කාන්තාවාදයට නොවේ. නමුත්…

මේක කියෙවුවට පස්සෙ මම කාන්තාවාදියෙක් (feminist) කියලා ඔබ මාව ලේබල් කරන්න එපා. නමුත් අද උදේ වුන සිදුවීමකින් පස්සෙ මේක නොලිය ඉන්න බැරි බව හිතුනා.

උදේ පාන්දර හෝල්ට් එකට වෙලා හිටියෙ බස් එකක් එනකන්. ක්ලාස් යන්න පරක්කුයි. බස් වලට ඇඟිල්ල ගහන්න බෑ, සෙනඟ. 122ක් ඇවිත් නැවැත්තුවා. සෙනඟ පිරිලා. ඒත් 122 වේගෙන් යන නිසා තදබද වුනත් කමක් නෑ කියලා නගින්නත් හිතුනා. ආ… අන්න 138ක් එනවා. මේකෙ චප්ප වෙන්න ඕනෙ නෑ. මම පස්සට වුනා. බස් එක අද්දනවා. මේ අතරෙ දුවන් ආපු මැදිවියේ කාන්තාවක් අද්දන බස් එකට නගින්න හිහින් බස් එකෙන් වැටුනා. බස් එක බ්‍රේක් නොකලනම් ඈ රෝදෙකට යට වෙන්නත් තිබුනා. හෝල්ට් එකේ හිටි ‘මහත්මයෙක්’ හැමෝටම ඇහෙන්න ප්‍රබුද්ධ කතාවක් කරනවා.

“දැක්කද අර අම්මන්ඩි කරන්න ගිය වැඩේ? තව චුට්ටෙන් බස් එකේ ඩ්‍රයිවරුයි මිනිස්සුයි දෙගොල්ලොම අමාරුවෙ. මුන්ට ගාය නෙ. සාරිත් පටලන් දුවන් ගිහින් ෆුට්බෝඩ්වල එල්ලෙන්න!”

“මන්දබුද්ධිකයා! කට වහගනින් යකෝ!” මට කෑගහන්න හිතුනා. ඇයි මූට නොතේරෙන්නෙ? අම්මෙක් අක්කෙක් නැද්ද? ගෑනියෙක් නැද්ද?

ඒ කාන්තාව ඇ‍යි දුවන් ඇවිත් බස් එකේ එල්ලුනේ? ජොලියක් ගන්නද? නැහැනෙ. ඈ උදෙන්ම නැගිටින්න ඕනෙ. පොල් ගාන්න, තේ හදන්න, උයන්න ඕනෙ. පොඩි එවුන්ව නැගිට්ටවලා, උන්ව ඉස්කෝලෙ යවන්න ලෑස්ති කරන්න ඕනෙ. උන්ට යන්න කලින් මොනවාහරි කවන්න ඕනෙ. ස්වාමි පුරුශයාගෙ කටයුතු කරන්න ඕනෙ. අසනීපෙන් ඉන්න අම්මට තාත්තාට බෙහෙත් ටික දෙන්න ඕනෙ. ගෙදර බල්ලො පූසො ඉන්නවනම් උන්ටත් කන්න දෙන්න ඕනෙ. ඒ ඔක්කොමත් ඉවරවෙලා ඈත් වැඩට යන්න ලෑස්තිවෙන්න ඕනෙ. ඈ පරක්කුවුනොත් වැඩපලේ ලොකු තැන් වලින් බැනුම්. ඉතින් ඈ විසාඛාවක් වගේ යන්නෙ එන්නෙ කොහොමද? ඈ කරන්නෙ සටනක්. ඈ දුවගෙන ඇවිත් බස් එකට ගොඩවෙන්න හදන්නෙ කැපී පේන්නවත්, කොලුකම් කරන්නවත්, විසේටවත් නෙවෙයි. වෙලාවට රැකියාවට යන්න.

ලෝකෙ කොච්චර දි‍යුණු වුණත්, සමහර පිරිමින්ට තවමත් කුස්සියට අඩියක් තියන එක මදිකමක්. කුස්සිය ගැහැණියගෙ වගකීමක් විදිහටයි තවමත් ඔවුන් දකින්නෙ.
‘උයන පිහන එක, රෙදි හෝදන එක, ගේ පිළිවෙලට තියාගන්න එක ඉස්සර ඉඳලම ගැණුන්ගෙ වැඩනෙ?’

ඔන්න මහා තර්කය! ‘ඉස්සර ඉඳලම ගෑණුන්ගෙ වැඩ’.

ඔවු, ඉස්සර ගෑණුන්ගෙ වැඩ ඒවා තමයි. ඇයි? ඒ කාලෙ ගෙදරට ඉපැයුවෙ සැමියා. බිරිඳ රැකියාවක් කළේ නෑ. ඒ නිසා නිවසේ කටයුතු කිරීම ඇගේ වගකීම වුනා. ඒ, සැමියා උපයන දේ පාරිභෝජනය කරන නිසා. නමුත් දැන්? ඈ රැකියාවක් කරනවා. ඈත් උපයනවා. නමුත් ඒ සමඟම ඈ නිවසේ සියලුම වැඩ කටයුතුත් කළ යුතුයි. ඈට සහ‍යෝගයක් ලැබෙන්නෙ නැති තරම්. ඈ උපයන්නෙ ඈට නොවේ, පවුලටයි. ඉතින් ඔබට අවැසි ඈ විසාඛාවක් ලෙස හැසිරෙන්න නම්, ඈට ඒ සඳහා සහයෝගය දෙන්න.

-radicalsatahana-

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...