මගේ බිරිඳ ‘ආර්යාවක්’ නොවෙයි.. ඇය ගුරුවරියක්.. එපමණයි… – ඉක්වදෝර් ජනපති

තෙවන ලොව නව ආශ්වාදය: රෆායල් කොරයා

ශ‍්‍රී ලංකාව අද වන විට ජාත්‍යන්තර තලයේදී මුහුණ දෙන ප‍්‍රධාන අභියෝගය වන්නේ කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් දෙමළ ජනයා මුදා ගන්නා මානුෂීය මෙහෙයුම් සමයේදී ඇති වූවා යැයි කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම යන චෝදනාවෙන් ගැලවීමයි. මෙම චෝදනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දක්වා රැුගෙන ඇවිත් ඇති හෙයින් තත්ත්වය තවත් බරපතළය. එහිදී මෙතෙක් පැවැති මානව හිමිකම් සාසිවාරවලදී ඉක්වදෝරය ශ‍්‍රී ලංකාව ආරක්‍ෂා කිරීමේ ස්ථාවරයක සිටියාය. ඉක්වදෝරයේ රාජ්‍ය නියෝජිතයා මානව හිමිකම් කවුන්සිලයේදී ප‍්‍රකාශයක් කරමින් පැවසුවේ ‘‘මානව හිමිකම් කඩවීමේදී සිදුවූ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල සඛ්‍යාත්මක අගයන් හා එය සිදු කළේ කවුද යන්න පිළිබඳ සැලකීමෙන් තොරව මානව හිමිකම් කවුන්සිලය පක්‍ෂපාතී ප‍්‍රවේශයක් නොගත යුතුය’’ යනුවෙනි. එසේම ඔහුගේ දීර්ඝ අදහස් දැක්වීම තුළ ‘‘ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ මානව හිමිකම් පිළිබඳවද විමර්ශනය කළ යුතුයි’’ යනුවෙන් පවසමින් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියාය.

ඉක්වදෝරයේ ඉතිහාසය සැකෙවින්

ඉක්වදෝරය තුළ වසර 14000කට කලින් පවා මිනිසුන් ජීවත් වූ බවට සාක්‍ෂි ලැබ තිබේ. එසේම ඉක්වදෝරයේ ප‍්‍රාන්ත ආශ‍්‍රිතව පාලන ක‍්‍රමයක් පැවැති බවටද සාධක තිබේ. එසේම වර්තමාන ක්විටෝ නගරය අයත්වන පළාත ප‍්‍රධාන තැනක් ගන්නේ සූර්යයා සහ පෘථිවිය අතර තිබෙන සම්බන්ධයේදී ක්විටෝව වැදගත් ස්ථානයක් ගන්නා බැවිනි. ප‍්‍රංශ ජාතිකයන් විසින් ඉක්වදෝරයේ ක්විටෝ අසල ඇති ස්ථානයක් නම් කර එම ස්ථානය සමකය හෙවත් අක්‍ෂාංශ 00 0′ 0” රේඛාවේ ආරම්භක ස්ථානය ලෙසත් ලෝකයේ මධ්‍ය ලක්‍ෂ්‍යය ඇති ස්ථානය ලෙසත් නම් කර Equator (සමකය) යන්න සිහිවීමට ඉක්වදෝරය (Ecuador) යන නම තැබීය. දිගු කලක් තිස්සේ ප‍්‍රංශ ජාතිකයන් නිශ්චය කළ ස්ථානය ලෝකයේ මධ්‍ය ලක්‍ෂ්‍යය ලෙස පිළිගත්තද වර්තමානයේ ඇති නවීන තාක්‍ෂණයට අනුව කළ ගණනය කිරීම්වලදී ඔවුන් සමකය ලෙස නම් කර ඇත්තේ 00 0. 7.5.. බව අනාවරණය විය. එසේම නිවැරැුදිම ලෝකයේ මධ්‍ය ලක්‍ෂ්‍යය සහ සමකය විය යුතු 00 0. 0.. රේඛාව ස්වදේශිකයන් විසින් වසර දහස් ගණනකට පෙර ඉතාම නිවැරදිව හඳුනාගෙන ඇති බව අනාවරණය විය. එසේම ලෝකයේ හිරුට ළගින්ම පිහිටි ස්ථානය වන්නේද මෙම ස්ථානයයි. අද වන විට එය ඉක්වදෝර ජාතිකයන් විසින් ඉතාමත් අභිමානයෙන් යුතුව සිහිපත් කරති.

සෘතු භේද ඇති නොවන නවීන කාලගුණ විiා දැනුමට අනුව පවා නිශ්චිතව කාලගුණ අනාවැකි පළ කිරීමට අපහසු කාලගුණික දේශගුණික තත්ත්වයන් සහිත ඉක්වදෝරය ස්වදේශික ජනයා විසින් නිශ්චිතව හඳුනාගනිමින් ඉතාමත් සුඛිත මුදිත දැවැන්ත ශිෂ්ටාචාරයක් ගොඩනගා තිබුණි.

