දකුණේ සිට රුපියල් කෝටි 400ක් පමණ වටිනා පමණ හෙරොයින් මත්කුඩු කිලෝ 400ක් පසුගිය කාලයේදී දිවයින පුරා බෙදාහැර ඇති බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ආරක්ෂක අංශ තොරතුරු හෙළිකරගෙන තිබේ. හික්කඩුවේදී පසුගියදා රුපියල් කෝටි හයහමාරක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ තොරතුරු හෙළිවීමට පටන්ගෙන ඇතැයි ඒ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මේ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ මහ මොළකරු වශයෙන් හැඳින්වෙන ප්‍රධාන සැකකරු ‘බැංකොක්’වලට පලාගොස් ඇති බවද අනාවරණය වී ඇත. දකුණු ප්‍රදේශයේදී පළමුවරට හසුවූ එම විශාලතම මත්ද්‍රව්‍ය තොගය දකුණු ප්‍රදේශයට ගෙනැවිත් ඇත්තේ කන්ටේනර් සහ මුහුදු මාර්ගවලින් බවද අනාවරණය වී තිබේ.
පසුගිය දින කිහිපයේදී පොලිසියට හසුවී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කීපදෙනකු විසින් හෙළිකර ඇත්තේ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකක් රුපියල් 6,500 සිට රුපියල් විසිදහස දක්වා ඉහළ නැඟ ඇති බවයි.
එයට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ කොතැනක හෝ සඟවා ඇති මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොග රහසේ වෙළෙඳපොළට දැමීම ප්‍රමාද වීම නිසා බව යැයි ඔවුන් හෙළි කළ බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.
මේ අතර දකුණේ සිට දිවයින පුරා මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති ජාවාරම්කරුවන් දකුණේ සිට කොළඹ සහ පිට පළාත් ගණනාවක රුපියල් කෝටි ගණනක නිශ්චල සහ චංචල දේපළ මිලදී ගෙන ඇති බවද අනාවරණය වී ඇත.ඒ පිළිබඳවද ආරක්ෂක අංශ මේ වන විට විමර්ශනයක් ආරම්භ කොට තිබේ.
ප්‍රේමලාල් විජේරත්න
mawbima