තරුණයකු ඝාතනය කොට සිරුර පුළුස්සා වෑන් රියකින් රැගෙන යමින් සිටි සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සිවුදෙනකු පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් අතරින් දෙදෙනකු පිළියන්දල ප්‍රදේශයේ දී සහ අනෙක් දෙදෙනා අතුරුගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
තරුණයකු ඝාතනය කර, සිරුර පුළුස්සා වෑන් රියකින් රැගෙන යමින් සිටිය දී අතුරුගිරිය පොලිසිය විසින් කහන්තොට ප්‍රද්ශයේ දී පසුගියදා(23) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගාල්ල, පෝද්දල පදිංචි වයස අවු 33 ක පුද්ගලයෙකි. අතුරුගිරිය , පෝරෙ, බොරළුගොඩ නිවසක දී මෙම තරුණයා ඝාතනය කර, ගේ පිටුපස රබර් යායේ දී සිරුර පුළුස්සා ඇති බව අනාවරණය වේ.
මිය ගිය තරුණයා සිය බිරිය සමඟ අනියම් සබදතාවක් පැවැත්වීම හේතුවෙන් මෙම ඝාතනය සිදුකළ බව ප්‍රධාන සැකකරු විසින් පැවසූ බව අතුරුගිරිය පොලිසිය පවසයි.
ඝාතනයට ලක් වූ තරුණයා හා ප්‍රධාන සැකකරු දෙදෙනාම ගාල්ල ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන් බව ද අනාවරණය වී ඇත. සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුගේ බොරළුගොඩ පිහිටි මහගෙදර දී මෙම ඝාතනය සිදු කර ඇතැයි පැවසෙන අතර, මැයි 23 රාත්‍රීයේ සිද්ධියට අදාළ වෑන් රථය සැකකටයුතු ලෙස ගමන් ගනිමින් සිටින බව හඳුනාගත්, රාත්‍රී මුර සංචාරයේ යෙදුණු අතුරුගිරිය රථවාහන පොලිසියේ නිලධාරීන් වන ප්‍රියන්ත 3912 හා ග්රාමාරක්ෂක නිලධාරි රත්නායක 69471 යන අය විසින් වෑන් රිය පරීක්ෂාවට ලක් කර ඇත. පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේ වෑන් රථය තුළින් මත්පැන් ගඳ වහනය වී ඇති අතර, වැඩිදුර පරීක්ෂාවට ලක් කිරීමේ දී අදාළ තරුණයාගේ මළ සිරුර හමු වී ඇත.
මෙහිදී ප්‍රධාන සැකකරු සමඟ සෙසු අය අත්අඩංගුවට ගෙන ඇත. කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමපාල ඒකනායක මහතා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරන ලද අතර, ව්‍යවහාරික වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අසේල වෙත්තසිංහ මහතා විසින් නිරීක්ෂණ සටහන් ලබා ගැනීම සිදු කරන ලදී. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අතුරුගිරිය පොලිසිය විසින් මෙහෙයවයි.