මෙත්‍රීපාල වර්තමාන ජනාධිපතිතුමායි, මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමායි එකතු කරල මේ සුළුතර ව්‍යවස්‌ථා විරෝධී ආණ්‌ඩුව වෙනුවට මීළඟ ආණ්‌ඩුව පිහිටුවීම අපේ අරමුණයි. අපි පුංචි කාලේ අහපු විදියට බුදුහාමුදුරුවෝ ඒහි භික්‍ෂුභාවය යටතේ එව මහණ කියල තමයි ඒ කාලෙ මහණ කළේ. දැන් මෛත්‍රීපාල මැතිතුමා ජනවාරි 9 දා දිවුරුම් දීලා “එව අගමැති” කියල රනිල් මහත්තයට කිව්වාම මෙන්න මේ මනුස්‌සයා අගමැති වුණා. “එව ඇමැති කිව්වාම මෙන්න ඇමැතිවරු පත්වුණා. එව රාජ්‍ය ඇමැති කිව්වාම රාජ්‍ය ඇමැතිවරු පත්වුණා. නමුත් එජාපයට හිටියේ මන්ත්‍රීවරු 44 යි. ශ්‍රීලනිපයට මන්ත්‍රීවරු 126 ක් සිටියා.
හිටපු ඇමැති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙම අදහස් පළ කළේ 2 වැනිදා දික්‌වැල්ලේ පැවැති රැස්‌වීමක් අමතමිනි. දික්‌වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ක්‍රිෂාලි මුතුකුමාරණ මහතාගේ නිවසේ මෙම රැස්‌වීම පැවැත්විණි. අලහප්පෙරුම මහතා මෙසේද පැවැසීය.
අපේ ආණ්‌ඩුවක් පිහිටුවීමේ ක්‍රියාවලියට විවිධ බාධක ආවා. ලොකුම බාධකය තමයි “ඇගේ වෛරය” චන්ද්‍රිකා මැතිනිය කියන්නේ මහින්දට දේශපාලනය කරන්න ඕන නම් ඔළුව නවාගෙන ඇවිල්ල කරන්න පුළුවන් කියලා. මේ රටේ මිලියන 21 ක ජනතාවට, ඔළුව කෙලින් තියාගෙන කොන්ද නමන්නේ නැතිව ඉන්න පරිසරය සකස් කළ මේ නායකයට තමයි මෙහෙම කියන්නේ. මිනීමරු ප්‍රභාකරන් ඉස්‌සරහ දණගහල ඔළුව නවලා කකුල් වෙව්ලමින් සිටි අය තමයි රට බේරාගත් නායකයාට මෙහෙම කියන්නේ.