ඉක්වදෝරයේ මුල්ම ආක‍්‍රමණිකයා ස්පාඤ්ඤය නොවේ. අදින් වසර දහස් ගණනකට පෙර පේරු රාජ්‍යය ආශ‍්‍රිතව ගොඩනැගුණු ඉන්කා ශිෂ්ටාරයට අයත් ඉන්කාවරු ක‍්‍රි. ව. 1460දී ක්විටෝ ප‍්‍රමුඛව සමස්ත ඉක්වදෝරය ආක‍්‍රමණය කළහ. ස්වදේශිකයන් තලා පෙළමින් ඔවුන්ගේ මාතෘභූමිය පාලනය කළහ. ඉන්කාවරුන්ගේ පාලනය සුමට වූවක් නොවූ බව හැෙගන්නේ අදද දැනුම් තේරුම් සහිත ඉක්වදෝර ජාතිකයන් ඒ පිළිබඳව පළ කරන අදහස් නිසාවෙනි.

ඉන්කාවරුන් ඉක්වදෝරය යටත් කර වසර 74කට පසුව(ක‍්‍රි. ව. 1534* ස්පාඤ්ඤ ජාතිකයන් ඉක්වදෝරයට ගොඩබසින්නෝය. ස්පාඤ්ඤයෝ ආරම්භයේ සිටම ස්වදේශ ජනයාගේ අනුග‍්‍රහය ලබා ගන්නේ ඔවුන් ඉන්කා ආක‍්‍රමණිකයාගේ පාලනයට සතුටු නොවූ හෙයිනි. ඉන්කාවරුන් සමග ඉතා බිහිසුණු යුද්ධ මාලාවකින් පසු ඉක්වදෝරයේ සමස්ත පාලනය ඔවුන් සතු කරගන්නට සමත් වූහ. එසේම ඉන්කාවරු ගොඩනැ`ගීම ආරම්භ කළ නගර එලෙසම අවසන් කිරීමට ස්පාඤ්ඤවරු කටයුතු කර ඇත. වර්තමාන ජනාධිපති මන්දිරය පවා ඉන්කාවරුන්ගේ සහ ස්පාඤ්ඤවරුන්ගේ මැදිහත්වීමෙන් ගොඩනංවා ඇති බවට ජීවමාන සාධක හමුවේ.

එසේම ක්විටෝ නගරය ලෝකයේ දෙවැනි උසින්ම පිහිටි නගරය ලෙසද (මුහුදු මට්ටමේ සිට අඩි 9360* ඉතිහාසයට එක් වේ.

තවද ඉක්වදෝරය තුළ සක‍්‍රීය ගිනිකඳු තුනක් දක්නට ලැබෙන අතර 1999 වර්ෂයේදී ක්විටෝ නගරයට කි. මී. 14ක් දුරින් පිහිටි එක් ගිනිකන්දක් පිපිරී කි. මී. 8ක් උසට එහි දුම පැතිරුණු බවද වාර්තා වේ.

වත්මන් ඉක්වදෝරයේ දේශපාලන තත්ත්වය

ඉක්වදෝරයේ වර්තමාන ජනාධිපතිවරයා වන්නේ රෆායල් කොරයා මහතාය. පනස්වන වියෙහි පසුවන ඔහු වත්මන් ලෝක නායකයන් අතර ඉතාමත් තරුණවියේ පසුවන නායකයෙකි. ඔහු ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධරයෙකි. ඇමෙරිකාවේ ඉහළම සරසවිය වන ඉලිනෝයි සරසවිය සහ අර්බානා ෂැම්පේන් සරසවිය ඔහු ඉගෙන ගත් විශ්ව විiාලයන්ය. 2007 වර්ෂයේදී පළමුවරට ජනාධිපති ධුරයට පත්වන ඔහු එතැන් පටන් අනුගමනය කළ ආර්ථික දේශපාලනික වැඩපිළිවෙළ තුළ ඉක්වදෝරය දේශපාලන වශයෙන් ස්ථාවරව ඇත. එසේම රට ආර්ථික ජයග‍්‍රහණ රැසක් අත්පත් කර ගනිමින්, ඉදිරියට ගමන් කරමින් ඇත. 2012 වසරේදී රෆායල් කොරයාගේ ජනප‍්‍රියත්වය 80%ක් වූ බව වාර්තා විය. ජනාධිපති ධුරය ලබා වසර 5කට පසුව එතරම් ඉහළ ජනප‍්‍රියත්වයකට හිමිකම් කියන්නේ ෆිදෙල් කස්ත්‍රෝ පමණක්ය යන්න අපගේ හැගීමයි.

2013 වසරේදී ඉක්වදෝරයේ මහ මැතිවරණය පැවැත්වූ අතර එහිදී රෆායල් කොරයාගේ නායකත්වයෙන් යුතු Alianz Patriva I Soberana හෙවත් PAIS සන්ධානය ව්‍යවස්ථාදායකයේ ආසන 137න් 92ක්ම දිනා ගත්තේය. මෙම සන්ධානයේ සිංහල තේරුම වන්නේ ‘‘ප්‍රෞඪ හා ස්වෛරී පීතෘභූමී සන්ධානය’’ යන්නයි.

