“ආලෝකයාණෝ” අද සවස 6.30 ට නොමිලයේ වේදිකා ගත වෙයි.

-කෝට්‌ටේ ශා. තෝමස්‌ දෙව් මැදුරු වාසීන් සමඟ කොළඹ කලාපීය නාහිමි අති ගරු ඇන්තනි ප්‍රනාන්දු පුල්ලේ පියනම ප්‍රමුඛව කොළඹ දකුණු කලාපීය කිතුනු ජනතාව ඉදිරිපත් කරන වසරේ දැවන්තම පාස්‌කු දැක්‌ම “ආලෝකයාණෝ” නම් වෙයි. අති දැවැන්ත සුවිසල් වේදිකාවක්‌ මත ප්‍රකට හා නවමු නළු නිළියන් 250 කට අධික පිරිසක්‌ රංගනයෙන් දායක වන ආලෝකයාණෝ පාස්‌කු නාට්‍ය අද (29 දා) සවස 6.30 ට කෝට්‌ටේ ශාන්ත තෝමස්‌ විද්‍යාලයීය එළිමහන් රංග පීඨයේදී නොමිලයේ වේදිකා ගතවෙනු ලැබේ. ක්‍රිස්‌තියානි කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළුව තවත් බොහෝ අනුග්‍රාහකයන්ගේ දායකත්වයෙන් ඉදිරිපත් කරන “අලෝකයාණෝ” පාස්‌කු දැක්‌ම පියතුමාගේ දුක්‌ප්‍රාප්ති ජීවිතය ගැඹුරින් විග්‍රහ කරන අතර එය නූතන වේදිකා තාක්‌ෂණය හා ඒකාබද්ධ සජීවි ඉදිරිපත් කිරීමක් වෙයි. ශ්‍රී ලංකාවේ දක්‌ෂ වේදිකා රංග ශිල්පියෙක්‌ සහ අධ්‍යක්‍ෂවරයෙක්‌ වූ ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි “ආලෝකයාණෝ” හි ඡේසුතුමාගේ චරිතය නිරූපනය කරන අතර “ආලෝකයාණෝ” හි මග්ලදාහි මරියාගේ චරිතය පනපොවන්නේ සම්මානනීය සිනමා නිලි වීනා ජයකොඩියි මහත්මියයි.

ගරු සිරිල් ගාමිණී පියතුමාගේ අධීක්‍ෂණය යටතේ අජිත් මෙන්ඩිස්‌ සමඟ සුනිල් කොස්‌තා “ආලෝකයාණෝ” හි පිටපත රචනා කර ඇති අතර වෙස්‌ ගැන්වීම සිදුකරන්නේ ප්‍රකට වේශ නිරූපන ශිල්පී වසන්ත විට්‌ටච්චි ප්‍රමුඛ තවත් අති දක්‌ෂ වේශ නිරූපන ශිල්පීන් කණ්‌ඩායමක් විසිනි. “ආලෝකයාණෝ” හි සංගීතය මෙහෙයවන්නේ හැත්තෑවේ දශකයේ ප්‍රකට සංගීතඥයෙක්‌ වූ මිල්රෝයි ධර්මරත්න සමඟ කසුන් ලියනගේයි. තවද රංගන ශිල්පීන්ට අමතරව දැවැන්ත ගායනා කණ්‌ඩායමක්‌ මෙහි රංගනයේ යෙදෙමින් ගී ගායනා කරන අතර එම ගී රචනා කර ඇත්තේ ප්‍රකට නිර්මාණ ශිල්පියෙක්‌ වූ නුවන් ලියනගේයි. ප්‍රධාන ගායන යුවළ ලෙස ඇන්තනි ඇඩොල්පස්‌ සමඟ අංජලී ජයසිංහ කටයුතු කරනු ඇත. නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් ගරු සචිත ජයලත් පියතුමා කටයුතු කරන අතර, වේදිකා සැළසුම හා නිර්මාණය මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්‌තුවිද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුනන්ද සාගර ජයසිංහයි. නිෂ්පාදන සැළසුම් හා කලා අධ්‍යක්‍ෂණය අජන්ත අලෙහකෝන්ගෙන් වන අතර ආලෝකකරණය හා ශබ්ද තාක්‌ෂණය ඩිජිටල් තාක්‌ෂණය අනුව ඉදිරිපත් කරනු ලැබේ. අලෝකයාණෝ රඟදැක්‌වීම සඳහා කෝට්‌ටේ සැදැහැවත් ජනතාව දායකත්වය සපයන අතර එහි නිර්මාණ මෙහෙයුම සඳහා රුවන් මලිත් පීරිස්‌, ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි, අජන්ත අලහකෝන් හා නුවන් ලියනගේ සහභාගි වෙති. ආලෝකයාණෝ නිෂ්පාදන අධීක්‍ෂණය දකුණු කොළඹ කලාපීය නාහිමි හා කෝට්‌ටේ දේවස්‌ථාන පාලක අතිගරු ඇන්තනි ප්‍රනාන්දු පුල්ලේ පියතුමායි. මෙය සුනිල් කොස්‌තාගේ අධ්‍යක්‍ෂණයක් වේ.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...