේවාවක් කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස කියනවා නම් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා ඉන්දියාවේ ලොකු බළකණුවක්. ඔහු දේශපාලන වශයෙන් ඉතා ශක්තිමත් චරිතයක්. එවැනි තත්ත්වයක් අපටත් ඇති කරන්න පුළුවන්. මගේ අරමුණ වන්නේ වයඹ ලංකාවේ පරමාදර්ශී පළාත් සභාව බවට පත් කරන්නයි. ඒ අරමුණේ දී ප්‍රාදේශීය දේශපාලනයද ජාතික දේශපාලනයද කියන එක ගැන මා බලන්නේ නෑ.
මම කරන වැඩකටයුතුවලින් ජාතික දේශපාලනයට විශාල පිටිවහලක් ලැබේවි කියලා මා හිතනවා.
මහ ඇමති ධුරයට පත්වීමෙන් පසුව ඔබ ප්‍රමුඛතාව දෙන්නේ කුමන ක්‍ෂේත්‍රවලටද?
පළාත් සභාවේ ප්‍රශ්න හා අර්බුද ගණනාවක් තිබෙනවා. එකක් තමයි ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම්. ඒ වගේම උපාධිධාරීන්ගේ රැකියා දීමේ දී උද්ගත වී තිබෙන විෂමතා. මේ පිරිසගෙන් වැඩක් ගැනීමට නම් ඔවුන්ගේ මූලික ප්‍රශ්න විසඳිය යුතුයි.
තරුණ තරුණියන්ගේ රැකි රක්ෂා ගැන ස්ථාවර ක්‍රමවේදයක්ද සැකසීමට මා බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට වෘත්තීය නිපුණතා වැඩපිළිවෙළක් සැකසීම මෙන්ම හෝටල් පාසල් මගින් විශාල රැකියා ගණනක් බිහි කළ හැකියි. මොකද ලංකාවට ලක්ෂ විසි හයක් පමණ විදෙස් සංචාරකයන් පැමිණීම බලාපොරොත්තු වෙන් සිටිනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජධානි හතරක් තිබෙනවා. ඒ වගේම කල්පිටිය වැනි වෙරළ තීරයකින් සංචාරක ව්‍යාපාරයට විශාල දායකත්වයක් ගත හැකියි. මේ වන විට කර්මාන්ත ශාලා රැසක් වැසිලා. ඒවා නැවත පටන් ගැනීමට ආයෝජකයෝ ඉදිරිපත් වී සිටිනවා.
මගේ අරමුණ මධ්‍යම ආණ්ඩුවේ ඇමැතිවරුන් සමග ළඟ සබඳතාවක් පවත්වා ගනිමින් ඔවුන්ගෙන් ගත හැකි උපරිම ප්‍රයෝජනය වයඹට ගැනීමයි.
ඡන්දයට පෙර නම් දයාසිරි ජයසේකරගේ නම ප්‍රසිද්ධ වුණේ බොහෝ සරල සැහැල්ලු ජීවිතයක් ගත කරන සෑම දෙනාගේම ආදරය දිනාගත් නිහතමානී දේශපාලනඥයෙක් ලෙසයි. ඡන්දෙන් පස්සේ ඒ තත්ත්වය කොහොමද?
එහෙමම තමයි. දයාසිරි ජයසේකරගේ නිහතමානීකම සොඳුරුකම දයාබරත්වය කවදාවත් වෙනස් වන්නේ නෑ. මට තනතුරු ලොකු දේවල් නොවේ. තනතුරු නැතිවත් තනතුරු ඇතිවත් අපි මිනිසුන් සමග ජීවත් වෙලා තියනවා. මේ තනතුර මට රන් ඔටුන්නක් නොවේ, කටු ඔටුන්නක්. විශාල අභියෝගයක් මගේ හිස මත තිබෙනවා. සන්ධානයට මට ඡන්දය දීපු ජනතාවගේ බලාපොරොත්තු මා ඉටු කළ යුතුයි. මහන්තත්වකමක් නැතිව සුපුරුදු විදියට සරලව නිහතමානීව ජීවත් වීම මගේ අරමුණයි.
මිහිරි ෆොන්සේකා