රෆායල් කොරයා වාමාංශික නායකයෙකි. එහෙත් ඔහු ‘‘ප්‍රෞඪ හා ස්වෛරී පීතෘභූමී සන්ධානය’’ යන්න පෙරට ගෙන ‘‘වාමාංශය’’ යන්න පසුපසට තබා ඇත්තේ දේශපේ‍්‍රමය තුළ, අධිරාජ්‍යවිරෝධය තුළ ජනයා ඔද වඩවා සංවර්ධනයේ පෙරට ගමන් කරන්නට විශාල විභවයක් පවතින බැවිනි. ඇමෙරිකානු බළල් අතක් වූ ඉක්වදෝරය පාලනය කළ දක්‍ෂිණාංශික ආණ්ඩු සහ පාලකයන් නිසාම අධිරාජ්‍යවිරෝධය සහ දේශපේ‍්‍රමය ඉක්වදෝර ජනයා තුළ අලූත් වටයකින් ඔද වැඞීමට අවශ්‍ය බිම සැකසුන බව අපගේ හැගීමයි.

රෆායල් කොරයා වෙනස කළ අයුරු

2007 වසරේ රෆායල් කොරයාගේ සන්ධාන ආණ්ඩුව ජයග‍්‍රහණය කළ වහාම කරනු ලැබුවේ නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමයි. ඔහු ඒ සඳහා ‘‘පුරවැසියාගේ විප්ලවය සඳහා නව පුරවැසි ව්‍යවස්ථාව’’ යන සටන් පාඨය යොදා ගත්තේය. ඔහු ඒ සඳහා ව්‍යවස්ථා සභාවක් පිහිටුවූවේය. නව ව්‍යවස්ථාව නිර්මාණය කිරීමට සිවිල් සමාජය තීරණාත්මක ලෙස දායක කර ගැනීමට ව්‍යවස්ථා සභාව කටයුතු කළේය. එසේ නිර්මාණය කළ ව්‍යවස්ථාව 2008 සැප්තැම්බර් 28 වැනි දින පැවැත් වූ ජනමතවිචාරණයේදී 63.93%ක ඉහළ ප‍්‍රතිශතයකින් ඉක්වදෝර ජනයා අනුමත කරනු ලැබීය.

ඔහුගේ රජයේ ව්‍යවස්ථා සංශෝධනයට මූලික පදනම ලෙස තෝරාගත්තේ ‘‘දේශපාලන, ආර්ථික සහ ඉක්වදෝර පාලන බල සම්බන්ධයෙන් නැවැත ආකෘතිගත කිරීම’’ යන්නයි. ඔහු මේ පදනමේ සිට සැලසුම්කරණය සඳහා ජනතා සහභාගීත්වය, ස්වෛරීභාවය රැකෙන ලෙස රාජ්‍ය කළමනාකරණය, මහජන මුදල් පරිපාලනය රජය විසින් කිරීම, මහජන සහභාගීත්වය දිරිමත් කිරීම සඳහා නව අයිතීන් හඳුනාගැනීම සහ පරිසරය සම්බන්ධ නව අයිතීන් හඳුනාගැනීම යන කාරණාවලට මූලිකත්වය දුන්නේය.

ඉක්වදෝරය, ස්වෛරී රාජ්‍යය

2009 වර්ෂයේදී රෆායල් කොරයාගේ ‘‘මහජන විප්ලවය සඳහා වන ආණ්ඩුව’’ ස්වෛරීභාවය සඳහා නව පනතක් රැගෙන ආවේය. ඒ අනුව එතෙක් කළක් ඉක්වදෝරය තුළ ක‍්‍රියාත්මක වූ සියලූ ඇමෙරිකානු හමුදා කඳවුරු පවත්වාගෙන යාම අත්හිටුවනු ලැබීය.

13%ක්ව පැවැති රජයේ ඛනිජ තෙල් නිෂ්පාදන ආදායම 87%ක් දක්වා ඉහළ නැංවීය එම ආදායම යථාර්ථවත්ව භාවිත කරමින් එතෙක් පාරජාතික සමාගම් විසින් ඉක්වදෝරයෙන් වසරකට රැගෙන ගිය ඩොලර් මිලියන 2.795ක් වූ ආදායම ඉක්වදෝර් පුරවැසියන්ගේ සුභසාධන කටයුතු වෙනුවෙන් සෘජුවම යොදවනු ලැබිණි.

අඩු දුප්පත්කම – වැඩි සමානාත්මතාවය

මහජන විප්ලවය ක‍්‍රියාත්මක වූ පසුගිය වසර 6 තුළ ආදායම නිසා ඇතිවන දුප්පත්කම ඒකක 12කින් පහත වැටුණි. එසේම ආදායම නිසා ඇතිවන අසමානතාවය ඒකක 7කින් පහත වැටුණි. එසේම දුප්පතුන් සහ පොහොසතුන් අතර වන පරතරය ඒකක 10කින් පහත වැටුණි. මෙය වඩාත් තහවුරු වන්නේ මානව හිමිකම් දර්ශකයේ ඉහළට නැගි රටවල් හතර අතරට ඉක්වදෝරයද ඇතුළත්වීම මගිනි. 2006දී ඉක්වදෝරයේ ඉහළම පොහොසතුන් පහළම දුප්පතුන්ට වඩා 37ගුණයකින් ආදායම් උපද්දවා ගෙන තිබුණි. එම අගය 2012දී 26ගුණයක් දක්වා පහත වැටුණි.

