Wednesday , 22 January 2025

නුගසෙවනේ දොස්තරගෙන් ලස්සණ වෙන්න ගිය ළමා රෝහලේ වෛද්‍යවරිය මරුට

කොළඹ විශාකා පාරේ පිහිටි කොස්මැටික් සර්ජරි ක්ලිනික් නමැති ප්ලාස්ටික් සැත්කම් සිදුකරන ප්‍රකට රූපලාවණ්‍යාගාරයෙන් ප්‍රතිකාර ගන්නට ගිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රියංගි අලූත්ගේ(47) නමැති වෛද්‍යවරියක ප්ලාස්ටික් සැත්කමට සූදානම් කර එන්නතක් විෂවී ඊයේ හදිසියේ මියගියා.
ඇය ඇගේ මුහුණේ ඇස අවට සම රැළි වැටීම සකස් කර පැහැපත් පෙනුමක් ලබාගන්නට එම ආයතනයට ගොස් තිබුණ අතර එය පවත්වා යන රූපවාහිනියේ නිතර පෙනීසිටින නිමල් ගමගේ නමැති
වෛද්‍යවරයා සමග සාකච්ඡා කර ඒ සඳහා ඇගේ උදර ප්‍රදේශයෙන් සම කොටසක් කපා බද්ධ කර මෙම ප්ලාස්ටික් සැත්කම කරන්නට සැලසුම් කර තිබුණා.
නාවල සේනානායක පාරේ පදිංචි දෙදරු මවක වන වෛද්‍ය ප්‍රියංගි කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ සේවය කරන්නේද එහි ප්ලාස්ටික් සැත්කම් ඒකකයේය. ඇය ඊයේ දහවල් 1 ට පමණ විශාඛා පාරේ සයමහල් ගොඩනැගිල්ලක පිහිටි මෙම ආයතනයට ගොස් තිබුණා. පසුව ඇයව සැත්කම සඳහා සූදානම් කරන්නට ඇයට වෛද්‍යවරයාගේ අනුදැනුම මත ප්‍රතිජීවක ඖෂධයක් එන්නත් කර තිබුනේ සවස 3 ට පමණය. නමුත් එම ඖෂධය ඇයට ආසාත්මික වූ අතර ඇය එම ඖෂධය ලබාගැනීමෙන් පසු නොයෙකුත් අපහසුතාවන්ට ලක්ව කැස්සක් සමග වේදනාවෙන් කෑගසා තිබුණා. මේ අවස්ථාවේ ඇයට ප්‍රතිකාර ලබාදෙන්නට නිමල් ගමගේ වෛද්‍යවරයා හැකි ආකාරයෙන් උත්සාහ කර තිබුණ නමුත් මිනිත්තු 10 ක් පමණ ඇතුළත ඖෂධය විසවූ වෛද්‍ය ප්‍රියංගි මියගියා.
කලබලයට පත් වෛද්‍ය නිමල් ගමගේ සිද්ධිය පොලිසියට දැනුම් දුන් අතර පොලිසිය පැමිණ පරීක්ෂණ සිදු කර පසුව රාත්‍රී 7 ට පමණ දේහය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නට පශ්චාත් මරණ පරීක්ෂකවරුන්ද පැමිණියා.

පොලිසිය සපයාගත් තොරතුරු වලින් පසු අලූත්කඩේ උසාවි නියෝගයකින් ඊයේ රාත්‍රී වෛද්‍ය නිමල් ගමගේද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් මේ ගැන වැඩිදුර ප්‍රශ්න කිරීම් මේ වනවිට සිදු කර තිඛෙනවා.
තමා ශ්‍රී ලංකාවේදී එම්බීබීඑස් වෛද්‍ය

