තවත් බබෙක්‌ උකුසු කටෙන් නූලෙන් බේරේ

තිරප්පනේ – සමන් පෙරේරා
දුවගේ ඔළුවට ගහලා පස්‌සෙ ඌ මගේ උඩ කැරකුණා. ඒ මගේ ළඟ හිටපු චූටි පුතාව අරගන්න. මම ලී කෝටුවලිනුයි, මඩවලිනුයි ගැහැව්වා. ඒත් ඌ බය නැහැ. උගේ පියාපත් අඩි හයක්‌ විතර ඇති.
තිරප්පනේ වැවෙහි නෙළුම්මල් කැඩීමට ගිය දරුවන් දෙදෙනකු උකුස්‌සකු වැනි විශාල පක්‍ෂියෙක්‌ පැමිණ ඩැහැ ගැනීමට උත්සාහ කළ පුවතක්‌ තිරප්පනේ ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
සිය සොහොයුරාගේ පහ ශේ්‍රණිය ශිෂ්‍යත්ව විභාගයට බෝධි පූජාවක්‌ පැවැත්වීම සඳහා සීයා සමග මෙම දරුවන් මල් කැඩීමට වැවට ගිය මොහොතේ දී මෙම සිදුවීම වී ඇත.

මෙම අත්දැකීමට මුහුණ පා ඇත්තේ තිරප්පනේ නිවාස දහයේ පදිංචි ශලනි වාසනා හා චාමික ප්‍රසාද් යන පුංචි දරුවන් දෙදෙනාය. මොවුන් දෙදෙනා සමග සොහොයුරු කළණ ශ්‍රි සෙනෙවිරත්න පුතුද වැවට ගොස්‌ ඇත.
තමන් අත්විඳි මෙම ත්‍රාසජනක අත්දැකීම විස්‌තර කළ ශලනි වාසනා දියණිය මෙසේ කීවාය.
“මමයි, අයියයි, මල්ලියි තිරප්පනේ වැවේ මල් කඩන්න ගියේ සීයත් එක්‌ක. එදා හවස 4.00 ට විතර ඇති. සීයා නෙළුම් මල් කඩන්න වැවට බැස්‌සා. අපි පිටියේ සෙල්ලම් කළා. එකපාරටම ලොකු උකුස්‌සෙක්‌ පියාඹාගෙන ආවා. මමත් ඌ දිහා බලාගෙන හිටියා. ඌ එක පාරටම ඇවිත් මගේ ඔළුවට තටුවලින් දෙපාරක්‌ ගැහැව්වා. මම කෑගැසුවා. තොප්පියෙන් මම ගැහැව්වා. කෑගහන ශබ්දයට සීයා ආවා. සීයා ගොඩට එද්දි තව පාරක්‌ ඇවිත් මගේ ඔළුවට ගැහැව්වා. ඊට පස්‌සේ වැවේ හිටපු මාමා කෙනෙක්‌ ලීයකින් ගැහැව්වා. ඊට පස්‌සෙ ඌ ගියා. ඌ උඩ කැරකි කැරකි මල්ලි ළඟට එන්න ආවා. එතකොට සීයා මල්ලි අල්ලගෙන හිටියේ. සීයා මඩවලින් ගහලා කෑගහනකොට ඌ ගියා. මට හරිම බයයි.

ශලනිගේ සීයා වන කේ. සුනිල් මහතා මෙලෙස පැවසීය.
“දරුවෝ ගොඩ ඉද්දී මම නෙළුම් කඩන්න වැවට බැස්‌සා. එකපාරට දුව කෑගහන ශබ්දයට මම බලනකොට උකුස්‌සෙක්‌ වගේ එකෙක්‌ දුව වටේ කැරකෙනවා දැක්‌කා. මම දුවගෙන ගිහිං පොඩි පුතා අල්ලාගෙන දුව ළඟට ගියා. දුවගේ ඔළුවට ගහලා පස්‌සෙ ඌ මගේ උඩ කැරකුණා ඒ මගේ ළඟ හිටපු චූටි පුතාව අරගන්න. මම ලී කෝටුවලිනුයි, මඩවලිනුයි ගැහැව්වා. ඒත් ඌ බය නැහැ. උගේ පියාපත් අඩි හයක්‌ විතර ඇති. තටු ලා දුඹුරු පාටයි. ඌ දකිද්දි පුදුම බයක්‌ ඇති වෙන්නේ. කට්‌ටිය කෑගහද්දි තමා ඌ ගියේ.”
ශලිනිගේ මව වන ප්‍රියංකා සෙනෙවිරත්න මෙසේ කීවාය.

“දරුවො හොඳටම බයවෙලා ඉන්නේ. එදා රෑ එළිවෙනකං නින්ද ගියේ නැහැ. දරුවෝ බයවෙලා කෑගහනවා. බය කොච්චරද කියලා දරුවන්ට දැනිලා තියෙනවා ද කියනවා නම් කවදාවත් නැතිව රෑ ඇඳේ දී චූටි පුතාට මළපහ පිටවුණා. පස්‌සෙ තම්මැන්නාගල පන්සලට අරං ගිහින් විෂ්ණු පූජාවක්‌ තිබ්බා. ඇප නූලකුත් දැම්මා. පස්‌සෙ තමයි ටිකක්‌ ඔය හොඳට ඉන්නේ. ඒත් දැන් තනියම ඉන්න බයයි. හවස ගේ ඇතුළට එනවා. මිදුලේ සෙල්ලම් කරන්නත් බයයි. මේ දේ තව දරුවන්ට වෙන්න පුළුවන්. ඒ නිසා මේ සතා ගැන හොයලා ඌ අල්ලලා අරගෙන යන්න බලධාරීන් කටයුතු කළ යුතුයි.

දරුවන් බේරා ගැනීමට ඉදිරිපත් වූ ආර්. ආර්. බණ්‌ඩාර මහතා මෙසේ කීය.
“මම හවස 4.20 ට පමණ තිරප්පනේ වැවේ කිරි හරක්‌ට වතුර දිදී ඉද්දි ළමයෙක්‌ කෑගහන ශබ්දයක්‌ ඇහුණා. බලනකොට උකුස්‌සෙක්‌ට වඩා විශාල කුරුල්ලෙක්‌ ළමයෙකුගේ ඔළුවට ගහනවා. මම ක්‌ෂණිකව දරුවා ළඟට දිව්වා. මගේ අතේ තිබුණ කෝටුවෙන් ඌට ගහද්දි මාව මඟඇරලා ළමයා ළඟට ඉගිලෙනවා. පස්‌සේ මම ළමයා ළඟට ගිහිං අල්ල ගත්තා. ඊට පස්‌සේ කෑගහන ශබ්දයට ඌ ඉගිලුණා. ඒ කුරුල්ලගේ දිග අඩි පහක්‌ හයක්‌ විතර වෙනවා. ලා දුඹුරු පාටයි. මගේ ජීවිත කාලයටම දැකලා නැහැ ඒ වගේ විශාල පක්‍ෂියෙක්‌. මම එදා නොහිටින්න ඒ දරුවාට ලොකු අනතුරක්‌ සිද්ධ වෙන්න තිබුණා.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...