ජීවිතයට පෙර ණය

සිවිල් සමාජයෙන් නැගුණ බලවත් ඉල්ලීම හමුවේ ‘‘මහජන විප්ලවයේ ආණ්ඩුව’’, ‘‘මහජන ණය විගණනය කිරීමේ කොමිසම’’ පිහිටුවූවේය. ඒ සඳහා දේශීය සහ විදේශීය සමාජ සංවිධාන සහභාගී වූ අතර එහිදී ඔවුහු බාහිර ණය හේතුවෙන් සමාජ සුභ සාධනයේදී රජය මුහුණදෙන තත්ත්වය විශ්ලේෂණය කළහ. එසේම එමගින් ඇති වන සමාජ අක‍්‍රමිකතාවයන් අධ්‍යයනය කරනු ලැබීය. අවසානයේදී ණය නොමැති තත්ත්වයක් තුළ වූ සංවර්ධනය පිළිබඳ විශ්ලේෂණයට ලක් කළේය.

ඉක්වදෝර් ආණ්ඩුව කොමිසමේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් කියා සිටියේ විදේශයෙන් ගෙන ඇති බොහෝ ණය අසම්මත සහ නීති විරෝධී බවයි. ඒ අනුව නැවත ණය දුන් ආයතන සමග සාකච්ඡුා කිරීමට ඉක්වදෝර ආණ්ඩුව පියවර ගත්තේය. ඒ අනුව ඉක්වදෝර ජනතාවට ඩොලර් බිලියන 2.2ක ඉතිරියක් මූලික වටයේදී ලැබුණු අතර 2030 වන විට ණයවලට ගෙවිය යුතු පොලිය ලෙස ඩොලර් බිලියන 7ක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබේ.

මෙය තවදුරටත් විiාමාන වන්නේ ඉක්වදෝර අයවැයට ණයවලින් සැපයෙන දායකත්වය 2006දී 24%ක් වන විට 2012දී එය 4%ක් දක්වා අඩු කර ගැනීමට හැකියාව ලැබීමයි.

අධ්‍යාපනයෙන් තොර විප්ලවයක් නැත

2008දී සම්මත කෙරුණු ව්‍යවස්ථාවෙන් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය දක්වාම නොමිලේ ලැබිය යුතුය යන්න තහවුරු කළේය. එතැනින් නොනැවතී රජයේ පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ට පාසල් නිල ඇඳුම් සහ පාසල් පෙළපොත් නොමිලේ ලබාගැනීමට අයිතිය දරන්නෝය. වසර 6ක කාලය තුළ සෑම තරාතිරමකම ශිෂ්‍යයන්ට අධ්‍යාපන අවස්ථා ලබාගැනීමට අධ්‍යාපනයට වෙන් කෙරෙන ප‍්‍රතිපාදන 8ගුණයකින් වැඩිකරනු ලැබීය. විශේෂයෙන්ම ඓතිහාසික වශයෙන් සමාජයේ මුලූවලට වීසි වූ ස්වදේශික ජනයාගේ සහ අප‍්‍රිකා ඉක්වදෝර ජනයාගේ අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් දැඩි අවධානයක් යොමු කෙරිණි. පසුගිය ආණ්ඩු 7ක් අධ්‍යාපන ශිෂ්‍යත්ව වෙනුවෙන් වැයකළ ප‍්‍රතිපාදනවලට වඩා 17ගුණයකින් වැඩි ප‍්‍රතිපාදන ප‍්‍රමාණයක් වෙන් කර තිබේ. ඉහළ පාසල්වලට ඇතුළත් වීමට සුදුසුකම් ලබන ළමුන්ට පූර්ණ ශිෂ්‍යත්ව ලබා දී ඔවුන්ගේ අධ්‍යාපන ජීවිතය සාර්ථක කර ගැනීමට උදව් වේ.

ඉක්වදෝර ජනයාගේ ජීවන තත්ත්වය උසස් කරලීම

මහජන සෞඛ්‍යය සඳහා රජය යොදවා තිබූ අවධානය පසුගිය කාලය තුළ දෙගුණයකින් වැඩි කර තිබේ. එසේම සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය තුළ ඒක පුද්ගල ආයෝජනය තුන්ගුණයකින් පමණ වැඩිකර තිබේ 2006 – 2011 කාලයේදී 115,000ක් වන ආබාධ සහිත ජනතාවක් සඳහා සුභසාධනය ලබා දී ඇති අතර වැඩිහිටියන්ට ලබා දෙන විශ‍්‍රාම වැටුප 2006 වසරේදීමෙන් තුන්ගුණයක් වන සංඛ්‍යාවකට වැඩිහිටියන් පිරිසකට ලබා දෙයි. ඉතිහාසයේ පළමුවතාවට ඉක්වදෝරයේ පවුලකට ලැබෙන මාසික වැටුප එම මාසයේ මූලික යැපීම් සඳහා ප‍්‍රමාණවත් බව සමීක්‍ෂණයකින් හෙළිවී තිබේ.