උපාධිය ලබා ඇමෙරිකාවේදී විශේෂ පුහුණුවක්ද ලැබූ වෛද්‍යවරයකු බවත් වෛද්‍ය සභාවේ සාමාජිකයෙකු බවත් වෛද්‍ය නිමල් ගමගේ සිය අනන්‍යතාව තහවුරු කරමින් ප්‍රකාශ කර ඇත.
මින් පෙර මේ ආකාරයේ සැත්කම් 1500 ක් පමණ සාර්ථකව සිදු කර තිබුණ බව මෙම වෛද්‍යවරයා සිය වෙබ් අඩවිය මගින් පවසනවා.
සම පැහැපත් කිරීම, බඩ මසා තද කිරීම, පියයුරු ලොකු කිරීම, මුහුණ අත් ලස්සණ කිරීම,මේදය ඉවත්කිරීම යනාදී ප්‍රතිකාර මේ ස්ථානයේදී සිදු කෙරෙන බවට ආකර්ෂණීය විස්තර සඳහන් කරමින් කොස්මැටික් සර්ජරි ක්ලිනික් නමැති ස්ථානය වසර 3 ක පමණ කාලයක් තිස්සේ බම්බලපිටිය විශාඛා පාරේ සය මහල් ගොඩනැගිල්ලක 3 වන තට්ටුවේ පවත්වාගෙන ගොස් තිඛෙනවා.
විදේශ රටවල් වලට ගොස් විශාල මුදලක් වැය කර සිදු කරගත යුතු ඇතැම් සැත්කම් මෙම ස්ථානයේදී අඩු මිලට සිදු කර තිබුණ අතර මෙම කටයුත්ත කරගෙන යාමේදී ප්‍රචාරය ලබාගැනීමට ජාතික රූපවාහිනියේ zනුග සෙවණZ හා සිරස නාලිකාවෙහි සෞඛ්‍ය වැඩසටහන් ඇතුළු වැඩසටහන් ගණනාවක වෛද්‍ය නිමල් ගමගේ නිරන්තරයෙන්ම පෙනී සිටිමින් සිය විශ්වාසය තහවුරුකරන්නට ආකර්ෂණීය ප්‍රතිකාර ක්‍රම ගැන වැඩසටහන් ඉදිරිපත් කර තිබුණා.

මේ නිසාම ධනවත් කාන්තාවන්,කලා ශිල්පීන්, නිරූපිකාවන් අතර මෙම වෛද්‍යවරයා ජනප්‍රියව සිටී.
මින් ටික කාලයකට පෙර මෙම වෛද්‍යවරයාට ලංකාවේ ප්ලාස්ටික් සැත්කම් කරන්නට සුදුසුකම් නැතැයි ඇතැම් විකල්ප පුවත්පත් මගින් චෝදනාවක් ඉදිරිපත් කර තිබුණ අතර එම අවස්ථාවලදී තමාගේ එම්බීබීඑස් වෛද්‍ය උපාධිය හා වෛද්‍ය සභාවේ අනුමැතිය සඳහන් සහතික වල ස්කෑන් පිටපත් වෙබ් අඩවියේ ප්‍රචාරය කර තිබුණ වෛද්‍ය නිමල් ගමගේ වැරදි ප්‍රචාර ගෙන යන එම පුවත්පත්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවටද සඳහන් කර තිබුණා.
ඔහු සඳහන් කරන ස්කෑන් පිටපත් අනුව 1982දී එම්බීබීඑස් උපාධිය ලබා ඇත.
මියගිය වෛද්‍යවරියද ර්ජිවේ ආර්යා රෝහලේ ප්ලාස්ටික් සැත්කම් ඒකකයේ කටයුතු කළ බැවින් එම ඖෂධ ආසාත්මිකතා සම්බන්ධ දැනුමක් ඇතිව සිටි අතර වෛද්‍ය ගමගේගේ සුදුසුකම් සම්බන්ධයෙන්ද දැනසිටි තැනැත්තියකි. ඇයගේ මෙම අනතුර අනපේක්ෂිතව සිදුව ඇත්තේ එසේ තිබියදීය.
සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය පරීක්ෂණ සිදු කරයි.

 

රූපාලංකරණ විශේෂඥ වෛද්‍ය නිමල් ගමගේ මහතාගේ මේදය තැන්පත් කිරීමෙන් මුහුණ ලස්සන කරගත් ලෙඩෙකු එම ප්‍රතිකාරය කරණ අයුරු සහ එහි මාසයකට පසු ප්‍රතිපල මෙහෙදි ඔබට දැකගත හැකිවෙනවා.

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...