ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන වමත් පිතිකරුවකු වූ දිමුත් කරුණාරත්න පසුගියදා විවාහ ජීවිතය ආරම්භ කළා. ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ජනප්‍රියත්වයට පත් වූ ඔහු අතිනත ගත්තේ රංගන ශිල්පිනියක වූ අනුරාධා කුරුකුලසූරිය සමගිනි. ඔවුන් දෙදෙනාගේ යුග දිවියේ ආරම්භය පිළිබඳ මෙවර රිවිසරසි පිටු අතරේ තබන්න අපි කල්පනා කළා. මේ ඔවුන් ගැනයි.
රන්හුයෙන් දෑඟිලි බැඳගන්න අනුරාධාව ඔබට මුණ ගැහුනේ කොහොමද කියලා මුලින්ම කතා කරමු?
මගේ බිරිඳ රංගන ශිල්පිනියක්. ඇයව මට මුණ ගැහෙන්නේ මීට අවුරුදු දෙකහමාරකට කලින්. ඩයලොග් එකේ ෆොටෝ ෂූට් එකක් තිබුණා. එතැනදී තමයි මට මුලින්ම ඇයව දකින්න ලැබුණේ. එතකොට මම දන්නේ නැහැ ඇය නිළියක් කියලා. එදා දැන හඳුනාගෙන කතාබහ කළා. ඒ කතාබහ තමයි ආදරයකට පෙරළුණේ. ඊට පස්සේ දෙමාපියන්ට අපේ ආදර සම්බන්ධතාව ගැන කිව්වා. ගෙදරින් අපිට අවසර ලැබුණේ හඳහන් ගැළපුන නිසයි. ඊට පස්සේ අපිට විවාහයට අවසර දුන්නා.
ඇය සමග ගත කරන අලුත් ජීවිතේ සුන්දර ඇති…?
සුන්දරයි. අලුත් අත්දැකීමක්. කාර්යබහුල ජීවන රටාව එක්ක පුද්ගලික ජීවිතේ සාර්ථක කරගන්න උත්සාහ ගන්නවා. විශ්වාස කරනවා අනුරාධාගේ ආදරය, විශ්වාසය එක්ක අලුතින් මේ ආරම්භ කළ ජීවිතේ සාර්ථක කර ගන්න පුළුවන් වෙයි කියලා.
ක්‍රිකට් ක්‍රීඩකයන් නිළියක් සමග විවාහ වීම හෝ ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කිරීම ටේරන්ඩ් එක වෙලා කිව්වොත්…?
ඒක ටේරන්ඩ් එකක් වෙලා තමයි. ඔව්. ඒක ඇත්ත. ඒත් ආදරයක් ඇති කරගන්න කෙනා නිළියක් වීම වැදගත් කියලා මම හිතන්නේ නැහැ. මොකක් හෝ බැඳීමක් නිසා ආදරය කළා. ඊට පස්සේ විවාහ වුණා. ඔය කියන රැල්ල නිසා මම මගේ බිරිඳ විදිහට නිළියක්ව තෝරා ගත්තා නමෛයි. ඒක එයාගේ රැකියාව. හුඟක් වෙලාවට විවාහ වුණාට පස්සේ රඟපාන්න යොමු වෙන්නේ නැහැ. රඟපෑමෙන් ඉවත් වෙනවා. විවාහයට නිළියක්ව තෝරා ගත්තා නම් එහෙම වෙන්නේ නැහැනේ.
කාර්යබහුලකම එක්ක විවාහය සැලසුම් කළේ කොහොමද කියලත් කියමු?
අපි විවාහ වෙන්න තීරණය කළේ මාස හයකට කලින්. වෙඩින් එක එදා ඉඳලා ප්ලෑන් කළා. ඒත් මම මාස තුනක් ලංකාවේ හිටියේ නෑ. ලෝක කුසලාන තරගාවලිය නිසා. අන්තිම මාසේ තමයි විවාහ මංගල උත්සවයේ සියලු දේ සැලසුම් කළේ. විවාහය නියමාකාරයෙන් කරන්න අභිෂේක මණ්ඩපයේ රුවන් විදානගේ හුඟක් උදව් කළා. ඒ වගේම ඡායාරූප කළේ ධනුෂ්ක සේනාධීර. ඇඳුම් නිර්මාණය මනාලිය ඇතුළු කණ්ඩායම හැඩගන්වූයේ චම්පි සිරිවර්ධන. අපේ මංගල කේක් නිර්මාණය ලංකා චාන්දනිගෙන්. මේ හැමෝගෙම උදව් අපට ලැබුණා. ඒ හැමෝගෙම සහයෝගයෙන් තමයි පෝරුවේ චාරිත්‍ර වාරිත්‍ර, ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකයේ කළේ. හවස හෝටලයක උත්සවය ගත්තා.