සැමට ගෞරවනීය රැකියාවක්

ඉක්වදෝර ඉතිහාසය තුළ අඩුම රැකියා වියුක්තිය දැන් වාර්තා වී තිබේ. එසේම එය දකුණු ඇමෙරිකාව තුළද අඩුම අගය ගන්නා රටයි. මහජන විප්ලවය කාලය තුළදී කම්කරු ශ‍්‍රමය පෞද්ගලික ආයතන හරහා ලබා ගැනීම තහනම් කර තිබේ. කම්කරුවා සමාජ ආරක්‍ෂාව තුළට ගොනුකිරීම අනිවාර්යය කර තිබේ. මෙම නීතිවල ප‍්‍රතිඵලයක් ලෙස මිලියන 1.327 පවුල් සංඛ්‍යාවක් සමාජ ආරක්‍ෂණය සහ සුභසාධනය භුක්තිවිඳිති. එසේම කසල සෝදනය, ආකර සහ සත්ත්ව ඝාතකාගාරවල ළමුන්ට රැකියා කිරීම තහනම් කර ඇත. ඒ අනුව 500000ක් වූ දරුවන් සහ යෞවනයන්ගේ රැකියා තහනම් කරනු ලැබීය.

විගමනික ඉක්වදෝර ජනයාට රට ගැන නැවැත සිහිවීම

ඉතිහාසයේ පළමුවතාවට විගමනික ඉක්වදෝර ජනයා වෙනුවෙන් ජාතික සභාවේ අසුන් 6ක් වෙන්වුණි. ඒ අනුව ව්‍යවස්ථාදායකයේ ඔවුන්ගේ නියෝජනය තහවුරු කෙරිණි. මේ සඳහා 2007 මාර්තුවේදී විගමනිකයන් සඳහා වන ජාතික ලේකම් කාර්යාලය පිහිටු විය. එමගින් දහස් ගණන් වන එතෙර රටවල රැකියා කළ ඉක්වදෝර ජනයාට ආපසු රටට ඒමට සහ පැමිණ ජීවිතය ඇරඹීමට අවශ්‍ය මූල්‍ය සහනයත් රුකියා ඇරඹීමට තාක්‍ෂණික සහායත් ලබා දුනි. එපමණක් නොව විදෙස් කටයුතු අමාත්‍යාංශය අලූතින් ආරම්භ කළ මානව සංචලනය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයකු යටතේ එම කටයුතු අධීක්‍ෂණය සිදු වේ. ඉක්වදෝර විගමනිකයන්ගෙන් වැඩිම පිරිසක් ජීවත් වන ස්පඤ්ඤයේ විගමනිකයන්ගේ ඡුන්දවලින් 85%ක්ම ලබා ගැනීමට රෆායල් කොරයා සමත් විය.

මහා ජාතියක ජනතාවගේ එතමුතුකම ශක්තිමත් කිරීම

ඉක්වදෝරය ලතින් ඇමෙරිකානු කලාපයේ සමෝධානයක් පිළිබඳ දැඩි විශ්වාසය තබා ඇති රටකි. ඒ සඳහා ඉක්වදෝරය සහයෝගිතාවය සහ සහජීවනය යන පදනම මත ක‍්‍රියාත්මක වේ.

රෆායල් කොරයාගේ විප්ලවය ජනතාවට දැනෙන අයුරු

ඉක්වදෝරයේ මිනිසුන් මෑත කාලයේදී ඉතා දුක්බර ජීවිත ගත කළ වූවෝ වෙති. රෆායල් කොරයාගේ ආණ්ඩුව පත්වීමට පෙර ගත වූ පාලන කාලයන් ඔවුන්ට සුභදායක වූවේ නැත. චෙව්රෝන් නැමැති බහුජාතික ඛනිජ තෙල් සමාගම ඉක්වදෝරයට කළ හානිය සුළුපටු නොවේ. ආර්ථිකයට කළ හානිය, ජන ජීවිතයට කළ හානිය පමණක් නොව සමස්ත ඉක්වදෝර පරිසරයටම චෙව්රෝන් සමාගම කළ හානිය ගණන් බැලීමට පවා අපහසුය. ඔවුහු ඉක්වදෝරයේ ජල සම්පත භාවිතයට ගත නොහැකි තරම් ¥ෂ්‍ය කළහ. ඊට සමාන්තරව වායු ¥ෂණයද ඉහළ අගයකින් සිදු කළේය. මේ සියල්ල ආපසු හැරුණේ මහජන විප්ලවය සක‍්‍රිය වීමෙන් පසුවය. මහජන විප්ලවය ඇත්තටම ජනයාට දැනෙන්නේ කෙසේදැයි සෙවීමේ අරමුණින් ඉක්වදෝර ජනයා සමග බස්රියේදී, කඩපොළේදී අදහස් හුවමාරු කර ගන්නට අපි පෙළඹුනෙමු.

