පොසොන් පෝය දින දෙහිඅත්තකණ්‌ඩිය මූලික රෝහලේ නේවාසික රෝගීන් හට උදෑසන ආහාර වේල නොලැබීමෙන් කුසගින්නේ සිටීමට සිදුවූ පුවතක් වාර්තා වේ. රෝගීන් කුසගින්නේ සිටියදී රෝහලේ පාලනාධිකාරිය හා සේවකයන් එක්‌ව රුපියල් ලක්‍ෂ 2 කට ආසන්න මුදලක් වැය කර රෝහල ඉදිරිපිට අයිස්‌ක්‍රීම් දන්සලක් පවත්වා තිබේ.
රෝහලේ සුළු සේවක හිඟයක් පවතින බව කියමින් මුළුතැන්ගේ රාත්‍රී සේවා මුරය කප්පාදු කළ වත්මන් පාලනාධිකාරිය ඊට පිළියමක් ලෙස උදෑසන ආහාර වේල සඳහා පිටතින් ගෙන්වන ලද පාන් ලබාදීම ආරම්භ කර ඇත. පොසොන් පෝය නිමිත්තෙන් බේකරි වසා දැමීම හේතුවෙන් දෙහිඅත්තකණ්‌ඩිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් 80 දෙනකුට ඊයේ (02 දා) උදෑසන ආහාර වේල අහිමි වී පීඩා විඳීමට සිදු වී ඇත. නේවාසික ප්‍රතිකාර ලබන භික්‍ෂූන්වහන්සේ නමකට ද මෙමගින් පීඩා විඳීමට සිදු වී ඇත. පසුව රෝහලේ කාර්ය මණ්‌ඩලයේ කිහිපදෙනකු විසින් උන්වහන්සේට පමණක් උදෑසන දානය පිළිගන්වා ඇති අතර අනෙකුත් රෝගීන්ට කුසගින්නේ සිටීමට සිදුවී ඇත.
රෝහල්වල රෝගීන්ට පාන් ලබාදීම රජයේ චක්‍රලේඛයක් මගින් නතර කර දමා ඇත. ඒ සඳහා ධාන්‍ය වර්ග තම්බා දීම සිදු කෙරේ. දෙහිඅත්තකණ්‌ඩිය මූලික රෝහලේ වත්මන් පාලනාධිකාරිය එම චක්‍රලේඛය උල්ලංඝනය කරමින් මේ වන විට රෝගීන් සඳහා සතියේ දින හතේම උදේ කෑමට පාන් ලබාදෙයි.
මේ සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්‌ඩිය මූලික රෝහලේ දිස්‌ත්‍රික් වෛද්‍ය නිලධාරි සුසන්ත ගුණසිංහ මහතාගෙන් දුරකථනයෙන් කරුණු විමසීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.