-මෙම සිකුරාදා (06 වැනිදා) රට පුරා සිටින රජයේ රෝහල්වල වෛද්‍යවරු අයවැයෙන් පොරොන්දු වූ වැඩි වැටුප් ඉල්ලා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර වැටුප් ප්‍රශ්නය මුල්කර ගනිමින් වෛද්‍යවරුන් වසර තුනකට පසු පවත්වන මෙම වැඩවර්ජනය අඛණ්‌ඩව සිදුකරන්නේද නැද්ද යන්න සිකුරාදා වෘත්තීය ක්‍රියාමාර්ගයට ලැබෙන ප්‍රතිචාර මත තීරණය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ලසන්ත ජිනදාස මහතා ප්‍රකාශ කරයි.
මහින්ද රාජපක්‍ෂ මහතා විසින් 2014 ඔක්‌තෝබර් මස ඉදිරිපත් කළ අයවැයෙන් රාජ්‍ය සේවක මූලික වැටුප අවම වශයෙන් සියයට 28 කින් වැඩි කිරීම සහ සුවිශේෂී දීමනා යාවත්කාලීන කිරීමට යෝජනා කළ බව ද මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ අතුරු අයවැය මගින් එකී දීමනා හා වැටුප් වැඩිවීම් අහෝසි නොකළ බව ද වෛද්‍යවරු පවසති.
කෙසේ වෙතත් මෙම වර්ජන කාලසීමාව තුළ රෝහල්වල හදිසි ප්‍රතිකාර කටයුතු පමණක් සිදුකරන බව කී වෛද්‍ය ජිනදාස මහතා මානුෂීය පදනම මත සොයිසා කාන්තා රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල, රිඡ්වේ ආර්යා ළමා රෝහල, සිරිමාවෝ බණ්‌ඩාරනායක ළමා රෝහල හා මහරගම පිළිකා ආයතනය වැඩ වර්ජනයට අදාළ කර නොගන්නා බව ද වෛද්‍ය ජිනදාස මහතා කීවේය. සේවාවන්ට අදාළ සුවිශේෂී දීමනා යාවත්කාලීන කිරීම විනිසුරුවරුනට සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට සිදුව ඇතත් වෛද්‍යවරුන්ට එම දීමනාව මෙතෙක් ලැබී නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
මේ පිළිබඳව බලධාරීන් සමඟ කළ සාකච්ඡා අනුව සෞඛ්‍ය ඇමැති, ලේකම්, මුදල් ඇමැති හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා තම ඉල්ලීම්වලට එකඟතාව පළ කළ නමුත් රජයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයකු බව කියා ගන්නා පුද්ගලයකුගේ බලපෑම් මත එය ක්‍රියාත්මක නොවන බව වෛද්‍යවරු පවසති. කිසිදු වෘත්තීය නියෝජනයක් නොමැති මෙම පුද්ගලයා රාජ්‍ය නොවන සංවිධානවලට ගැති පුද්ගලයකු බව ද තම වර්ජනය හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතාවන්හි වගකීම් එකී පුද්ගලයාත්, ඔහුට අනුබල දෙන පිරිසත් බාරගත යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටී.