එල්ලුම් ගහේ හා අලුගෝසුවන්ගේ අතීත කතා.

ලංකාවටම එල්ලුම් ගස් තියෙන්නේ දෙකකි. එකක් වැලිකඩ බන්ධනාගාරයේය. අනික බෝගම්බර බන්ධනාගාරයේය. මරණීය දණ්ඩනය නතර කිරිමත් සමඟ එල්ලුම් ගස් දෙකටම විවේක ලැබී ඇත. එල්ලුම් ගහට නිවාඩු ලැබුණත් එල්ලුම් ගහ ක්‍රියා කරවන අලුගෝසුවාට නිවාඩු නැත.

ඔහු රාජකාරියට පැමිණිය යුතුය. කලක් පුරප්පාඩුව පැවැති අලුගෝසු (වධක) තනතුරට තුන්වැනි වරටත් පුද්ගලයකු පත්කර ගත්තේය. වීරයකු මෙන් රැකියාවට පැමිණි ඔහු පුහුණුවීම් අතරතුරේම අලුගෝසු තනතුර හැර දමා යන්නට ගියේය.

අලුගෝසු තනතුරේ වැඩ බාර ගත් අනුරාධපුරයේ පී. එස්. යූ. ප්‍රේමසිංහ නමැති අයට තම වෘත්තියට අදාළව පෙර පුහුණුවක් ලබාදීමට බන්ධනාගාරය කටයුතු කළේය. විනය, තනතුරු දෙපාර්තමේන්තු ව්‍යුහය, උසස් නිලධාරී හමුවේ කතා කළ යුතු ආකාරය, ආචාර විධි ආදිය පිළිබඳ පූර්ව පුහුණුවක් ද ඔහුට ලබා දෙන ලදී.

ඒ අතරම කොයියම්ම මොහොතක හෝ එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරිමට සිදුවුවහොත් ඒ සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමට ද බන්ධනාගාරය සූදානම්ව සිටියේය. ඉකුත් දවසක එනම් ප්‍රේමසිංහ අලුගෝසු තනතුරේ පත්වීම ලැබ දින තුන හතරකට පසුව නිලධාරීහු ඔහු එල්ලුම් ගහ බලන්නට රැගෙන ගියහ.

මරණීය දණ්ඩනය ලැබ සිටින සිරකරුවන් රඳවා තැබෙන්නේ චැපල් වාට්ටුවලය. වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම් ගහ ඇත්තේ චැපල් වාට්ටුවේ සී 3 කාමරයේය. රැඳවියන් වාට්ටුවල දමා සිටි නිසා එදින ප්‍රේමසිංහට එල්ලුම් ගහ දකින්නට සිදුවූයේ පහළ ලෑලි දොරක හිඩැස් අතරිනි.

කෙසේ වුවත් නව අලුගෝසුවා එල්ලුම් ගහ ළඟට යන්නටත් පෙර පලා ගියේය. ඒ ඇයි? මේ ප්‍රශ්නයට පිළිතුර කුමක් දැයි දැන ගැනීමට අපි ඔහු සොයන්නට බොහෝ උත්සාහ දැරුවෙමු. එහෙත් එය ව්‍යාර්ථ විය.

වසරින් වසර නොව වසරකට දෙවරක්වත් ඉල්ලුම් පත්‍ර කැඳවමින් අලුගෝසු තනතුරේ පුරප්පාඩු පිරවීමට සිදු වුවද අතීතයේ එනම් එල්ලුම් ගහ ක්‍රියාත්මක වූ කාලයේ නම් එවැනි ගැටලුවක් පැන නැගී නැත. එයට හේතුව වී ඇත්තේ එකල මෙය පරම්පරාවෙන් පරම්පරාවට පැමිණි රැකියාවක් වූ බැවිනි.

මරණ දඬුවම පිළිබඳව සම්මත වූ ආඥා පනත අනුව එක්දහස් හත්සිය හැත්තෑ නවයේ සැප්තැම්බර් 23 සිට ප්‍රාණය නිරුද්ධ වනතුරු ගෙලෙන් එල්ලා වරදකරුවන් මැරීමේ නීතිය ක්‍රියාත්මක වූ අතර මුල්ම එල්ලා මැරීම වාර්තා වන්නේ 1812 පෙබරවාරි 10 දිනය.

එසේ එල්ලා මරනු ලැබූයේ ඉංග්‍රීසින්ට විරුද්ධව කටයුතු කර වැරැදිකරු වූ ඉංගිරියේ කළුඅප්පු නමැත්තාය. එකල එළිමහන් පෝරකයක් වූ කැලණිය පෑලියගොඩ තිබූ පෝරකය මේ සඳහා භාවිත කර ඇත. ඒ කාලයේ අලුගෝසුවාට ගෙවු මුදල ද පවුම් 3 කි. අලුගෝසුවාගේ නිල ඇඳුම සඳහා පවුම් දහයක් ද මරණයට ලක්කරන ලද කළුඅප්පුගේ විශේෂ ඇඳුම සඳහා පවුම් හතරක් ද වැය කර ඇත.

අලුගෝසු තනතුර සඳහා 1935 සිට පරම්පරාවෙන් පැමිණි පිය පුතු දෙදෙනෙක් සේවය කළෝය. ඒ අතර එක්දහස් නවසිය හතළිස් නවයේ දී ඔවුන්ගේ අත්උදව්වට පැමිණි ඥාති කොලු ගැටයෙක් පසු කලෙක අලුගෝසු තනතුරට පත්වූයේය. ඔහු හීන්දෑරි පුද්ගලයකි. නමින් ලුවිස් සිංඤෝ නම් වූ ඔහු එක්දහස් නවසිය හැත්තෑ නවය වනතුරුම වැලිකඩ හා බෝගම්බර බන්ධනාගාර දෙකේම අලුගෝසුවා ලෙස සේවය කළේය.

බන්ධනාගාර ඉතිහාසය පිළිබඳව තොරතුරු සෙවීමේදී පෙනෙන්නේ මුල්ම අලුගෝසුවා ලෙස සේවය කර ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බවය. 1885 සිට 1976 කාලය තුළ එල්ලා මරා දමා ඇති පුද්ගල සංඛ්‍යාව 2173 කි.

උසාවියෙන් තීන්දුව ලද පමණින් හෝ දඬුවම ක්‍රියාත්මක වන දිනය පැවැසු පමණින් අලුගෝසුවාට වැරැදිකරු එල්ලා මරා දැමිය නොහැකිය. ඒ සඳහා ද අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියක් තිබේ.

මරණ දඬුවම නියම කළ පුද්ගලයා බන්ධනාගාරයට පැමිණීමේ දී බාර ගනු ලබන්නේ ජේලර්වරුන් දෙදෙනෙකු විසිනි. මේ සිරකරුවා එල්ලා මරණ දිනයේ දී එම ජේලර්වරුන් දෙදෙනා හෝ එක් අයකුවත් සිටිය යුතුය. මරණ දඬුවමට නියම වූ සිරකරු එල්ලා මරා දැමීමට පෙර දිනයේ සිරකරුගේ උස හා බර මැනිය යුතුය. එමෙන්ම එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට පෙර එහි තත්ත්වය විමසා බැලිය යුතුය.

එල්ලුම් ගහේ තෙල් හෝ ග්‍රීස් ගල්වා තිබේදැයි බැලීම මෙන්ම සිරකරුගේ බරට සමාන බර ඇති වැලි ගෝනියක් හා මිනී පෙට්ටියක් සූදානම් කරන ලෙස ප්‍රධාන ජේලර් විසින් ගබඩා භාරකරු වෙත දැනුම් දීම ද කළ යුතුය. මේ සියල්ල කැරෙන අතරතුරේ වධකයා හෙවත් අලුගෝසුවාට අයත් කාර්ය භාරයක් ද වේ.

සිරකරුවකු එල්ලා මැරීමේ දී අත්‍යවශ්‍ය ආම්පන්න ඇත. එම භාණ්ඩ තොගයත් වැලිකඩ බන්ධනාගාරයේ අදටත් තිබේ. අලුගෝසුවා විසින් පාලනාධිකාරියේ දැනුම්වත් කිරීම් මත ගබඩාවෙන් ලබාගත යුතු දේ අතර කඹය, අත්බැඳීමේ උපකරණය, තොප්පිය හා විශේෂ ඇඳුම, ඇඳුම් සහිතව සිටින සිරකරුගේ බර හා සම බරක් සිටින සේ වැලි පිරවිය හැකි මල්ලක්,

රට හුනු කෑල්ලක්, නොකැඩී තොණ්ඩුව රඳවා තැබීමට පමණක් ශක්තිමත් නූලක්, හම් කකුල් පටියක් මෙන්ම මැනුම් පටියක් හෝ මැනුම් පොල්ලක් ද තිබිය යුතු ය.

සිරකරු එල්ලා මරා දැමීමට නියමිත දිනයට පෙර දිනයේ දහවල් දොළහ වන විට අලුගෝසුවා රාජකාරියට වාර්තා කළ යුතු ය. නැවත පසුදා සිරකරු එල්ලා මරා දැමීම අවසන් වනතුරු ඔහුට බන්ධනාගාරයෙන් බැහැර යෑමට අවසර නැත. එල්ලුම් ගහ සහ අවශ්‍ය අනෙකුත් උපකරණ සියල්ල හොඳ තත්ත්වයෙන් තිබේදැයි යන්න පිළිබඳව ජේලර් අලුගෝසුවා සමඟ ගොස් පරීක්ෂා කර බැලිය යුතු වේ.

එල්ලා මැරීම සිදුකරන දා හිර ගෙදර නිහඬය. සෙසු සිරකාරයන්ට ද මරණ බිය මෙන්ම තමන් සමඟ එකට සිටි මිතුරාගේ වෙන්ව යාම දැනෙන්නේය. සාමාන්‍යයෙන් උදෑසන පහේ සිට නවය වනතුරු හිරගෙදර ඝණ්ඨාරය හැඬවෙන්නේ නැත. උදෑසන අටයි පහට සිරකරු එල්ලා මැරීමට නියමිතය.

පළපුරුද්ද හා අත්දැකීම් අනුව අලුගෝසුවාට එල්ලා මරණ මිනිසා එල්ලු සැණින් මියගොස් ඇතිදැයි යන්න කීමේ හැකියාවක් එකල තිබී ඇත.

“මං අහලා තියෙනවා ලුවිස් සිංඤෝ මිනිහෙක් එල්ලුවට පස්සේ ඒ කඹේ අල්ලලා බලලා කියනවලු දැන් හරි කියලා.”

අතීතය ගැන අසා ඇති තොරතුරක් බන්ධනාගාර නිලධාරියෙක් පැවැසුවේය.

ලුවිස් සිංඤෝ පිළිබඳව අතීතයේ බොහෝ දේ ලියැවුණේය. තවත් බොහෝ දේ නොලියවුණේය. මේ ඔහු ගැන තවත් කතාවකි. ලුවිස් සිංඤෝ අලුගෝසුකම කරන දිනයේ හීන් අඩියක් ගසන බව ද ඇතැම් විට එල්ලා මරා දැමු පුද්ගලයාගේ ද සිරුර සමඟ ඔහු කඹය දිගේ පහළ මේසය ඇති කාමරයට ම බසිනා බව ද ඒ කතාවලින් කියැවේ. එහෙමත් නැත්නම් එල්ලා මරා දැමුණු මිනිසාගේ කකුල් දෙකේ එල්ලී ඔහු ද පහළ කාමරයට බැස ඇත. අතීතයේ විසු ලුවිස් සිංඤෝ අලුගෝසුවා එවැනි චරිතයක් වුවද අද අලුගෝසු තනතුරට පැමිණෙන්නන් එල්ලුම් ගහ පාමුලට යන්නටත් පෙර පලා යන්නන්ය.