විවාහ මංගල උත්සවයේ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන්න විහාරස්ථානයක් තෝරා ගත්තේ ඇයි?
මගේ අම්මා හුඟක් ආසාවෙන් හිටියා මම නිලමේ ඇඳුම අඳිනවට. ඒ නිසා අපේ අලුත් ජීවිතය ආරම්භ කරන්න ගංගාරාම විහාරස්ථානය තෝරා ගත්තා. ඒකට නිලමේ ඇඳුමත් හොඳටම ගැළපුනා.
විවාහ ජීවිතයෙන් පසු යළිත් ක්‍රිකට්වලට අවධානය යොමු කරන්න වෙනවා නේද?
ඔව්. මම ලෝක කුසලානයේ දී ආබාධ තත්ත්වයට පත් වුණා. ඒනිසා පසුගිය කාලේ පිතිකරණ පුහුණුවීම් කළේ නැහැ. ශාරීරික යෝග්‍යතා පුහුණුවීම්වල විතරයි නිරත වුණේ. දැන් ආබාධ තත්ත්වය යථා තත්ත්වයට පත් වුණා. ඒ නිසා යළිත් පිතිකරණ පුහුණුවීම්වල නිරත වෙනවා. මේ දිනවල නම් විවේකයෙන් කාලය ගත කරනවා. ඒත් පුහුණුවීම් වගේම තරග සඳහා යොමු වෙන්න ඕනෑ. පාකිස්තාන කණ්ඩායම ලංකාවට එනවා ටෙස්ට් තරග සඳහා ඉදිරියේදී එයටත් සහභාගි වෙනවා.
අලුත ගෙනා මනමාලිට දිමුත්ගේ දෙමාපියන්ගේ ප්‍රතිචාර කොයි වගේද?
අම්මයි, තාත්තයි වගේම මගේ නංගි මගේ බිරිඳට ආදරෙයි. අනුරාධා කියන්නේ මගේ දෙමාපියන්ට ලේලියක් නමෛයි, දුවක්. අනුරාධා හරිම කඩිසර කෙනෙක්. ඕනෑම වැඩක් කරන්න පුළුවන්. ඒ නිසා අපේ ගෙදරින් එයාට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
දිමුත්ගෙන් පසුව අප සමග කතාවට එකතු වුණේ ඔහුගේ ආදරණීය බිරිඳ අනුරාධා කුරුකුලසූරිය
අනුරාධා දිමුත්ගේ මනමාලි වුණ එක ගැන සතුටින් නේද?
ඔව්. ආදරය කරපු කෙනා විවාහ කරගන්න ලැබුණ එක වාසනාවක්. ඒ වගේම දිමුත් කියන්නේ හුඟක් හොඳ කෙනෙක්. එයාගේ බිරිඳ වීම ගැන සතුටුයි. ඒ වගේම ඕනෑම ගැහැනු ළමයෙක් ලස්සන මනාලියක් වෙන්න හීන දකිනවා. ඒ හීනය මට සැබෑ කරලා දුන්නේ එයා. ජීවිතේට විවාහය කියන දේ එන්නේ එකපාරයි. ඒ විවාහ ජීවිතය මම හුඟක් සතුටින් ගෙවනවා.
දිමුත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිසාද ඔහුව සැමියා විදිහට තෝරා ගත්තේ?
නැහැ. මම දිමුත්ව හඳුනා ගන්නකොට එයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා දන්නේ නැහැ. ඊට පස්සේ තමයි දැන ගත්තේ. මම දිමුත්ට ආදරේ නිසයි ඔහුව විවාහ කරගත්තේ. ඒ වගේම දිමුත්ගේ ගතිගුණ හුඟක් හොඳයි.
විවාහයත් එක්ක අනුරාධාගේ නිළිකම අතහැරෙයිද?
මම රඟපාන්න ඇවිත් දැන් අවුරුදු හයක් වෙනවා. පුංචි වලව්ව, සිහින පාරාදීසේ, පිපෙන මල් වගේ ටෙලි නාට්‍යවල රඟපෑවා. විවාහයට කළින් භාර ගත්ත ටෙලි නාට්‍ය කිහිපයක් තියෙනවා. ඒවාට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ හොඳ ටෙලි නාට්‍යයක් ලැබුණොත් විතරක් රඟපානවා.
(rivira)