එහිදී අවස්ථා කිහිපයකදී අපිට දකින්නට ලැබුණේ පාසල් යන වයසේ දරුවන් ක්විටෝ නගරයේ රස්තියාදු වෙමින් සිටින ආකාරයයි. ඔවුහු ගණනින් 15ක් විස්සක් පමණ වන්නට ඇත. එහෙත් එය සමාජයක අනාගතයට යහපත් දෙයක් නොවන බැවින් ඒ පිළිබඳ සාමාන්‍ය ජනයාගේ අදහස් කෙසේ දැයි දැනගන්නට උත්සුක වුණෙමු. එහිදී වයසින් මුහුකුරා ගිය යම් අධ්‍යාපන මට්ටමක් ලැබූ ඉක්වදෝර ජාතිකයන් තෝරාගන්නට අපි උත්සුක වුණෙමු. ඔවුන්ගේ පොදු අදහස වූයේ පාසල් යන වයසේ දරුවන් පාසල් නොයෑම ඔවුන්ට හිසරදයක් වී ඇති බවයි. එම දුප්පත් දරුවන්ට අධ්‍යාපනය නොමිලේම ලැබීමට අවශ්‍ය සියලූ පහසුකම් රජය සලසා ඇති වුවද එම තත්ත්වය වෙනස් නොවීමට බලපාන හේතු ලෙස ඔවුන් දකින්නේ සමාජය තුළ කිඳාබැස ඇති ආකල්ප සහ අලූත් තත්ත්වයන්ට අනුව වෙනස් නොවීමට ඇති අකමැත්තයි. කෙසේ වෙතත් අගනගරයෙන් පිටතට වන්නට මෙම තත්ත්වයේ කැපී පෙනෙන වෙනසක් සිදුවී තිබේ.

ඉක්වදෝර ජාතිකයන් වෙතින් අප දුටු (විශේෂයෙන් මා සමග ගැටුණු උගත්කමක් සහිත වූවන්) විශේෂත්වය වන්නේ ඉක්වදෝරය පිළිබඳව ගැඹුරට හදාරන්නට අප ගන්නා උත්සාහය ඔවුන් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා බවයි. අදහස් හුවමාරුවෙන් පසු සමුගන්නා විට ඔවුන් අතැති කුමක් හෝ දෙයක් සමරුවක් ලෙස අපහට දෙන්නට ඔවුන් පැකිළුනේ නැත.

ලෝක තරුණ සහ ශිෂ්‍ය උළෙල පැවැති පළමු දිනයේදී සංවිධානය කර තිබූ රැලිය අවසානයේදී පැවැති සමුළුව ඇමතීමට ජනාධිපති රෆායල් කොරයා පැමිණියේය.
5000කට වැඩි විදේශික තරුණ තරුණියන් පිරිසක් මැදට ජනාධිපතිවරයා පැමිණියේ එක් පරිවාර රථයක් පමණක් සහිතවය. සමස්ත ආරක්‍ෂක භට කණ්ඩායම 25ක් වත් නොවූ බව මගේ හැගීමයි. ඔහු තමාගේ ව්‍යක්ත කතාව තුළ කලාපයේ ස්වෛරීත්වය සහ ආර්ථික නිදහස වෙනුවෙන් ඉක්වදෝරය සතු වගකීම සහ එය ඉටු කිරීම සම්බන්ධව අදහස් දක්වනු ලැබීය.

ඉක්වදෝරය සම්බන්ධව උනන්දුව දක්වන විදෙස් නියෝජිතයන්ගෙන් තෝරාගත් පිරිසකට ඉක්වදෝරයේ විදෙස් කටයුතු මානව සංචලනය පිළිබඳ අමාත්‍ය රිකාඩෝ පටිනෝ කන්සිජර් මහතා සමග උදෑසන භෝජන සංග‍්‍රහයකට අපට ආරාධනා ලැබුණි. එහිදීද සමස්ත ඉක්වදෝර ජනයා කලාපයේ එකමුතුව වෙනුවෙන් දක්වන කැපවීම දෙවැනි වන්නේ තමාගේ රට ඉහළට එසවීමේ කාර්යයට පමණක් බව ඉතා පැහැදිලිව අවධාරණය කළේය.

ඉක්වදෝරයේදී අපට හමුවූ ඉක්වදෝර වැසියාගේ ආගන්තුක සත්කාරය ගැන යහපත් හැගීමක් ජනිත කරවීමට සමත් වූ අක්ක නගෝ දෙදෙනා ගැනද සඳහන් කළ යුතුය. එදින අප ඉක්වදෝරයේ ගෙවන දෙවන දිනය වූ බැවින් අපගේ නවාතැන් පොළට යාමට සූදානම් කර තිබූ බස්රථ පිළිබඳව අවබෝධයක් නොවීය. රාත‍්‍රිය එළඹුනද ධාරානිපාත වර්ෂාව නිසා අපට අපගේ නවාතැන් සොයා ගැනීමට අපහසු විය. එනිසා අපි ඉක්වදෝර ජාතික කාන්තාවක් වූ සමුළුවට සහභාගී වූ අයකුගෙන් උපකාර පැතුවෙමු. එහිදී ඇය කියා සිටියේ ඇයගේ වැඩිමහල් සොයුරිය ස්වල්පවේලාවකින් එම ස්ථානයට පැමිණෙන බවත් ඇය අපව නවාතැන්පොළට රැගෙන යනු ඇති බවත්ය. ගමන අතරතුරදී ඔවුන් සමග දොඩමළු වූ අපට ඔවුන් පවසා සිටියේ ඔවුන්ගේ විමුක්තිදායකයා ලෙස සලකන්නේ රෆායල් කොරයා බවයි. රෆායල් කොරයා එතරම්ම ජනතා හදවත්වලට කිඳා බැස හමාරය.