ලුවිස් සිංඤෝ එම තනතුරෙන් විශ්‍රාම ගැනීමත් සමඟ ඔහුගේ පරම්පරාවෙන් කිසිවෙක් ඒ සඳහා ඉදිරිපත් වී නැත. එක්දහස් නවසිය හැත්තෑ නවයේ දී ගැසට් නිවේදනයකින් ඉල්ලුම්පත් කැඳවා රංජිත් විජේතුංග නමැත්තෙකු අලුගෝසු තනතුරට බඳවා ගනු ලැබීය. ඔහු විශ්‍රාම යෑමෙන් පසු ඔහුගේ පුතු වූ සුමේධ විජේතුංග මේ තනතුරට පත් වූයේය. දැන් ඔහු අලුගෝසු තනතුරේ නැත. නමුත් ඔහු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේම සේවය කරන්නේය.

එක්දහස් නවසීය හැත්තෑ හතෙන් පසුව මෙරට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වී නැත. බෝගම්බර බන්ධනාගාරයේ දී අවසානයට එල්ලා මරා දැමුණු පුද්ගලයා වූයේ තිස්මඩ උපාධිධාරිනියක් මරා දැමීමේ චෝදනාවට වැරැදිකරුවකු වූ පී. එම්. ජයවර්ධන නමැත්තෙකුය. ඒ 1975 නොවැම්බර් 27 දිනය. වැලිකඩ බන්ධනාගාරයේ දී අවසාන වරට එල්ලා මරා දමනු ලැබුවේ තිස්සමහාරාමයේ ගොවියකු වූ ජයසිංහ මාංනච්චිගේ චන්ද්‍රදාස හෙවත් හොඳ පපුවා නමැති අයෙකි. ඒ 1976 ජුනි 23 වැනි දිනය.

අද වන විට වැලිකඩ බන්ධනාගාරයේ මරණීය දඬුවම නියම වී ඇති පිරිස තුන්සියයකට වඩා වැඩිය. ඇතැමෙකු කියන්නේ මෙරට අපරාධ වැඩිවීමට හේතුව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොවීම කියාය. ඒ අතර තවත් අය අසන්නේ බෞද්ධ රටක මිනිසුන් එල්ලා මැරීම හොඳ ද කියාය. ඒ කොහොම වුණත් කොයි මොහොතේ හෝ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තීරණය වූවොත් එල්ලුම් ගහ ක්‍රියාකරවන්නෙක් සිටිය යුතුය.

මින් පසු අලුගෝසුවන් බඳවා ගැනීමේ දී මුලින්ම එල්ලුම් ගහ පෙන්වා සිටීමට බන්ධනාගාර පාලනාධිකාරිය දැන් තීරණය කර ඇත. ‘අලුගෝසුවා’ යන වචනය වෙනුවට මේ දිනවල නව වචනයක් ද දෙපාර්තමේන්තුව සොයයි. අල්-ගෝසුවා යන පෘතුගීසි වචනයෙන් බිඳී අලුගෝසුවා යන්න සැදී ඇති අතර මෙම නම නිසා ඇතැමුන් තනතුරට අකැමැති කමක් දක්වන බව තවත් මතයකි.

අලුගෝසු තනතුර තවමත් පුරප්පාඩුය. පුරප්පාඩුව පිරවීමට මේ වන විටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ඉල්ලුම් පත්‍ර ලැබෙමින් පවතිනවා සේම තනතුරට බඳවා ගන්නා ලෙස ඉල්ලා දුරකථන ඇමතුම් ද ලැබී ඇත. ඕස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකු අයදුම් කර ඇතත් විදේශිකයන් ඒ තනතුර පිරි නොනැමෙන බව ද කියැවේ.

අයදුම්කරුවන් අතර පොලිස් නිලධාරීන් මෙන්ම උසස් අධ්‍යාපනය ලැබු අයදුම්කරුවන් ද සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. කොහොම වුණත් මේ පරීක්ෂණ වලින් බඳවා ගන්නා ‘අලුගෝසුවා’ ද යම් දිනෙක පැදුරටත් නොකියා පලා යන්නෙක් නම් ඉන්පසු දෙපාර්තමේන්තුව ගන්නා පියවර කුමක්දැයි අපි බලා සිටින්නෙමු.

ඉනෝකා සමරවික්‍රම

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...