තවත් දිනයක අපට ඉක්වදෝරයේ ජාතික සරසවියකින් ජනමාධ්‍ය සහ ඉතිහාසය පිළිබඳ උපාධියක් සහිත තරමක් තලතුනා වියෙහි වූ පුද්ගලයකු හමු විය. ඉතා විනෝදකාමී අයකු වූ ඔහුගෙන් වරක් මෙසේ ඇසුවෙමු. ‘‘හියුගෝ චාවේස් මියගියා. එහෙත් ඔහු ජාත්‍යන්තරවාදියකු ලෙස ගොඩනැගූ විශාල බලය රැකගැනීම සහ සංවර්ධනය කිරීම පැවරී ඇත්තේ රෆායල් කොරයාට නේද?’’ ඔහු එක්වරම අපගේ මුහුණ දෙස බලා උපහාසාත්මක සිනහවකින් මුව සරසාගෙන ‘‘හියුගෝ චාවේස් නායකත්වයට ආවේ වීදිය හරහායි. නමුත් රෆායල් කොරයා එහෙම කෙනෙක් නොවෙයි. ඔහු විද්වතෙක්, විශ්වවිiාල දෙකකින් උපාධි ලැබූ ආචාර්යවරයෙක්. ඔහු ඔහුගේ වගකීම අකුරටම ඉටුකරාවි. නමුත් ඒ හියුගෝ චාවේස්ගේ ආකෘතියටම නොවේ’’ යැයි කීය.

ඔහුට අනුව රෆායල් කොරයා යනු අපූරු පුද්ගලයෙකි. ඔහු ජනපති වූ වහාම ප‍්‍රකාශ කර ඇත්තේ ඉක්වදෝරයට ජනපති ආර්යාවක් නැති බවයි. ඔහු පවසා ඇත්තේ ගුරුවරියක වූ තම බිරිඳට ඉතා සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ඉඩ සලසා ඇති බවයි. පාන්දර 5 සිට රාත‍්‍රී 12 දක්වා රාජකාරි කටයුතු වල නියැලෙන ජනපතිවරයා සෙනසුරාදා දින වරුවක් තම දරුවන් සහ බිරිඳ සමග ගත කිරීමට කාලය අනිවාර්යයෙන් වෙන් කොට ඇත.

ජනපති වැටුප ඩොලර් අටදහස් ගණනක සිට හාරදහස් ගණනක් දක්වා අඩු කරගත් ඔහු සාමාන්‍ය පොලිස් කොස්තාපල් වරයකුගේ වැටුප ඩොලර් 400යේ සිට ඩොලර් 1200 දක්වා වැඩි කිරීමට කටයුතු කොට ඇත.

චෙව්රෝන් සමාගම ඉක්වදෝරයේ තෙල් සම්පත සූරාකෑමේදී ඔවුන්ගේ වන සම්පතට පරිසරයට කළ හානිය පිළිබඳව දැවැන්ත විවේචන එල්ල කිරීමට කොරයා සමත් විය. එය මහා බලයක් දක්වා වර්ධන කර අවසානයේදී චෙව්රෝන් සමාගමට ඉක්වදෝරය අත්හැර යන්නට කටයුතු සිදු කළේය.

එහෙත් තෙල් සම්පත තම මව්බිමේ දියුණුව වෙනුවෙන් භාවිත නොකර සදාකාලික කැලයට යටවීමට ඉඩ දී බලා සිටීමටද ඔහු සූදානම් නැත. අවම පරිසර හානි යටතේ ඔහු තෙල් සම්පත ඉක්වදෝර පොලොවෙන් උඩට ගත්තේ මහජනයා සුඛිත මුදිත කිරීමේ උත්තුංග පරමාර්ථය සහිතවය.

ප‍්‍රශ්නය ඇත්තේ ඉක්වදෝරයේ අන්තගාමී පරිසරවේදීන්ගෙන්ය. රෆායල් කොරයාගේ ආණ්ඩුවට විවේචන එල්ල කරන ඔවුන් එම විවේචන ජනපති මන්දිරයේ පෝටිකෝවට ගොඩවෙන පඩිපෙළ අසලටම රැගෙන එන උද්ඝෝෂණ බවට පත් කර තිබේ. ශබ්ද විකාශන යන්ත‍්‍ර යොදා ගනිමින් පැය ගණනක් තිස්සේ ජනපති මන්දිරය අසලම උද්ඝෝෂණය කරන ඔවුන්ට රබර් උණ්ඩ, වතුර බවුසර් හෝ සන්නද්ධ පොලූ හමුදාවක් යොදා පහර දෙන්නට හෝ ජනාධිපති මන්දිරයේ ආරක්‍ෂාවට ඔවුන් තබන්නට හෝ පියවර ගෙන නැත. එය අපට නම් ඇස් අදහාගත නොහැකි කරුණකි. අපගේ නිගමනය වූයේ උද්ඝෝෂණයේ යෙදෙන්නන් මෙන්ම බලධාරීන්ද නීතිමය රාමුව උපරිමයෙන් රැුකීමට උත්සුක වන බවයි.

මහජන සමාගම්

ඉක්වදෝරයේ ස්වදේශික ජනයා ජීවත් වන ඉබාරා නම් ප‍්‍රදේශයට සංවර්ධනයේ අරුණළු වැටී ඇත්තේ සෙමින් සෙමින්ය. ඇමෙරිකානු හිතවාදී පාලකයන්ට ගැමි ජනයාගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට අවශ්‍ය නැත. එහෙත් නව ආණ්ඩුව ඉක්මන් කටයුත්තක් සේ සලකා ස්වදේශිකයන් ජීවත් වන ප‍්‍රදේශ සංවර්ධනයට තෝරාගෙන තිබේ. ඒ සඳහා ඔවුහු පළමුව විශාල අත්හැර දැමූ ඉඩම් සහිත යාචායි ප‍්‍රදේශය තෝරාගත්හ. එම ප‍්‍රදේශයේ ඇති ඉක්වදෝරයේ පළමු ජනපතිවරයාට අයත්ව තිබූ කර්මාන්තශාලාවක් සහිත ඔහුගේ නිල නිවාස අයත් වසර සිය ගණනක් පැරණි ගොඩනැ`ගිලි සංකීර්ණය තෝරාගත්හ. ගොඩනැ`ගිලිවල පෞරාණික බවට කිසිදු හානියක් නොවන අයුරින් ඔවුහු නව විශ්වවිiාලයක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටිති. එයට සමගාමීව කර්මාන්ත පුරයක්, ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයක් සහ නිවාස සංකීර්ණයක් ඇතුළු දැවැන්ත ඉදිකිරීම් දැනටමත් ආරම්භ කර ඇත. එම කර්මාන්ත පුරය සහ ඉදිවන නව නගරය යා කිරීමට අවශ්‍ය අධිවේගී මාර්ගයද ඔවුහු ඉදිකරමින් සිටිති. නමුත් එම මාර්ග ඉදිවන්නේ සාම්ප‍්‍රදායික ගොවිබිම් විනාශ කරමින් නම් නොවේ. එම අධිවේගී ම`ග අත්‍යවශ්‍ය බව සියුම් නිරීක්‍ෂණයේදී පෙනී යයි.

ඉක්වදෝරය පේරු රාජ්‍යය සහ මෙක්සිකෝව සමග දේශසීමා යුද්ධවලට මැදිහත් වූ රටකි. එනිසාම ඔවුන් සතු අතිශය සුන්දර වූ දුම්රිය මාර්ග පද්ධතිය බරපතළ ලෙස විනාශ වී තිබේ. යාචායි ප‍්‍රදේශය හරහා ද මෙම දුම්රිය මාර්ග පද්ධතිය වැටී තිබේ.

යාචායි ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතු සිදු කරන්නේ මහජන සමාගමක් විසිනි. ඔවුහු තමන් සතු සම්පත් නිශ්චිත ලෙසට හඳුනාගැනීමට සමත්ව සිටිති. දැනට සංචාරක කර්මාන්තයට පමණක් සීමා වී තිබුණු අපේ රටේ පුංචි කෝච්චිය සිහිගන්වන ඉක්වදෝරයේ දුම්රිය පද්ධතිය යාචායි සහ ක්විටෝව යා කරන ප‍්‍රවාහන මාර්ගයක් බවට දියුණු කිරීමටද පිඹුරුපත් සකසා තිබේ.

යාචායි විශ්වවිiාලය ඉදි වූ පසු කලාපයේ විශාලතම විශ්වවිiාලය වන බවට සැකයක් නැති තරමි වූ විශාල භූමි ප‍්‍රදේශයක් පුරා එය පැතිරී තිබේ. එය දුටු අප මහජන සමාගමේ නිලධාරියකුගෙන් මෙසේ ඇසුවෙමු. ‘‘යාචායි විශ්වවිiාලය කලාපයේ විශාලම විශ්වවිiාලය වනවා නොඅනුමානයි නේද?’’ ඔහු උපහාස සිනහවකින් පවසා සිටියේ, ‘‘අපට විශාලම විශ්වවිiාලය වීමට අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය ඉදිරි වසර 25 තුළ ලෝකයේ හොඳම විශ්වවිiාල සියය අතරට ඒමටයි’’ යනුවෙනි.

ලොකුම, උසම, වැඩිම ආදී වශයෙන් නාම විශේෂණ තබා දේශපාලකයන්ව අන්දවන අපේ නිලධාරී තන්ත‍්‍රයට වඩා යාචායි නිලධාරීන්ගේ දැක්ම කෙතරම් ඉදිරිගාමීදැයි අපට හැගුණි.

අවසනයේදී ඉක්වදෝරයෙන් පිටවන මොහොතේ අපට සිහිපත් වූයේ රෆායල් කොරයා මහතා ‘‘අපට රත‍්‍රන් මල්ලක් මත සිටගෙන හි`ගන්නන් විය නොහැකියි’’ යනුවෙන් වරක් පැවසූ වැකියයි. එසේම ඔහු සහ ඔහුගේ ආණ්ඩුව රත‍්‍රන් මල්ලේ රත‍්‍රන් හොරෙන් ගෙන තම පවුලේ පෝෂණයට යොදා නොගැනීමටත් තමන් රත‍්‍රන් මල්ලේ භාරකරුවා පමණක් වන බවත් අවධාරණය කර ගනිමින් ජාතියක් ලෙස ඔවුන් සතු ජාත්‍යන්තර වගකීමද ඉටු කිරීමට ඉක්වදෝර ජාතිය මෙහෙයවන බවකි.

ජීවන්ත ජයතිස්ස,
සම්බන්ධීකරණ ලේකම්,
ශ‍්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගීතාවය
jeewanthaj@yahoo.com
source- lankaCnews

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...